නිවෙස හැඩ කරන ඉටිපන්දම් එළි රටා

දෙසැම්බර් 4, 2019

මොන තරම් විදුලි පහන් දැල්වුණත් ඉටිපන්දම් එළියෙන් අන්ධකාර රාත්‍රියට ලැබෙන ආලෝකයේ සුන්දරත්වයට එය සමාන කළ නොහැකිය. ඉටිපන්දම් එළිය පරිසරයට එක් කරන්නේ ආලෝකය පමණක් නොවෙයි. ආදරණීය බවක් ද එක් කරයි. එපමණක් නොව ඉටිපන්දම් නිවෙස එළිය කිරීමට පමණක් නොව හැඩ කිරීමට ද යොදා ගත හැකියි.

ඉටිපන්දම් පහන්

අලංකාර වීදුරු රාමුවකට කොටු වූ ඉටිපන්දමකින් නිවෙසේ ඕනෑම තැනකට අපූරු අලංකාරයක් එක්කරගත හැකියි.

විනිවිද පෙනෙන වීදුරුවක බහාලූ ඉටිපන්දම් පෙළක් වීදුරුවක් මතු පිටට දැමූ මේසයක තබන්න. නැත්නම් කණ්ණාඩියක් ඉදිරියේ එවැනි ඉටිපන්දමක් තබන්න. කැටයම් කැපූ වීදුරුවලින් ඉටි පන්දමේ අලංකාරය දෙගුණ තෙගුණ වී පෙනෙනු ඇත.

සති අග කෑම මේසයේ මැදට ඉටිපන්දම්, ඉටි පන්දම් රඳවනයක තබා හෝ මේසයේ කෙලින්ම තබන්න. රෝස පෙති ඒ වටා ඇතිරීමෙන් අලංකාරත්වය දෙගුණ තෙගුණ වෙයි.

නාන කාමරයට විවිධ විසිතුරු භාණ්ඩ සමඟ ඉටි පන්දම් ද තැබිය හැකියි.

ඉටිපන්දමකින් පරිසරයට සුවඳ එක් කරන්න සුවඳ කැවූ ඉටි පන්දම් අනවශ්‍යයි. කුරුඳු පොතු ඉටිපන්දම වටේට තබා අලංකාර රිබන් පටියකින් ගැට ගසන්න.

සුදු සහ කොළ කදිම වර්ණ සංකලනයකි. කෘත්‍රිම හෝ ස්වාභාවික තණ කොළ වැනි කුඩා පැළෑටි අතර එක් පෙළකට දිග අඩු ලාච්චුවක ඉටිපන්දම් තබන්න.

ජෑම් බෝතල් වැනි බෝතල් තුළ පවා ඉටිපන්දම් තබා අලංකාරයක් එක් කිරීමට පුළුවන. ජෑම් බෝතල් කටවල් අලංකාර රිබන් පටිවලින් ගැට ගැසීමට හැකියි. පබළු ඇමිණූූ නූල්වලින් ද ගැට ගැසීමෙන් හැඩකාර බවක් එක්වෙයි.

නිවෙසට මෙන්ම ගෙවත්තට ද ඉටිපන්දම් අලංකාරය එක් කිරීමට පුළුවන.

පබළුවලින් වටවූ විශාල වීදුරු භාජනයකට ඉටිපන්දම බහාලූ වීදුරුවක් එක්කරන්න. ඉටිපන්දම දැල්වෙන විට ලැබෙන අලංකාරය දෙගුණ තෙගුණ වෙයි.

කුරුලු කූඩුවක හැඩයට ඇති ආවරණයක ද ඉටිපන්දම් තැබීමෙන් අපූරු අලංකාරයක් එක්කරගත හැකි වෙයි.

ඇපල් ගෙඩි මත, ස්වාභාවික මල් සමඟ ගස් කඳන් මත ඉටිපන්දම් තැබීමෙන් ඊට සොබාලංකාරයක් සංකලනය වෙයි.

උස් බෝතල් අග ඉටි පන්දම් රැඳවීමට පුළුවන. ඉටිපන්දම දැවෙන විට පහළට ගලන උණු වූ ඉටි බෝතලය වටා අපූරු හැඩතල මවනු ඇත.

මේ සෞන්දර්ය නිවහනට එක්කර ගැනීමේදී ඉටි පන්දමෙන් ගිනි ඇවිළීමක් සිදු නොවීමට වග බලාගත යුතුය. ඒ ගින්දරත් එක්ක සෙල්ලම් නොකළ යුතු නිසායි.