වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කඳුළ නුඹ නාඬන් දුකෙහි මෙන්ම සතුටෙහිත් උපරිමය කඳුළයි
වදනින් පැවසීමට නොහැකි තරම් බරපතළ වේදනාවන්හි කැඩපත අපේ දෙනෙතයි. දෙකොපුල් සිප ගන්නා උණුසුම් කඳුළු වැල් අපේ ඇසින් දුටු සාක්ෂිය බවට පත්වෙයි. කඳුළට උපත දෙන්නේ හදවතේ තෙරපෙන හැඟිම් සමුදායය. ඒ හැඟිම් සමුදාය දුක්ඛදායක හෝ සුඛ දායක විය හැකිය. එහෙත් ජිවය ලබන්නේ කඳුළු සාගරයකි.
කිරි දරුවකු මවගේ තුරුලට පැමිණෙන්නේ කිරි සිනා පරදින මහා හැඬුමකින්ය. ඒ හැඬුමේ එක් රහසක් වන්නේ මවගේ අවධානය තමන් වෙත රඳවා ගැනීමයි. උස් මහත් වූවා කියා මේ අපූරු රහස වෙනස් නොවෙයි. කෙනකු හඬන්නේ තමන්ට සමීපතම පුද්ගලයකු අසලදිය.
පෙම්වතිය ලෙස ඔබ වඩාත් කඳුළු සලා ඇත්තේ පෙම්වතා ඉදිරියේ නොවේද? බිරිය ලෙසද එහි වෙනසක් නැත. විශ්වාසවන්තයා ඉදිරියේ දී හැඬුමෙන් ඔහුගේ හදවත අනුවේදනීය වීම යටි සිතින් කරන ප්‍රාර්ථනයයි.
හැඬීම සහ ලිංගික හෝර්මෝන අතර ඇත්තේ ද මායා බන්ධනයකි. ගැහැනියකගේ එක් කඳුළකට පිරිමියාගේ පෞරුෂත්වය ප්‍රෞඩත්වයට පත්කරන ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන මට්ටම බින්දුවටම ඇද දැමීමට පුළුවන. එවිට වෙඬරු පිඩක් මෙන් ඔහුගේ හදවත උණුවෙයි.
ප්‍රීතිමත් යුග දිවියකට සිනාව මෙන්ම කඳුළ ද වැදගත් වන්නේ මේ අහිංසක ප්රයෝගකාරි බව නිසාය. ගැහැනියකට සිනාසී ලබා ගත නොහැකි දේ හැඬීමෙන් ලබා ගැනීමට හැකිවන අවස්ථා තිබේ. සැමියාගේ කෝපයේ ගින්න කඳුළු නිසා සැණකින් අළු බවට පත්වෙයි.
‘අඬන්න ඕනලු කිරි එරෙන්න’ යන ජනවහරේ සත්‍ය යුගයෙන් යුගය සැබෑ වන්නකි. කෝපයට පත්වි දබරකාරි ලෙසින් හැසිරී ලබාගත නොහැකි දේ කඳුළෙන් ලද හැකිය. සැමියාගේ ප්‍රචණ්ඩකාරී භාවය මැඬලීමට කඳුළ තියුණු අවියක් බඳුවෙයි.
පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ අගයක පවතින විට ඔවුන් හැඬීමේ ඉඩ අඩුය. එමෙන්ම දරුණු ලෙස හැසිරිමේ ඉඩකඩ ද වැඩිවෙයි.
හැඬීම ගැහැනු පිරිමි දෙපිරිසේම ටෙස්ටොස්ටෙරෝන්, ඊස්ට්‍රජන් හෝර්මෝනවලට පමණක් නොව අනෙක් සියලුම හෝර්මෝනවලට බලපායි.
හඬන විට සතුට ගෙන දෙන හෝර්මෝනවල එන්ඩොෆින්ස්, ඔක්සිටොසින් හෝර්මෝන වැඩිපුර ස්රාවය වෙයි. හැඬීමෙන් පසු ඕනැම කෙනකුට මහත් අස්වැසිල්ලක් දැනෙන්නේ මේ හේතුවෙනි.
මාසයකට පිරිමින් මෙන් හතර පස් වාරයක් කාන්තාවෝ කඳුළු සලති. එයට එක් හේතුවක් වන්නේ ගැහැනු හෝර්මෝනයක් වන ඊස්ට්‍රජන් හෝර්මෝනයයි. අනෙක් හේතුව කාන්තාවන්ගේ කඳුළු ග්‍රන්ථි ආශ්රිත සෛල සහ පිරිම්නගේ කඳුළු ග්‍රන්ථි ආශ්රිත සෛල අතර පවතින වෙනසයි. පිරිමින්ගේ කඳුළු ග්‍රන්ථි කාන්තාවන්ට වඩා විශාලය. එහෙත් සෛල වෙනස නිසා කඳුළු සැළීමේදී ජයග්‍රාහකයා වන්නේ කාන්තාවයි. විදුලි කොටනවාටත් වැඩි වේගයෙන් ඇයගේ කඳුළු දෙකොපුල් මතට පනියි.
