ඉවත දමන දෙයින් උද්‍යානයට අලංකාරයක් එක්කරමු

ජනවාරි 15, 2020

උද්‍යානයක් අලංකාර ලෙස සකස් කිරීම තුළ පදනම් වී ඇත්තේ ශාක සහ විවිධ රළු අංග යම්කිසි කලාත්මක ආකාරයකට ඉදිරිපත් කිරීමයි.

කිසියම් ස්ථානයක් හෝ ප්‍රදේශයක් වෙත නෙත යොමුකරන පුද්ගලයකුගේ සිතට සෞන්දර්යාත්මක හැඟීමක් ඇතුළුවීමට ඉඩ සැලසීම මෙහි අරමුණ වේ.

වෙනත් ආකාරයකට පවසන්නේ නම් ඇස, කන, නාසය, දිව, ශරීරය(සම) යන පංච ඉන්ද්‍රියයන් වඩාත් හොඳින් පිනවීමට, සතුටු කිරීමට හැකිවන පරිද්දෙන් එම ස්ථානය සකස් කිරීම කළයුතු වේ.

අලුත් අදහසක්

ඒ සඳහා අපි ඔබට අලුත් අදහසක් ඉදිරිපත් කරන්නෙමු. එහිදී ඔබට එතරම් වියදමක් දැරීමට සිදු නොවන අතර අවශ්‍ය වන්නේ නිර්මාණාත්මක කුසලතාව පමණි. ඔබේ නිවෙසේ ප්‍රයෝජනයට නොගන්නා බොහෝ දේවල් ඇති අතර පළමුව ඒවා මොනවාදැයි ඔබම සොයා බලන්න. අනතුරුව ඒවා උපයෝගී කරගෙන නිර්මාණාත්මක දෙයක් සකස් කිරීම වඩාත් ඵලදායී වේ.

පොල්ලෙලි

බොහෝ නිවෙස්වලින් ඉවත් කරන පොල්ලෙලි නිසා නිවෙස පිටුපස ප්‍රදේශය පිරී ඇති ආකාරය ඔබේ නෙත ගැටී ඇත. මේවා ඔබේ ගෙමිදුලේ විශාල ශාක පාමුල ඇති අක්‍රමවත්බව ඉවත් කරලීමට හරිම අපූරුයි. උදාහරණයක් ලෙස පොල් ගසක් වටා පොල් ලෙලි තට්ටු කිහිපයක් ක්‍රමවත්ව අසුරන්න. ඒ රවුම ඇතුළට පස් පුරවා එහි මල් පිපෙන කුඩා ශාක හෝ විචිත්‍ර පත්‍ර ශාක සිටුවන්න. එහෙමත් නැතිනම් එළවළු හෝ පලා වර්ගයක් සිටුවාගන්න.

මේ ආකාරයටම උද්‍යානය තුළ විවිධ උස් මට්ටම් අනුව පොල්ලෙලිවලින් මල් පාත්ති සකසා ගත හැකියි.

විවිධ ගල් කැබලි සහ දැව කැබලි

ඔබේ ගෙවත්තේ තැනින් තැන පතිත වී ඇති විවිධ ගල් , ගඩොල් වාගේම ශාක කැබලි ආදිය නිසා අසුන්දර පෙනුමක් ලැබී ඇතුවාට කිසිදු සැකයක් නැහැ. එවැනි ද්‍රව්‍ය ඉවතට ගෙන වැලි, සිමෙන්ති උපයෝගී කරගෙන ශාකයක් හෝ වැලක් සිටුවිය හැකි පරිද්දෙන් සකසා ගත හැකිය. මෙහිදී යම් හැඩයක් අනුව හෝ හැඩයක් නොමැතිව වුවද සකසාගත් මේ නිර්මාණය හරහා ඔබේ ගෙඋයනට වැඩි කලඑළියක් එකතු කරගත හැකියි.

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී, ව්‍යාපාරික , විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ
 රංජිත් කළුආරච්චි

2020/01/15 තරුණි බලන්න