මැහුම් කලාව යනු අද ගෘහිණියන්ට තම නිවෙසේ සිටම ආදායම් මාර්ගයක් ගොඩනඟා ගැනීමට හැකි නිර්මාණශීලි වෘත්තියකි. නිවැරදි දැනුම, ගුණාත්මක අමුද්‍රව්‍ය සහ නිවැරදි පුහුණුව සමඟ මෙම
ක්ෂේත්රය තුළ සාර්ථක ව්‍යාපාරයක් පවා ගොඩනඟා ගත හැකිය. ඒ වෙනුවෙන්ම “තරුණී” පුවත්පත ඔබ වෙත ගෙන එන පාඩම් දහයකින් යුත් මෙම විශේෂ පාඨමාලාව මඟින් මැහුම් ක්ෂේත්රයේ මූලික දැනුමේ සිට වෘත්තීය මට්ටමේ අවබෝධයක් දක්වා ඔබව රැගෙන යාම අපගේ අරමුණයි.
පළමු පාඩමෙන් මැහුම් ක්ෂේත්රයට පිවිසීමේ මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර මෙවර පාඩම් අංක 02 ලෙස මැහුම් කලාවේ අත්‍යවශ්‍යම අංගයක් වන නූල් වර්ග හඳුනාගැනීම පිළිබඳව ඔබ දැනුවත් කරයි.
ඇඳුමක ශක්තිය, අලංකාරය සහ කල්පැවැත්ම බොහෝවිට තීරණය වන්නේ භාවිත කරන නූල් වර්ගය මතය. රෙදි වර්ගයට නොගැළපෙන නූල් භාවිත කළහොත් ඇඳුමේ නිමාව සහ ගුණාත්මකභාවය අඩාල විය හැකිය. එබැවින් නූල් වර්ග හඳුනාගැනීම, ඒවායේ භාවිතය, මිලදී ගැනීමේ ක්‍රමවේද සහ ගුණාත්මකභාවය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීම සෑම මැහුම් ශිල්පිනියකටම වැදගත් වේ.
නූල් වර්ග පිළිබඳ මූලික දැනුම
කපු නූල් (Cotton Thread) කපු නූල් ස්වාභාවික තන්තුවලින් නිපදවන අතර මෘදු බව සහ පහසුව නිසා බහුලව භාවිත වේ. කපු රෙදි, ළමා ඇඳුම් සහ සැහැල්ලු ගෘහස්ථ ඇඳුම් සඳහා මෙය ඉතා සුදුසුය. උණුසුමට හොඳින් ඔරොත්තු දෙන නමුත් ජලයෙන් තෙත් වූ විට ශක්තිය අඩුවිය හැකිය.
පොලියෙස්ටර් නූල් (Polyester Thread)
වර්තමානයේ වැඩිම භාවිතයක් ඇති නූල් වර්ගය මෙයයි. ශක්තිමත් බව, දිගුකාලීන භාවිතය සහ පහසුවෙන් කැඩී නොයෑම මෙහි විශේෂත්වයයි. පාසල් නිල ඇඳුම්, කාර්යාලයීය ඇඳුම්, බෑග් සහ කාර්මික මැහුම් සඳහා මෙය බහුලව භාවිත වේ.
නයිලෝන් නූල් (Nylon Thread)
ඉතා ශක්තිමත් නූලක් වන මෙය ජීන්ස්, බෑග්, සපත්තු සහ බර වැඩ සඳහ යොදාගනී. මෙම නූල් දිගුකාලීනව භාවිතා කළ හැකි නමුත් අධික උණුසුමට නිරාවරණය කිරීම සුදුසු නොවේ.
සිල්ක් නූල් (Silk Thread)
අලංකාර නිමාවක් ලබාදෙන මෙම නූල් වර්ගය මංගල ඇඳුම්, හැඩකාර මෝස්තර සහ අතින් කරන නිර්මාණ සඳහා භාවිතා වේ. මිලෙන් ඉහළ නමුත් ඉතා සුන්දර නිමාවක් ලබාදේ.
එම්බ්‍රොයිඩරි නූල් (Embroidery Thread)
අලංකාර මල් මෝස්තර, අත්කම් සහ යන්ත්‍රවලින් එම්බ්‍රොයිඩරි සඳහ භාවිත කරන මෙම නූල් වර්ගය විවිධ වර්ණවලින් සහ දිලිසෙන ස්වභාවයෙන් යුක්ත වේ.
නූල් මිල දී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
රෙදි වර්ගයට ගැළපෙන නූල තෝරාගන්න.
නූලේ වර්ණය රෙදි වර්ණයට හොඳින් ගැළපෙනවාදැයි බලන්න.
පහසුවෙන් කැඩී යන නූල් මිලදී නොගන්න.
යන්ත්‍රයේ භාවිතයට සුදුසු ඝනකම තෝරා ගන්න.
