තමාගේ ඉලක්කයට සුදුසු වනසේ අධ්‍යාපනය ලබා ගන්න..

ඔක්තෝබර් 7, 2020

ජීවිතය අප සෑම අයකුට ම එකම ලෙසින් පවතින්නේ නැත. එකිනෙකාට සාපේක්ෂව ලැබෙන අවස්ථා හා පහසුකම් වෙනස් වේ. එමෙන්ම උපතින් එකිනෙකාට ලැබෙන දක්ෂතා ද වෙනස් වේ. මේ නිසා අයෙක් සිදු කරන දෙයක් දෙස බලා ඒ දේම සිදු කිරීමට යාම ඇතැම් විට ඵල රහිත දෙයක් විය හැකිය.

අප යමකුගෙන් ආදර්ශ ලබා ගෙන කළ යුත්තේ අපට ගැළපෙන දෙයයි. එසේ නැතිව රැල්ලට යමින් අනෙක් අය කරන දේම සිදු කිරීම අසාර්ථකත්වයට හේතුවිය හැකිය. එමෙන්ම ජීවිත සාර්ථක කරගත් චරිත දෙස බැලීමේ දී පෙනෙන පොදු කාරණයක් වන්නේ ඒ හැම පුද්ගලයෙක් ම වෙනස් ව සිතන අභියෝගවලට බිය නැති පුද්ගලයන් බවයි.

උසස් පෙළ විභාගයෙන් අනතුරුව මේ තරුණිය විදෙස් ගත වී ඇත්තේ විදෙස් රටක විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් යම් කාලයක් උපාධි පාඨමාලාව හදෑරූ ඇය එම රටෙහි ජීවත් වීමට ඇති අසීරුබව හා අකැමැත්ත නිසා විවිධ අපහසුතා ගැන පවසමින් නැවත ලංකාවට පැමිණ ඇත.

ඇය මට මුණගැසෙන විට වයස 29 ක අවිවාහක තරුණියකි. ජීවිතයේ කිසිදු දිනක ඇය රැකියාවක යෙදී නැත. දැන් ඇය රැකියාවක් කිරීම සඳහා කුමනාකාරයේ පාඨමාලාවක් හැදෑරිය යුතුදැයි මගෙන් විමසුවා. එවිට මම ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවේ මේ පිළිබඳ තවත් කරුණු හරියාකාරව දැන ගැනීමට යි.

අධ්‍යාපනය හරියාකාරව නිම කිරීමට පෙර නැවත ලංකාවට පැමිණියේ ඇයි? මෙයට ඇය දුන් පිළිතුර වන්නේ, කොවිඩ් ප්‍රශ්නය ආව නිසා මම ලංකාවට ආවා. ඒ රටේ මට ඉන්න හිතුණෙත් නෑ, කොහොමත් ඒ විෂයයන්වලට මම ඒ තරම් කැමැතිත් නෑ.. ලෙසයි.

එවිට මම ඇයගෙන් ඇසුවේ, එම විෂය ධාරාව හදාරන්න මුදල් වියදම්කර විදේශ රටකට යාමට සිතුවේ ඇයි යන්නයි. මට මොනවා හරි කළා නම් හොඳයි කියලා හිතුණා.. මගේ යාළුවොත් වැඩි දෙනෙක් විදෙස් ගත වෙලා අධ්‍යාපනය හදාරමින් හිටියේ.. ඒ නිසා මමත් ගියා. උපාධිය සඳහා වියදම් කළේ කවුදැයි විමසූ විට වියදම් දැරුවේ මවුපියන් බව ඇය පැවසුවා.

මවුපියන්ගේ ආදායම් පිළිබඳ විමසූ විට දැන ගන්නට ලැබුණේ ඇයගේ පියා විශ්‍රාමික අයකු බවත් මව ගෘහණියක් බවත් ය. ඔවුන් තම දරුවා විදේශ රටක අධ්‍යාපනය සඳහා යවා තිබුණේ තමන් දුක් මහන්සියෙන් ඉතිරිකර ගත් මුදල් ය.

එවිට මම ඇයගෙන් නැවතත් විමසුවේ, ඔබ ලංකාවේ පාඨමාලාවක් හැදෑරීමට නැවත සිතන්නේ කුමන ක්ෂේත්‍රයකින් ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් ද යනුවෙනි. එවිට ඇයට ඒ සඳහා නිශ්චිත පිළිතුරක් නොතිබූ අතර තමා කුමනාකාරයේ පාඨමාලාවක් කිරීම සුදුසුදැයි ඇය මගෙන් විමසා සිටියා.

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

2020/10/07 තරුණි පුවත්පත බලන්න.