දෙවැනි මනාලියන්ගේ අරුමැසි බව විදහාපාන ඇඳුම්

මාර්තු 11, 2020

මනාලයා සහ මනාලිය පිරිවරා ගනිමින් දෙවැනි මනාලයන්, මනාලියන්, මල් කුමර කුමරියන් සිටිය දී විවාහ මංගල්‍යයක අරුමැසි බව කෙතරම් ද? ඔවුන් මනාල යුවළට සවිමත් බැඳීමක් වෙමින් එදින විනෝදයෙන්, සැහැල්ලුවෙන් ගත කරයි.

මොවුනගේ විචිත්‍රත්වය විවාහ මංගල්‍යය සජීවීව මෙන්ම, ඡායාරූප ඇල්බමය සහ වීඩියෝ පටය ද සෞන්දර්යාත්මක කරලයි.

රාජකීය මංගල්‍යවල සිටි මනාල යුවළගේ පිරිවර සේනාව අද අපේ විවාහ මංගලෝත්සවවලට ද නැතිවම බැරි අංගයකි.

ඉදින් දෙවැනි මනාලියන්ගේ ඇඳුම කෙසේ සැකසිය යුතු ද? අප අද කරුණු කාරණා විමසා බලන්නේ ඒ පිළිබඳවයි.

 

ඇඳුමේ පැහැය

දෙවැනි මනාලියන්ගේ ඇඳුමේ පැහැය, මෝස්තරය තෝරාගැනීම සඳහා ඕනෑතරම් නිදහස තිබේ.

මෙහිදී මූලිකවම සැලකිල්ලට ගන්නේ මනාලියගේ අදහස් වෙතටයි.

මනාලියගේ අදහස්වලට මුල් තැන දෙමින් එහි යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා තෝරා බේරා දීමට අවැසි සහය ලබාදෙන්නේ හැඩ ගැන්වීමේ ශිල්පියා/ශිල්පිනිය හෝ මංගල ඇඳුම් නිර්මාණ ශිල්පිනිය සහ ශිල්පියා යි.

 

මනාලියගේ ඇඳුමට ගැළපෙන ලෙසින් මනාලියගේ ඇඳුමට ගැළපෙන අන්දමින් දෙවැනි මනාලියන්ගේ ඇඳුම් සැකසේ. මනාලියගේ ඇඳුම් සැකසීමේ දී මනාලයා අඳින ඇඳුම පිළිබඳව ද අවධානය යොමු කරයි.

මනාලයා උඩරට ක්‍රමයට මුල් ඇඳුම අඳින්නේ නම් මනාලිය හැඩවෙන්නේ සාම්ප්‍රදායික ඔසරියෙනි. එවිට දෙවැනි මනාලියන්ගේ ඇඳුම් සඳහා වැඩිවශයෙන් ආදේශ කරනුයේ ඔසරියයි.

Nude Colours රැල්ලක්

දෙවැනි මනාලියන්ගේ ඇඳුම් සඳහා තද වර්ණයන් වෙනුවට ළා පැහැයන් තෝරාගැනීම අලුත්ම විලාසිතාවයි. රෝයල් බ්ලූ, නේවි බ්ලු ආදී වර්ණ පෙර දක්නට ලැබුණත් දැන් බොහෝවිට දකින්නේ උදාසීන වර්ණයන්ගෙන් සැරසුණු දෙවැනි මනාලියන් ය. මේ ළා පැහැයන් බොහෝවිට නිශ්චිත වශයෙන් මේ මේ පැහැය යැයි කිව නොහැකි අන්දමේ ඒවා ය. පැහැයන් දෙකක් තුනක් එකට එකතු වී සෑදුණු වර්ණ මෙලෙස එක්වී තිබේ. ලෂ් මෙරූන් යනු රතු, කළු, දම් එකට එකතු වූ වර්ණයයි. කළු ඉවත්වී රතු සහ දම් ගතිය වැඩිවූ විට එය බර්ගන්දි පැහැයයි.

සම්ප්‍රදායික ක්‍රමයට හැඩවන දෙවැනි මනාලියන් සාමාන්‍ය පරිදි රෙද්ද කොටස ඇඳ අත 3/4 ක ප්‍රමාණයට (තී‍්‍ර ක්වාටර්) ක්‍රමයට පෆ් අතක් ලෙස යොදයි. දෙවැනි මනාලියන්ගේ ඔසරිය සහ බ්ලවුසය ලේස් ඇප්ලික් ක්‍රමයට සැකසෙන්නේ (මොඩර්න් කැන්ඩියන්) නවීන ක්‍රමයට ඔසරිය අඳින මනාලියන්ගේ ය. එහිදී මනාලයා අඳින්නේ Full suit  එක නම් දෙවැනි මනාලියන්ට විවිධ මෝස්තර ආදේශ කළ හැකියි. මෙහිදී මනාලිය චාමෙට ඇන්දුවත් දෙවැනි මනාලියන් විචිත්‍රවත්ව හැඩගන්වයි. ඒ උදාසීන වර්ණයන්ටම වැඩියෙන් වර්ක් කිරීමෙනි.

දෙවැනි මනාලියන් වැඩි වැඩියෙන්

දැන් දැන් දෙවැනි මනාලියන් තුන් දෙනා හතරදෙනා පවා ගන්නා අවස්ථා තිබේ. මල් කුමර කුමරියන් නැති තරම්ය. මින් පෙර මල් කුමරා, මල් කුමරියන් වැඩියෙනුත් දෙවැනි මනාල, මනාලියන් එක් අයෙක් දෙදෙනෙක් වශයෙනුත් එක්ව සිටිනු දක්නට ලැබේ.

 

 

2020/03/11 තරුණි බලන්න