අම්මා රෑට උයන වෙලාවට අපි හැමෝම පොත් ටික අරගෙන කුස්සියට යන්න ඕන

ජූලි 15, 2020

විදුහල්පතිනි බ්‍රවේ කර්නල් බී. ආර්. මල්ලිකා රණසිංහ

(කෑ/ශාන්ත - ජෝශප් බාලිකා - විදුහල්පතිතුමිය)

“තියඹරාහේන වේවැල්පිටිය නිවෙසේ වාසය කළ ඩී. ආර්. මොහොට්ටි අප්පුහාමි සහ කේ. ජී. ප්‍රේමාවතී යුවළට දාව 1962 ජනවාරි 10 වැනිදා උපත ලැබූ ඇය පවුලේ හතරවැනියා ය. තමාට උපන් මල් කැකුළක් බඳු වූ රෝස පැහැති දූ සිඟිත්තිය එදින සිටම මල් මැණිකක් ම විය. තම පවුලේ අය නෑදෑයෝ මෙන්ම ගමේ සියලුම දෙනා ඇය ඇමතූ සුරතල් නාමය එය විය.

වෙල් එළියේ දුව පනිමින් ඇළේ දොළේ ගංගාවේ දිය නාමින් ගත කළ ළමා කාලය ඇය සිහි කරන්නේ ඉතාමත් සුන්දර සිත්තම් අපගේ මනසේ අඳිමින්ය.

“අපට තිබුණේ ඉතාමත් ක්‍රියාකාරි ළමා ලෝකයක්. මගේ පවුලේ අට දෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මුළු ගමම අපේ නෑදෑයෝ. බාප්පලාගේ පුංචි අම්මලාගේ අක්කලා අය්යලා නංගිලා මල්ලිලා අපි හැමෝම එකට සෙල්ලම් කළා.

වෙල් එළියේ දුව පනිමින් අපි සෙල්ලම් කළා. එදා කෙත, කමත, හේන, ඇළ දොළ ගැන, පලතුරු, එළවළු ගැන අපට අමුතුවෙන් පොත්පත්වල ලියලා ඉගෙන ගන්න දෙයක් තිබුණේ නැහැ. ගමේ කෙළිසෙල්ලමෙන් ගත කළ අපට මේ දේවල් ජීවන අත්දැකීම් වුණා. එදා ගමේ තිබුණු සියලුම ගෙවල් ගොවි ගෙවල්. හැමෝම කුඹුරට බැහැලා වැඩ කරනවා. ඒ ඒ දවසට අවශ්‍ය සහල් ටික ලබා ගන්නේ එදින උදෑසන ම ගෙදරම වී කොටලා.

එදිනෙදා වී කොටන එකත් සුන්දර දර්ශනයක්. නිවෙස ඉදිරිපිට තිබූ ගල මතට අවශ්‍ය ප්‍රමාණය වී දමා මොල් ගස් මාරු කරමින් වී කොටන ආකාරය අපි දැක්කා. ගල වටේට යමින් මෝල් ගස් මාරු කරමින් වෙහෙස මහන්සි වී අප ආහාරයට ගන්නා බත් සපයා ගන්නා ආකාරය දැක්කා. අපි අරපිරිමැස්මෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා එදා අපට අවබෝධ වුණා.

පාසල් කාලය

මගේ අම්මයි තාත්තයි ජ්‍යෙෂ්ඨ ප්‍රාරම්භය දක්වා පමණයි ඉගෙන ගෙන තිබුණේ. ඒත් අපි අට දෙනාට ඉගැන්වීමට ඔවුන්ට ලොකු වුවමනාවක් තිබුණා. මම 1 - 13 දක්වාම ඉගෙන ගත්තේ කෑ/මාබෝපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ. මගේ අම්මා අපේ අධ්‍යාපන කටයුතු ගැන විමසිල්ලෙන් සිටියා. ඇය රාත්‍රී කාලයට උයන්න කුස්සියට යනකොට අපි සේරම පොත් ටිකත් අරගෙන කුස්සියේ තිබුණ ලොකු මේසය උඩට යන්න ඕන. පාසලේ දී අපේ දවස ගත වුණ ආකාරය අපි ඇය සමඟ කිව යුතුව තිබුණා. ගෙදරින් අපි ගැන එසේ සොයා බලද්දී, පාසලේ ගුරුවරු අපිට ඉගෙනුම් හා ඉගැන්වීමේ ක්‍රියාවලිය හොඳින් සිදු කළා. ඒ දවස්වල අමතර පන්ති තිබුණෙ නැහැ. අපි ගෙදර ආවාම හැමෝම නාන්න ඕන. නෑවට පස්සේ දවල්ට කාලා නැවත අපි කළේ සෙල්ලම් කරන එක. සෙල්ලම් ඉවර වෙන්නේ අම්මා හවසට හදන මොනවා හෝ ඔසු පැන් වර්ගයක් බීමට අපට කතා කිරීමෙන් පසුව.

එදිනෙදා පාසලේ අධ්‍යාපන කටයුතු ගෙදර කරගෙන ගිය මට කිසි දිනක 1 - 13 වසර දක්වාම ප්‍රථමස්ථානය අහිමි වුණේ නැහැ. ඒ වගේම වාණිජ අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ එකම සිසුවිය මම වීමත් පාසලට, ගමට, මට නිහතමානී ආඩම්බරයක් වුණා.

