ඔබෙ සිත පාරන සිතුවිලි ඔබෙමයි...

මාර්තු 4, 2020

අප කුමන දේ කිරීමටත් පළමුව තමා සිතන ආකාරය පිළිබඳ දැනුවත් විය යුතුය. තමාගේ සිතුවිිලි අනුව ක්‍රියාවන් සිදු කරන බැවින් අප සිතන ආකාරය පිළිබඳ වඩාත් විමසිලිමත් විය යුතුයි.

අප තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරන සාධක දෙකක් පවතී. ඒ සිතුවිලි හා අපගේ ක්‍රියාවන් ය. ක්‍රියාවන් හසුරුවනු ලබන්නේ සිතුවිලි මඟිනි. ඒ නිසා සිතේ සිතුවිලි නිසියාකාරව මෙහෙයවීමට අප උගත යුතුය.

හැම පුද්ගලයකුට ම මූල්‍යමය වටිනාකමින් තොර හෝ අඩු යම් යම් කුඩා ද්‍රව්‍ය පැවතිය හැකිය.

ඒවා තවත් කෙනකුට නොවටිනා දේ වුවද එම පුද්ගලයාට මිල කළ නොහැකි ද්‍රව්‍ය වීමට පුළුවන. ඇතැම්විට තමාගේ පියා කුඩා කල ලබා දුන් සෙල්ලම් බඩුවක් විය හැකිය.

පාසල් යන කාලයේ මතක සටහනක් විය හැකිය.

තවත් ලෙසකින් පවසන්නේ නම් ස්මරණීය වටිනාකමකින් යුතු ද්‍රව්‍ය විය හැකිය.

යම් වැඩමුළුවකට අපි යනවා නම් එහි දේශකයා එය ආරම්භ කරන ආකාරයෙන් ම අපිට එම දේශනයෙහි සාර්ථක අසාර්ථක බව පැවසිය හැකියි.

අපි පාරක යන විට සෑම පුද්ගලයකුගෙන් ම පාර පිළිබඳ තොරතුරු විමසන්නේ නැත. යම් විටෙක එසේ පාර විමසන්නේ එය අපිට නිවැරැදිව පවසාවි යැයි විශ්වාස කරන පුද්ගලයකුගෙනි.

රජයේ කාර්යාලයකින් යම් කාර්යයක් ඉටුකර ගැනීමට යන පුද්ගලයා එහි විමසීම් කවුන්ටරයක් නැතිනම් අපට අවශ්‍ය දේ පිළිබඳ යම් විමසීමක් කරන්නේ එතැන සිටින පුද්ගලයන් අතරින් එක් අයකුගෙනි.

එසේ තෝරා ගන්නා පුද්ගලයා, අප විසින් තෝරා ගන්නේ ඔහු හෝ ඇය අපට උදවු කරාවි යැයි යම් චිත්ත රූපයක් ඔහු හෝ ඇය පිළිබඳ ගොඩනගා ගැනීම නිසයි.

එය තමාගේ සිතේම ඇති කරගත් සිතුවිල්ලකි.

අපේ සිතේ, ඒ පුද්ගලයා මේ ආකාරයෙන් හැසිරේවි යැයි ඇතිකරගත් චිත්තරූපයට අනුව එම පුද්ගලයා හැසිරුණු විට ඔහු හෝ ඇය හොඳ බවත් අප ඇතිකරගත් චිත්තරූපයට වෙනස් ආකාරයකින් හැසිරුණ විට එම පුද්ගලයා හොඳ නැති බවත් අප විසින් තීරණය කරයි.

මෙලෙසින් අප හැම පුද්ගලයෙක් පිළිබඳව ම යම් චිත්තරූපයක් මවාගනී.

මෙය තමාගේ සිතේ ම ඇති කරගත් ප්‍රබන්ධයකි. මෙම චිත්තරූප මවාගැනීම සඳහා ඒ පුද්ගලයා පෙර වතාවල්වල හැසිරුණු ආකාරය, කතාබහ කළ අකාරය, එම පුද්ගලයා පිළිබඳ අප අසා දැක ඇති තොරතුරු, එම පුද්ගලයාගේ බාහිර පෙනුම ආදිය බලපායි.

'මම කවදාවත් හිතුවෙ නෑ එයා මේ වගේ මට කතා කරයි කියලා.., මම කොයි වෙලාවකවත් හිතුවෙ නෑ එයා මේ වගේ දෙයක් මට කරයි කියලා..,' යනුවෙන් පවසන්නේ අප විසින් ඇති කරගත් චිත්තරූපයට වෙනස් ආකාරයකට එම පුද්ගලයාගේ හැසිරීම සිදු වූ විටයි.

උපදෙස්
කළමනාකරණ උපදේශක
දීපාල් සූරියආරච්චි