පසුගිය කාලයේ එයා හිටියේ ජීවිතය ගැන අවදානමකින්

ජූලි 31, 2019

අමරසිරි කලංසූරියගේ ආදරණීය බිරිය අජන්තා තලතා කුමාරි කලංසූරිය

සිංහල සිනමාවේ ප්‍රතිභාපූර්ණ රංගන පෞරුෂයන් සිටී නම් ඒ අතළොස්සකි. ඒ සීමිත පිරිස අතරේ කැපී පෙනෙන රංගන ශිල්පියකු ලෙසින් යුගයක් එකළු කළ හෙතෙම ප්‍රමාණයෙන් නම් පුංචි මිනිසෙකි.

නමුත් ඔහු තමා සතු අව්‍යාජ පෙනුමත්, රංගන කෞෂල්‍යයත් නිසාම අසීමාන්තික ප්‍රේක්ෂක ගෞරවාදරයට පාත්‍ර වූවෙකි.

ප්‍රවීණ රංගධර අමරසිරි කලංසූරිය එහෙමත් නැතිනම් ‘ආදරණීය කලං’ ලෙසින් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඔහු ගැන අසන්නට වඩාත්ම සුදුස්සිය ඇයයි. දැවැන්ත සෙවණැල්ලක් බඳුව නිබඳවම ඔහු පසුපස රැඳුණු, ආදරණීය ප්‍රිය බිරිය අජන්තා තලතා කුමාරි කලංසූරිය නම් වූ ඇය ‘ආසයි අහන්න ඔහු ගැන කියන්න’ ට මෙසේ සිය හඬ අවදි කරන්නීය.

“ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ.”

“මේ දවස්වල නම් ඇත්තටම අපි දෙන්නාම විවේකයෙන් ගෙදරට වෙලා ඉන්නවා. ජාඇල, මිලේනියම් සිටි එකේ ගෙදර අපි දෙන්නත් එක්ක පොඩි දුව වින්ධ්‍යාත් ඉන්නවා. පසුගිය කාලයේ නම් මහත්තයාගේ අසනීප නිසා අපි හැමෝම සිත් වේදනාවෙන් වාගේම කලබලකාරි කාලවකවානුවක්නේ ගත කළේ දැන්නම් එයාට හොඳටම සුවයි. සාමාන්‍ය විදිහට කාලය ගත කරනවා.”

 “ඒ පසුගිය කාලවකවානුව ගැන යළිත් මතකයට නඟන්න අකැමැතිද?”

“ඒ දවස්ටික ගැන නම් නැවත හිතන්නත් බයයි. දරුවෝ තුන්දෙනා, නෑදෑයෝ, යාළුවෝ, හිතවතුන්, වෛද්‍යවරුන්, රෝහල් කාර්යමණ්ඩලය මේ හැමෝම කළ කැපකිරීම්වල ප්‍රතිඵලය තමයි අද එයා මේ විදිහට සනීපයෙන් ඉන්නෙ. විශේෂයෙන්ම වෛද්‍ය දීප්ත වික්‍රමරත්න සහ වෛද්‍ය දිනිත් ගලබඩ ගැන නොකියා බැහැ. දැනටත් එයාලගේ වෛද්‍ය උපදෙස් සහ බලාගැනීම් යටතේ තමයි ඉන්නේ.”

 “ඇත්තටම ඔහුට එදා මොකද වුණේ?”

“එදා උදේ වරුවේ එයා පරීක්ෂණ වගයක් කරගන්න ගියා. තනිවම නෙමෙයි මමයි, දුවලා දෙන්නයි, පුතයි එක්ක. ඒ ගිහිල්ලා එනකොටත් හොඳට හිටියා. දවල් තමයි පපුවේ මහන්සිය වාගේ ඇවිදින් අමාරු වුණේ. අපි මීගමුවේ පෞද්ගලික රෝහලකට රැගෙන යනකොටත් සිහිය තිබුණේ නෑ. හාර්ට් ඇටෑක් එකක් ඇවිත් කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. දවස් දෙකකට පස්සෙ සිහිය ආවහම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරු කළා. එහි දවස් 21ක් පමණ නැවතී ප්‍රතිකාර ගත්තා”

 “පසුගියදා දෙරණ සිනමා සම්මාන උළෙලේ දී ඔහුව සම්මානයට පාත්‍ර වූවා.”

“ඇත්තටම ඒ විදිහට සම්මානයකින් පිදුම් ලැබීම හරිම වටිනා කටයුත්තක්. මොකද පසුගිය කාලයේ එයා හිටියේ ජීවිත අවදානමක් ඇතිව.

ඉතින් නැති කාලෙක සැමරුම් උත්සව තියෙනවාට වඩා ජීවත් වෙලා ඉන්න කාලේදී අගය කිරීම හරිම වැදගත්. මෙයට කළිනුත් සිනමා උළෙල කිහිපයකදී ඔහුට ජීවිතයට එකවරක් පිදෙන සම්මාන හිමිවුණා. ඒවා වාගේම මේ සම්මානයත් එයාට ලොකු ගෞරවයක්.”

“අපි හැමෝම හඳුනන්නෙ අමරසිරි කලංසූරිය කියන දැවැන්ත නළුවා. නමුත් ඔබ හඳුනන කලංසූරිය කියන පුද්ගලයා එහෙමත් නැතිනම් ආදරණීය සහකරුවා ගැන කතා කළොත්.”

“කලංසූරිය කියන පුද්ගලයා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම හරිම හොඳ කෙනෙක්. ඒවාගේම තමයි තරහා ගියහම හරිම සැරයි. ඔය චිත්‍රපටිවල වාගේ අයුක්තිය, අසාධාරණය දැක්කහම හරියට තරහා යනවා. හැබැයි එයා කවදාකවත් ගෙදරදී නම් තරහා ගත්තේ නෑ. අපේ පවුලේ පස්දෙනා අතර හරිම ආදරණීයව කටයුතු කළා.”

 

2019/07/31 තරුණි බලන්න