අධික රස්නය නිසා මානසික අසහනයෙන් ද?

මාර්තු 18, 2020

දිනෙන් දින සංකීර්ණ වන සමාජයේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික, පාරිසරික ගැටලු බොහොමයි. මේවා හමුවේ පැන නඟින තාඩන පීඩන බොහෝ දෙනකුට දරාගත නොහැකි තත්ත්වයක් පෙනෙන්නට ඇත. මේ නිසාම තරහව, කේන්තිය, වෛරය ඇති වේ. එබැවින් මනස ලෙඩ වන පිරිස බොහෝයි.

අපේ රටේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මේ දිනවල පවතින සාමාන්‍ය උෂ්ණත්වය මිනිස් සිරුරක සාමාන්‍ය උෂ්ණත්වය ද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

මෙන්න මේ පාරිසරික විපර්යාසයක් පුද්ගලයා තුළ තරහව අධික කේන්තිය ඇතිවීමට ප්‍රධාන හේතු සාධකයක් වී තිබේ. ඇතැමුන්ට තම දෛනික කටයුතු හරියාකාරව ඉෂ්ඨ කරගන්නට නොහැකියි. නිදසුනක් ලෙසින් දවස් කුලියට වැඩකරන පෙදරේරුවරු, තණකොළ කපන්නන්, ගස් නඟින්නන් වගේම කම්කරු රැකියාවල නිරත වන අයට මේ කාලගුණික විපර්යාස ලොකු තර්ජනයක්. ඒ විතරක් නොවෙයි රියැදුරන්ට මේක පොදුයි. වැඩිදුර නොසිතුවාට එය කාර්යාල සේවකයන්ටත් දැනේ. මේ තත්ත්වය මත පුද්ගලයාගේ අපේක්ෂාභංගත්වය ඇති වේ. එමඟින් හටගන්නා සංකූලතා බොහොමයකි. නින්ද නොයෑම, කේන්තිය ඇතිවීම, ශරීරයේ විවිධ තැන්වල හිරිවැටීම්, අපහසුතා හට ගෙන ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ඇතැම්විට පුද්ගලයන්ගේ පවුල් සංස්ථා අවුල් වෙන්නටත් මෙය වක්‍රාකාර හේතුවක් වේ. තාඩන පීඩන උත්සන්නවීමේ දී අඹු සැමියන්, මාපිය දූදරු, සහෝදර බැඳීම් වුව ද පළුදු වේවි.

අධික රස්නය නිසා මානසික අසහනය හට ගැනීමෙන්

1. සාමාන්‍ය පුද්ගල සිතුවිලි වෙනස් වීම

2. දැනෙන සංවේදන වෙනස් වීම

3. හැසිරීම් රටාවේ වෙනස්කම් ඇතිවීම සිදු වේ.

දුක, කලකිරීම, ඉච්ඡාභංගත්වය ඇති වන්නට ද ඉඩ ඇත. තමන් සෑමවිටම අසහනයෙන්, කේන්තියෙන් පසුවන විට අනෙක් අය තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා යැයි ඔවුන් සිතනු ඇත. මොවුන් තුළ සංවේදන නැති වී යනු ඇත බව ද කිව හැකියි. එනම් පංචේන්ද්‍රියන්ට සංවේදී නොවීම හා සංවේදී වැඩි වීමයි.

දවස පුරා අධික ලෙස විඩාවට පත්ව උෂ්ණාධික කාලගුණික තත්ත්වයට මැදි වී දවස ගෙවූවන්ට රාත්‍රියේ නිසි නින්දක් ද නොලැබේ. නිදි යහනට ගිය ද ගත වෙහෙසකාරියි. නින්ද උදාවුව ද විකාර රූප සිහිනයෙන් දැකීම, කිසිවෙක් නැතත් කටහඬවල් ඇසීම ඇති වෙන්නත් පුළුවන්.

හැසිරීම් රටාවේ වෙනස්වීම් වන්නේ අධික තරහව, කේන්තිය විඩාවට පත්වූවන්ගේය. තමන් අනෙක් අයගෙන් හුදකලා වීම, ආවේගශීලී බව, ඉතාම දුක්මුසුව, වකුටුවී සිටීම, තමන් කරගෙන ආ කටයුතුවලින් ඈත්වීම එසේ නොවේ නම් ඕනෑවට වඩා ක්‍රියාශීලීව වැඩකිරීම වැනි ලක්ෂණ පිළිබිඹු කරයි.

මිනිස් සිරුරේ පැවතිය යුතුයැයි සම්මත උෂ්ණත්වය ඉක්මවා ගිය විට මෙවැනි අසාමාන්‍ය පීඩනයක් හට ගනී. එහෙත් පාරිසරික වෙනස්කම් හමුවේ ඔබ ඇදවැටිය යුතු නොවේ. උපතින්ම බුද්ධිමත්, යමක් හිතන්නට, අවබෝධ කරගන්නට හැකියාවක් උරුම ඔබ මෙවැනි හේතුවක් හමුවේ නොසැලී සිටීමට වග බලා ගත යුතුයි.

 

උපදෙස් - මනෝ වෛද්‍ය විශේෂඥ 
අරුණි  අබේසිංහ
රාගම ශික්ෂණ 

 

2020/03/16 තරුණි බලන්න