මේ කාලය තුළ දහම් පාසල් අධ්‍යාපනය හොඳින් ලැබීමටත් අප වාසනාවන්ත වුණා. ශ්‍රී ශෛලබිම්බාරාමය දහම් පාසල, පන්සල අපට සමාජයේ ධාර්මිකව ජීවත් වෙන්න පාර පෙන්වා දුන්නා.”

උසස් අධ්‍යාපනය

කැලණිය විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී විශේෂ උපාධිය ලබා ගත් ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියද, විවෘත විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට පැමිණීම

අධ්‍යාපන පරිපාලන සේවා (විවෘත) තරග විභාගයෙන් සමත් වු ඇය තම වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේ විවිධ අධ්‍යාපන ආයතනවල වසරක පුහුණුවෙන් පසුවය.

වෘත්තිය ජීවිතය

පළමුවෙන්ම ගිරාදුරුකෝට්ටේ මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිනිය ලෙසද, මහියංගනය කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසද, නැවත බදුල්ල, මහියංගන, මාපාකඩවැව මහ විදුහලේ විදුහල්පතිතුමිය ලෙසත් සේවය කරමින් විවිධ අභියෝගවලට නොබියව මුහුණ දෙමින් විවිධ අත්දැකීම් ජීවිතයට ලබා ගත්තාය.

පසුව 1991 වසරේ කෑගල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසත්, ගුරු මධ්‍යස්ථානය භාර නිලධාරිනිය ලෙසත් සේවය කර 2002.05.22 වැනි දින කෑගලු බාලිකා මහ විදුහලේ අධ්‍යාපන පරිපාලන සේවයේ ධ් පන්තියේ විදුහල්පතිනියක් ලෙස වැඩ භාර ගන්නා ලදී. කාන්තා පාසලක් වන කෑගලු බාලිකා මහ විදුහලේ අවු. 8 කට මාස තුනකට අඩු කාලයක් සේවය කර එම පාසල දිවයිනේ විශිෂ්ට පාසලක් බවට පත් කළාය. එම පාසලේ ප්‍රථම වරට වාණිජ අංශයෙන් දිවයිනේ තුන්වැනියාත්, ගණිත අංශයෙන් හා ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානයත් හිමි කර දීමට ඇයට හැකි වුණි.

කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සේවය කිරීමට සිටින අතරතුරදී නැවත දරුවන් යහමඟ යැවිය හැකි එකම මාර්ගය විදුහල්පතිනියක ලෙස සේවය කිරීම පමණක්ම යැයි සිතු ඇය 2012.04.11 දින කෑ/ශාන්ත ජෝශප් බාලිකාවේ විදුහල්පතිනිය ලෙස වැඩ භාර ගත්තාය.

එදා සිට අද දක්වා දියණියන් 5000 කට අධික පිරිසකට හා ඔවුන්ට සිප් කිරි පොවන ඇදුරු මඬුල්ලටද පෙර ගමන් කරුවා වන්නේ ඇයයි. නව සහස්‍රයට ගැළපෙන කාන්තා පරපුරක් බිහි කිරීම ඇයගේ දැක්මයි. විශිෂ්ටයන් අතර විශිෂ්ට වනිතාවක් බිහි කිරිම ඇයගේ මෙහෙවරයි.

1909 ජනවාරි 14 වන දින විල්මර් කන්‍යා සොයුරියගේ මූලිකත්වයෙන් දියණියන් 8 දෙනකුගෙන් අරඹන ලද කෑ/ශාන්ත ජෝශප් බාලිකාව විදුහල්පතිනියන් 17 දෙනකු යටතේ දියුණුවෙමින් පැමිණි අතර මල්ලිකා රණසිංහ මැතිණිය එහි 18 වැනි විදුහල්පතිනිය වෙයි.

වසර 110 ක අභිමානවත් සැමරුමකට උරුමකම් කියන මේ මොහොතේ පාසල පසුවන්නේ මෙතෙක් ආ ගමන් මගේ ස්වර්ණමය යුගයකය. මෙවැනි තත්ත්වයකට විදු මාතාව රැගෙන ඒමට ඇය කළ සේවයෙන් බිඳක් හෝ සනිටුහන් කළ යුතුමය.

“අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධන ඉලක්ක සපුරාලමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණ පිළිබඳ නොකියාම බැරිය. මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ පිරිස 617 ක් වන අතර ඉන් 493 කටම විශ්ව විද්‍යාල වරම් ලබා දෙමින් මගේ දියණියන් විශිෂ්ටයන් අතර විශිෂ්ටයන් බවට පත් විය.

අභිමානවත් 110 වැනි සංවත්සරය සමරන මේ වසරේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය එසේ සිදුවන අතර ක්‍රීඩා, විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින්ද දිවයිනේ අනෙක් පාසල්වලට අප නොදෙවෙනිය.

 

ඡායා - ශාන් රූපස්සර

2020/07/15 තරුණි පුවත්පත බලන්න.