වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හොඳ දේ කරන කොට ලැබෙන අශිර්වාදයට කදිම සාක්ෂියක්
මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලින් වෛද්‍ය විද්‍යාලයට වරම් ලැබූ නිවුන්නු අයියා ඉසුරු, මල්ලී රුසිරු
පින්මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එකපුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙකතරු රැසින් එලෙසට නොම වේය දුරු
සුභාෂිතයේ එන මේ කවි පදවැල් අපගේ දිවගට බෙහෙවින්ම සමීපය.
තරු සිය දහසක් චන්ද්‍ර මණ්ඩලයේ දිලුණත් චන්ද්‍රයා ඒ සියල්ලටම වඩා ප්‍රභාෂ්වරය.
එහෙත් ගුණ නැණ බෙලෙන් යුතු එක් පුතකු වෙනුවට පුතුන් දෙදෙනකු උපත ලැබීම ආදරණීය මවකට හා පියකුට කෙතරම් ආඩම්බරයක්ද?
එවන් වූ වාසනා මහිමයක සතුට සොයා යන්නට මා හට අවස්ථාව ලැබීම ද සැබෑම සතුටකි. මෙවර උසස් පෙළ ප්‍රතිඵල අතර විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ගේ සතුට දෝර ගලා ගියේ දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන ලෙසිනි. ඒ අතරින් කෑගල්ල ප්‍රදේශයේ පාසල් අතර සටහන් වුණේ වාර්තාගත ජයග්‍රහණ රැසකි. පිංදෙණිය ජාතික පාසලේ දර්ශන ඉසුරුසිරි සම්පත් පුතා ගණිත අංශයේ පැරැණි නිරදේශයෙන් වැඩිම ලකුණු ලබාගන්නා විට ඊට නොදෙවැනි ජයග්‍රහණ දෙකක වාර්තාවක් සටහන් වුයේ කෑගල්ල විද්‍යාලයෙන් සහ කෑගල්ල ශාන්ත ජෝශප් විදුහලෙනි.
මේ අතුරින් මුළු රටම කතා කළ ජයග්‍රහණය වුණේ ඉසුරු දේශාන් මනතුංග සහ රුසිරු දේශාන් මනතුංග නිවුන් සොයුරන් දෙදෙනා එකම වර වෛද්‍ය විද්‍යාලයට යෑමට වරම් ලැබීමයි. මේ දෙදෙනාගේ ආදරණිය මාපියන් වන්නේ රුවන් මනතුංග සහ සාගරිකා මනතුංග දෙපළයි. අප ඒ වාසනාවන්ත මවුපියන් හා වාසනාවන්ත පුතුන් දෙදෙනා සොයා ගියේ ඔවුන්ගේ හදවත් තුළ තෙරපෙන ඒ සතුට දකින්නටයි.
කෑගල්ල නගරයේ නුවර - කොළඹ මාර්ගයේ අද්දර වූ රුවන් මහතාගේ නිවෙස සහ කුඩා ව්‍යාපාරික ස්ථානය තරමක් ජනාකීර්ණය. එහෙත් ඒ ජනාකීර්ණ බවෙන් මිදුණු ඔවුන්ගේ නිවෙස තුළ වූයේ පුදුමාකාර නිස්කලංක පරිසරයකි. ඒ නිසල පරිසරය තුළ ඉසුරුට හා රුසිරුට තම ඉලක්ක කරා යෑමේ පසුබිම සකස් කරදීමේ පදනම තනා තිබුණේ ඔවුන්ගේ දයාබර මෑණියන් වූ සාගරිකා මනතුංග මහත්මියයි. ආදරණීය දූවා දරුවන්ගේ නිර්මාණ කුසලතාවන් ඔපවත් කරන දයාබර චිත්‍ර කලා ගුරුතුමියක වූ ඇය හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ සේවය කරයි. එයට අමතරව පුස්තකාල විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් ලෙසින් ද කටයුතු කරමින් ඇය කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයන්ගේ ද සේවය කරන්නේ තම රැකියාවට අමතරවය. තම දරුවන් ලැබූ ජයග්‍රහණයේ සතුට ඇය ප්‍රකාශ කළේ මෙලෙසිනි.
