අද ආදරෙයි කියන්න..

පෙබරවාරි 5, 2020

හෙට වෙනස විඳින්න..

බැඳීමක් සුන්දර කරගැනීමට අවැසි වන්නේ අප එතරම් නොසිතන ඉතා කුඩා කාරණා ය. ඇතැම් විට එම කාරණා වැඩකට නැතැයි අප නොසලකා හරින ඒවා ද විය හැකිය.

එහෙත් ජීවිතය ජීවත් කරවීමට ආදරය අවැසි වන්නා සේ ම ආදරය සුන්දර වීමට කුඩා කුඩා අඩුම කුඩුම එකතු විය යුතුය.

ආදරය යනු සිතේ පමණක් පැවතිය යුතු දෙයක් නොවේ. එය ප්‍රකාශ නොකළහොත් අනෙක් පුද්ගලයාට නොදැනෙන්නට පුළුවන. 'එයාට දැනෙන්න ඕනේ මම එයාට ආදරෙයි කියලා.., මේ හැමදේම කරන්නේ ආදරේ නිසා.. ඒක එයා දැන ගන්න ඕන..' ලෙසින් අපේ සිත බොහෝ විට තනිවම තර්ක කරයි. එහෙත් අනෙක් පුද්ගලයාට එය දැනෙනවාදැයි අප නොදනී.

පෙම් කරන කාලයේ දී සිටි පුද්ගලයා විවාහයෙන් පසුව වෙනස් වී ඇති බවට බොහෝ අය මැසිවිලි නැගීමට මෙයද ප්‍රධාන හේතුවක් වේ. පෙම් කරන කාලයේ දී පෙම්බස් හුවමාරු කරගැනීම, කුඩා තෑගි බෝග හුවමාරු කරගැනීම, නිතර අනෙකා සමඟ කාලය ගෙවීමට ඉඩ හසර සෙවීම මෙන්ම නිතර නිතර ආදරය ප්‍රකාශ කිරීම ආදිය නිසා පෙම්වතුන් සේ සිටින කාලයේ දී බොහෝ විට ආදරය පිළිබඳ හැඟීම් තීව්‍ර වේ.

එහෙත් විවාහ වූ පසුව ක්‍රම ක්‍රමයෙන් තත්ත්වය වෙනස් වේ. කෙසේ හෝ හමුවීමට උනන්දු වූ දෙදෙනා එකම නිවෙසක එකට ජීවිතය බෙදා හදා ගනී. ඔවුන්ට තව දුරටත් එකිනෙකා දුරස්ථ නොවේ. එහෙත් ඇතැම් විට එකම නිවෙසක සිටිය ද තමාගේ ආදරය තම බිරියට හෝ ස්වාමියාට පැවසීමට, ඔහු හා ආදරය කිරීමට අවස්ථාවක් නොලැබේ. එවැනි අවස්ථාවක් උදාකර ගැනීමට වුවද උත්සාහයක් නොගනී. ඇතැම් විට ලැබෙන කුඩා එවැනි අවස්ථාවන් පවා මඟහැර ගනී.

විවාහ වූ අලුත මේ ආදරණීය හැඟීම් හුවමාරු කරගැනීම සිදු කළ ද පසුව මෙය මඟහැරී යන්නේ දෙදෙනාට ම නොදැනී ය. එහෙත් මෙයින් සිදු වන්නේ එකිනෙකා කෙරෙහි ඇති බැඳීම් දුරස් වීමයි. පවුලක් ලෙස එකට යුතුකම් පමණක් ඉටුකරමින් ජීවිතය ගෙවා දැමූවද එහි විඳවීමක් මිස විඳීමක් ලබා ගැනීමට මේ නිසා අපහසු විය හැකිය.

සැමියා, බිරිය නිවෙසින් පිටවීමේ දී උණුසුම් හාදුවකින් සමු දී 'පරෙස්සමෙන් ගිහින් එන්න' යැයි පවසන්න. හැකි හැම විටෙක ම එකට එක්ව රාත්‍රී ආහාරය භුක්තිවිඳින්න. ඒ අතරතුර දී දවසේ වැදගත් සිදුවීම්, ඔබ දෙදෙනාගේ හෙට දවසේ සැලසුම් ආදිය පිළිබඳ හා පවුලේ වැදගත් දේ පිළිබඳ කතා බහ කිරීමට යොදා ගන්න. මේ නිසා නිදි ඇඳට නිදහස් මනසින් යාමට ඔබට හැකියාව ලැබේ.

එමෙන්ම දිනයේ වැදගත් සිදුවීම්, හෙට දිනයේ සැලසුම් ආදිය ගැන අදහස් හුවමාරු කරගැනීමෙන් ඔබට සැමියාට හෝ බිරියට යමක් පැවසීමට මතක නැති වීම් අවමකර ගැනීමට පුළුවන. එමෙන්ම අනෙකා දිනය ගත කළ ආකාරය අමතර වෙහෙසවීම්, සිදු වූ අතපසුවීම්, අකරතැබ්බයන් ආදිය දන්නා නිසා ඔබ දෙදෙනා අතර සිදු විය හැකි අනවබෝධයන්, සිත් රිදුම් ආදිය අවම කරගත හැකිය.

2020/02/05 තරුණි බලන්න