පුදුමයකට මෙන් ලොව වැඩිපුරම කඳුළු සලන්නේ සම අයිතීන් ඇතැයි සිතන අසිමිත නිදහසක් භුක්ති විඳින බටහිර රටවල කතුන්ය. සාම්ප්‍රදායික සංස්කෘතික රැහැන්වලින් බැඳි කතුන් ඔවුනට සාපේක්ෂව කඳුළු සලන්නේ අඩුවෙනි.
‘සිනහවයි කඳුළයි
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනාපෑවත් එක තමා’
කලකට ඉහත ජනප්‍රිය වූ ගියක පද පෙළකි. යුග දිවියේ සුවපත් භාවයට ද තම දිවියේ සුව සුරක්ෂාවට ද කඳුළ වටිනා උරුමයක් වෙයි.
කිසිදු අතුරු ආබාධයක් නැති මේ සොබා ඔසුවෙන් සිනාවෙන් ලැබෙන ප්රතිලාභ රැසක්ම ලද හැකිය. සිනාව සහ කඳුළ කාසියක දෙපැත්ත වැනිය. දෙකෙන්ම ආතතිය දුරුවෙයි. රුධිර සංසරණය හොඳින් සිදු වෙයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් වෙයි.
කඳුළින් දිය කර හරින්නේ නැති ආතතියෙන් හාදයාබාධ, ආඝාතය වැනි මාරාන්තික රෝගාබාධවලට පදනම වැටෙයි. මානසික සමබරතාව නැතිවී යයි. ඇඬීම යනු දිවි ගලවා ගැනීමේ ස්වාභාවික උපක්‍රමයක් සේ සලකන්නේ එබැවිනි. එය ජිවිතයේ පමණක් නොව යුග දිවියේද ගැලවුම්කරුවකු බඳුය.
ඇඬීමෙන් ඇතිවන සහකම්පනයෙන් පති පතිනි බැඳිම වඩාත් ශක්තිමත් වෙයි. කෝපයෙන් අඩි පොළොවේ ගසන පිරිමින්ට වඩා දුකේදී හඩන පිරිමින්ට කාන්තාවන්ගේ මනාපය හිමි බව පර්යේෂණ මඟින් හෙළිවී තිබේ.
මංගල දිනයේදී, කුලුඳුල් දරුවාගේ මුහුණ දකිද්දී, දෙදෙනාගේ විවාහ දිවියේ අසිමිත ප්‍රීතියක් අත්විඳිද්දී දෑස් කඳුළින් නැහැවෙයි. එමෙන් ආදරයේ සතුට භුක්ති විඳි පසුව ද කඳුළු සලන්නියෝ සිටිති. වෙනත් හේතුවක් නැති නම් එය අසාමාන්‍ය නැත. එය ආදරය, සතුට, උතුරා යාමකි. එහෙත් බිරියගේ කඳුළ ඉදිරියේදී සැමියාගේ සරාගී බව වෙනුවට ඇතිවන්නේ අනුවේදනයකි.
දෙදෙනකුගේ විරසකවීමකදී හෝ මුහුණ දීමට සිදුවන ඕනෑම අර්බූදයකදී ඉක්මනින්ම හිත හදා ගැනීමේ පහසුම මාර්ගය කඳුළට දෑසේ ඉඩක් ලබාදීමය. කඳුළ දෑස් පවිත්‍ර කරන්නේ ජීවිතයේ බොහෝ කම්කටොලු නිරවුල් කරමිනි. කඳුළෙන් ලැබෙන සැනසුම සුවදායක නින්දකට මඟ පාදයි.
වෛද්‍ය විද්‍යාත්මකව කඳුළු විසබීජ නාශකයකි. සිරුරේ විස පිට කළහැකි එක් ක්රමයකි. අධික රුධිර පීඩනය අඩු කරන විෂාදය දුරු කරන මඟකි. මේ නිසා කිසිවකු කෙදිනකවත් ‘කඳුළ ඉතින් සමාවෙයන්, අපි වෙන්වෙමු අද හවසට, මගෙ ගෙපැලට ඈ එනවා, සිරියහනේ තනි රකින්න’ යැයි පැවසිය යුතු නැත. සිරියහනට ඇය පැමිණිය ද ඔහු පැමිණිය ද දුකේත් සැපේත් උපරිමය වන කඳුළක උණුසුම අගනේය.