‘ඇත්තටම මේ දරුවෝ දෙන්නා මගේ කුස තුළට ආවේ පෙරුම් පුරාලා එකටම. මගේ අත් දෙකට දරුවෝ දෙන්නා ගන්නකොට මම හිතුවේ කවදා හරි ලෝකයම සුවපත් කරන වෛද්‍යවරුන් දෙදෙනෙක් කරනවාමයි කියලයි. මගේ සිතුවිල්ල වුණේ මේ ලෝකයට වැඩක් කරන්න පුළුවන් දරුවෙක් හදන්න ඕනෑ කියලයි. අපි ලෝකෙන් ගන්නවාට වඩා යමක් ලෝකයට දෙන්න ඕනේ. මට දරුවෝ දෙන්නෙක් එකපාර දෙවියෝ දුන්නේ විශාල වරමක් ලෙසයි. ලෝකයටම ලොකුම සේවය තමයි මනුස්සයෙක් සුවපත් කිරීම. මනුස්සයෙක් ලෙඩ වෙනවා කියන්නේ අන්ත අසරණයි. ඒ අසරණ ජීවිතයකට පිළිසරණක් වීම තරම් පිනක් තවත් නැහැ. මම ගුරුවරියක්. මට දොස්තර මහත්වරු හදන්න උගන්වන්න පුළුවන්. ඊට වඩා මගේ දරුවෙක් දොස්තර මහත්තයෙක් කරන්න පුළුවන් නම් කියන සිතුවිල්ල හැමදාම තිබුණා. දරුවෝ විභාගය සමත් වුණු දවසේ මට දැනුණේ අන්න ඒ සතුට. දරුවෝ වෛද්‍ය විද්‍යාව හදාරනවා කියන දේ හිතේ තිබුණු හීනයක්. දරුවො දෙන්නටම මම කිව්වේ ලෝකේ තිබෙන උතුම්ම රැකියාව තමයි තවත් ජීවිතයක් සුවපත් කරන වෛද්‍ය විද්‍යාව කියලා. එයට වාසනාවකුත් තියෙන්න ඕනේ. ඒ වාසනාව මගේ පුතාලා දෙන්නටම ලැබුණා කියන්නේ ඒක පෙර ආත්මයේ පටන් ලැබුණු වාසනාවක්.
මගේ දරුවෝ දෙන්නා ඉපදුණ දවසේ පටන් අහන්න ලැබුණේ හොඳ දේවල්. හැම තරගයකින්ම මගේ පුතාලා දිනනවා. එක දරුවෙක් එක වුණොත් අනිත් දරුවා දෙවැනියා වෙනවා. එතකොට මල්ලි කියනවා අයියනේ එක වෙන්න තිබුණේ කියලා. අපේ පුතාලා දෙන්නගේ පුදුම බැඳීමක් තිබුණේ. ටොෆියක් දුන්නත් අයිය කෑවද කියලා අහලා තමයි කන්නේ . . . දෙන්නා අඳින්නේ එකම ජාතියේ පාට ඇඳුම්. පාඩම් කරන කොට අයියට නින්ද ගියොත් මල්ලි ඇහැරවනවා. මල්ලිට නින්ද ගියොත් අයියා ඇහැරවනවා. දෙන්නට දෙන්නා උගන්වනවා. වැඩ බැරි ළමයින්ව ගෙදරට ගෙනත් උගන්වනවා.
දහම් පාසල් නොවරදවාම යනවා. භාවනා කරනවා. හැම සෙනසුරාදාම අපිත් එක්ක පන්සලට ගිහින් පන්සල අතුගාලා මල් පූජා කරන එක සිරිතක්. පිරිත් කියනවා. පිං සහිත ගොඩක් වැඩ කරනවා. ඒ දෙන්නා අනුන්ට උපකාර කරන්න හරිම කැමැතියි. ඒ වගේම පිං දහම් කරන්නත් හරිම කැමැතියි. සමහර වෙලාවට එයාලගේ බත් එක හිඟන්නකුට දීලා එයාලා බඩගින්නේ ඉන්නවා. චිත්‍ර අඳිනවා. කවි ලියනවා. දෙන්නටම ඉංග්‍රීසි සිංහල එක විදිහට පුළුවන්. සා/පෙළ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්.
2020/01/08 තරුණි බලන්න