නූල් අධික ලෙස බුරුල් (ලූස්) වී ඇත්නම් එය ගුණාත්මක නොවන අවස්ථා ඇත.
අඩු මිල පමණක් නොව ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කරන්න.
ව්‍යාපාරික මට්ටමෙන් විශාල ප්‍රමාණවලින් භාවිත කරන නූල් තොග මිලට (Wholesale) මිලදී ගැනීමෙන් වියදම් අඩු කරගත හැකිය.
නූල් මිලදී ගත හැකි ප්‍රසිද්ධ ස්ථාන
ශ්‍රී ලංකාවේ මැහුම් අමුද්‍රව්‍ය සහ නූල් වර්ග මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ වෙලඳ ප්‍රදේශ කිහිපයක් ඇත.
මහරගම – පමුණුව වෙලඳ කලාපය
මහරගම පමුණුව ප්‍රදේශය රෙදිපිළි සහ මැහුම් අමුද්‍රව්‍ය සඳහා ප්‍රසිද්ධ වෙලඳපොළකි. මෙහි සිල්ලර (Retail) සහ තොග (Wholesale) වශයෙන් නූල්, බොත්තම්, සිප් (Zip), ඉලාස්ටික් (Elastic) සහ රෙදි වර්ග රැසක් ලබාගත හැකිය. නවක මැහුම් ශිල්පිනියන්ට අඩු මිලට ගුණාත්මක භාණ්ඩ ලබාගැනීමට මෙය හොඳ ස්ථානයකි.
පිටකොටුව – කුමාර වීදිය
පිටකොටුවේ කුමාර වීදිය මැහුම් උපකරණ සහ නූල් අලෙවිය සඳහා ඉතා ප්‍රසිද්ධ ස්ථානයකි. විවිධ වර්ණ සහ වර්ගවල නූල් තොග වශයෙන් මිලදී ගැනීමට මෙහි පහසුකම් ඇත. බොහෝ කාර්මික මැහුම්කරුවන් තම අවශ්‍යතා සඳහා මෙම ප්‍රදේශය භාවිත කරයි.
අන්තර්ජාල වෙලඳපොළ
Facebook, Instagram, TikTok සහ Online Shopping වෙබ් අඩවි හරහාද අද නූල් සහ මැහුම් අමුද්‍රව්‍ය මිලදී ගැනීම ජනප්‍රිය වී ඇත. නිවෙසටම භාණ්ඩ ගෙන්වා ගැනීමේ පහසුව මෙහි ඇති විශේෂත්වයකි. ඒත් තමන්ම ගොස් බලා අතගා මිලදී ගැනීම වඩාත් උචිත වේ.
ප්‍රායෝගික උපදෙස්
ආරම්භයේදී කළු, සුදු, නිල් සහ රතු වැනි බහුලව භාවිත වන වර්ණවල නූල් රෝල් කිහිපයක් ළඟ තබාගන්න.
රෙදි කැබැල්ලක් සමඟ ගොස් නූලේ වර්ණය ගැළපීම හොඳම ක්‍රමයයි.
තොග වශයෙන් මිලදී ගැනීමේදී මුලින් සාම්පලයක් (Sample) පරීක්ෂා කර ගුණාත්මකභාවය තහවුරු කරගන්න.
නූල් තෙතමනයෙන් ආරක්ෂා කර වියළි ස්ථානයක ගබඩා කරන්න.
ගුණාත්මකභාවයෙන් බාල නූල් භාවිත කළහොත් යන්ත්‍ර ඉදිකටු කැඩීම සහ මැහුම් බිඳී යාම වැනි ගැටලු ඇතිවිය හැකිය.
මැහුම් ක්ෂේත්රයේ සාර්ථකත්වයට නිර්මාණශීලිත්වය පමණක් ප්‍රමාණවත් නොවේ. නිවැරදි අමුද්‍රව්‍ය තෝරාගැනීමේ දැනුමද ඒ තරමටම වැදගත්ය. නූල් වර්ග පිළිබඳ නිසි අවබෝධයක් ඇති විට ඔබ නිපදවන ඇඳුම්වල ගුණාත්මකභාවය ඉහළ යන අතර පාරිභෝගික විශ්වාසයද දිනාගත හැකිය.
“තරුණී” පුවත්පත සමඟින් ඉදිරිපත් කරන මෙම විශේෂ දස පාඩම් මාලාව ඔබගේ දක්ෂතා වෘත්තියක් බවට පත්කර ගැනීමට මඟපෙන්වන අලුත් අත්දැකීමකි. මැහුම් කලාවේ රහස්, නවීන තාක්ෂණය සහ වෙළඳපොළ ජයගන්නා ක්‍රමවේද රැසක් ඉදිරි පාඩම්වලින් ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්.
TEXT – දුමින්ද කාරියවසම්
