ගත පවසන බස් යුග දිවියේ රහස් එළිකරයි

Family nest
ඔක්තෝබර් 2, 2019

ඔබ දෙදෙනා මුලින්ම හමුවූ දිනයේ වදනක් හෝ පවසන්නට නැත. එහෙත් දෙදෙනාගේම හෝ දෙදෙනාගෙන් කෙනකු හෝ දෑසින් පැවසූ කතාව විවාහය දක්වාම හදවත් යාකළ අන්දම කදිම අත්දැකීමක් නොවන්නේ ද? ඒ ගැන සිහි වනවිට මුවෙහි නැංවෙන ප්‍රේමණීය බවට පවා වදන් නොමැත.

හඬක් නොනැඟුණ ද දෑසින්, මුවින් , දෑතින්, ඉරියව්වලින් පැවසෙන දේ වදන්වලට වඩා ප්‍රබල ලෙසින් හදවතට සංවේදනය වෙයි. එනිසාම දෙහදක් යා කිරීමට මෙන්ම වෙන් කිරීමට ද එකිනෙකා ගතින් පවසන බස (Body languag) හේතුවෙයි.

එක් අයකුගේ සිනාවට මෙන්ම රැවීමට ද බොහෝ දේ කළ හැකියි.

ආදරණීය ලෙස ඇවතුම් පැවතුම් පවත්වා ගැනීම සෙනෙහෙබරව යුග දිවිය පවත්වා ගැනීමට උපකාරී වෙයි.

සමගිසම්පන්නව පති පතිනියන් මුහුණෙන් ප්‍රකාශ වෙන හැඟීම් අනුකරණයට රුසියන්ය. එක් අයකුගේ මුහුණෙන් ආදරය පිළිබිඹු වෙද්දී අනෙකාගේ වත ද සෙහෙසින් පිබිදෙයි.

නෙතට නෙත බලමින් නඟන සිනාව දෙදෙනාගේ ආදරය පමණක් නොව ශරීර සුවතාව ද ඉහළ නංවයි.

දෙදෙනාගේ කතාබහේදී හිස සෙමෙන් සෙලවීමෙන් ගැඹුරින් සවන් දෙන බව වැටහෙයි. හිස තදින් සොලවන්නේ ප්‍රතික්ෂේප කිරීමකදී ය.

උණුසුම් වාද විවාද පැවතෙද්දී පසු පසුට හැරෙනවා නම් හෝ ඇවිද වෙනතකට යනවා නම් හෝ එය වැරැදිය. සැමියා/බිරිය කතා කරන විට ඔහු/ඇය වෙතට නැඹුරුවන්න. එය අනෙකා පවසන දෙයට වුවමනාවෙන් සවන් දෙන බවට ඉඟියකි.

පපුව මත දෑත් බැඳගෙන සිටීම සුව පහසුවෙන් සිටින බවට ඉඟියක් වුවද පවුල් සංස්ථාවේ දී නම් එය නොකළ යුතු දෙයකි. මනෝ වෛද්‍යවරුන්ට අනුව එසේ දෑත් තබාගන්නේ කතා බහකට අකැමැති අවස්ථාවේ දීය. එයින් ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙයි.

දෑත් එකිනෙක පටලවා ගැනීම ආදරයේ, විශ්වාසයේ හැඟීම් තීව්‍ර කරයි.

විවාහ වූ අලුත පවා බිරියට අඩි ගාණක් දුරින් ඇවිදින සැමියන් විරල නැත. මෙය පති පතිනියන් වශයෙන් නොකළ යුත්තකි. එක්ව ඇවිදීම අඹුසැමියන් ලෙස ඇති බැඳීමේ සාක්ෂියකි. පති පතිනියන් යනු කණ්ඩායමක් වන අතර වෙන්ව ඇවිදීමේදී එකම කණ්ඩායමක් කියා හැඟෙන්නේ කෙසේද ?

විලියම් කේට් යුවළ ආදර්ශයට ගන්න. දෙදෙනා සැමවිටම ඇවිදින්නේ එකටය. එක්ව ඇවිද්දත් දුරස්ව ඇවිදිනවා නම් එය ද යහපත් සබඳතාවක් ඇති බවට නිමිත්තක් නොවෙයි. දෙදෙනකු අතර පරතරය අඟල් 18 ට වැඩි නොවිය යුතුය. එකම දිශාවට මුහුණලා ගමන් කිරීමෙන් එකම ඉලක්කයක් ඇති බව කියැවෙයි.

සාරගීව බලන විට කළු ඉංගිරියාව පුළුල් වෙයි. නෙතට නෙත රැඳවීමේදී ඔහුගේ/ඇයගේ කළු ඉංගිරියාව පුළුල් වෙනවා නම් එහි අරුත ආදරයෙන් ඔබ්බට ගිය ඇරියුමකි.

නියවා බැලීමේ පුරුද්ද ඇත්තේ තමන් අනෙකාට වඩා සුපිරියැයි සිතන අයටය. පවුල් සංස්ථාවේ සැමියා මෙන්ම බිරිය ද තරාදියේ පඩි වැනිය. එනිසා සහකරු මෙන්ම සහකාරිය කිසිවිටකත් නියවීම, ව්‍යාජ සිනාව ගතෙහි බසක් ලෙස යොදා නොගත යුතුය.

 

2019/10/02 තරුණි බලන්න