කුරුලු හඬින් පිරී ගිය සොඳුරු පරිසරයක්

සැප්තැම්බර් 11, 2019

“ගහකොළ පිසගෙන හමා එන සිහිලැල් සුළඟේ පහස නොලැබෙන විට මිනිසා කෘත්‍රිම ජීවියකු වෙයි” ප්‍රවීණ සමාජ විද්‍යාඥයකු වන හෙන්රි බෙස්ටන් තැබූ මෙම සටහන වර්තමානයේ අපගේ හදවත්වලට තදින්ම දැනෙයි.

මම අවදිවන්නේ හිමිදිරි උදෑසනය. ඒ උදෑසනින් රාජකාරියට යෑමටය. හිමිදිරියේ ම අවදිවන මම විනාඩි කිහිපයක් ඇඳේ වැතිරී සිටීම පුරුද්දකි. එසේ අවදිවන සෑම දිනකම මගේ හිතට දැනෙන්නේ විශාල පාළුවකි. අඩුවකි.

පසුගිය දිනක මේ පාළුව කුමක්දැයි මොහොතක් කල්පනා කළෙමි. සැබැවින්ම එය මුළු පරිසරයටම පාළුවකි. උදෑසන ඈතින් ඇහෙන කුකුළන්ගේ හඬ අද අපට නොඇසෙයි. ඈතින් ඇසෙන ඒ හඬ පරයමින් මෑතින් ඇසෙන්නේ කාලය පිළිබඳ සටහනයි. එහෙත් ඒ හඬ අද අපට නොඇසෙයි. මේ සොබා දහමේ අපූර්වතම සැබැඳියාව අප අතුරින් ඈත්ව ඇති බව පවසන එක් සංඥාවක් පමණකි.

ඉරු උදාවන විට ඇසෙන් කුරුලු ගී හඬ මුළු පරිසරයටම සිරියාවකි. ඒ සිරියාවේ මිහිර ටිකෙන් ටික ඈත්වන බව අපට දැන් දැන් හොඳින්ම දැනෙයි. ගහකොළ නොමැති කොන්ක්‍රීට් වනයක අප අතරමං වන බව දැනෙන විට ඇතිවන්නේ විශාල බියකි. එය අංශු මාත්‍රයකින් හෝ අඩු කළ හැකි නම් කොතරමම් වටිනා ක්‍රියාවක් ද?

මොහොතක් සිතන්න. ඔබට මේ වෙනුවෙන් කළ හැකි දේ බොහෝය. ඔබ සුවිසල් ගොඩනැගිලිවලින් වට වූ නගරයක සිටියත් පරිසරයට ආදරය කරන්නේ නම් ඔබට කළ හැකි දේ බොහෝය. ඔබේ දරුවන්ට පරිසරයට ආදරය කරන ආකාරය ගැන කියාදිය හැකි ක්‍රම ද අපමණය.

පුංචි ඉඩකට කුරුල්ලන් කැන්දන ක්‍රමය

වර්තමානයේ අප බොහෝ දෙනකු මුහුණ දෙන ගැටලුව ඉඩකඩයි. පර්චස් 7-8 ක් වූ පුංචි ගෙඋයනක සියලු දේ නිර්මාණය කිරීම තරමක අභියෝගයක්. එහෙත් මේ පුංචි උයනේ කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කරගන්නට ඔබට විශාල පිරිවැයක් නොයයි. ඔබ ඒ සඳහා මුලින්ම පුංචි සැලසුමක් සකස් කළයුතු වෙයි. ඔබ සිටින්නේ නාගරික පරිසරයක නම් ඔබගේ නිවෙස වටා වැවිය හැකි පලතුරු සහිත ගස් හා මල් ගස් වර්ග ගැන සැලසුමක් සාදන්න. විශේෂයෙන්ම මෙවැනි පරිසරයකට මිශ්‍ර වගා ක්‍රමයක් වඩාත් උචිතය.

ඔබට මුලින්ම ජම්බු, පේර, නාරං, රඹුටන්, අඹ, කාමරංකා වැනි ගස් කිහිපයක් වවා ගන්න. ඔබට තරමක් ඉඩපහසුකම් ඇති නම් විශාල ප්‍රමාණයට නොවැඩෙන බට් කළ වෙරළු ගසක්, දෙහි ගසක් වැනි ගස් වර්ග කිහිපයක් වවා ගැනීමට එතරම් කාලයක් හා ශ්‍රමයක් වැය නොවෙයි. එසේම මුළුතැන් ගෙය පැත්තේ යම් ඉඩක් ඇති නම් කෙසෙල් ගස් කිහිපයක් අලුත්ම වර්ගයේ තැඹිලි, පොල් වැනි දේ වගා කිරීම ආර්ථික වශයෙන් ද ප්‍රයෝජනවත්ය.

දැන් ඔබේ ගෙවත්තේ මේ ගස් අතර ඇති ඉඩ ප්‍රමාණය මල් වගාවට සුදුසුම පරිසරයකි. ඔබගේ නිවෙස වටා විශාල තාප්පයක් ඇති නම් ඒ වටා මල් වැවෙන වැල් සහිත ශාකයක් වගා කරන්න. මේ අතර ඔබට හැකි නම් නිවෙසට ප්‍රයෝජනවත් එළවළු වර්ග (මිරිස්, බටු, තක්කාලි, කරපිංචා, රම්පේ) වැනි වගා කරගන්න. මේ සියලු දේ එක්තැන් වූ විට ඉතාම අලංකාර වූ පරිසර පද්ධතියක් ඔබටත් නොදැනීම නිර්මාණය වී ඇත්තේ සිත් ඇදහිය නොහැකි ලෙසිනි.

තොරතුරු සැපයීම

ප්‍රවීණ පරිසරවේදී

තිලක් කන්දේගම මහතා

 

2019/09/11 තරුණි බලන්න