වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ප්‍රියන්තව ටීවී එකේ දකින කොට මට උන්හිටි තැන් අමතක වුණා
- ප්‍රියන්ත කුමාරගේ ආදරණීය බිරිය තරුණී ට කියූ කතාව
- “සිද්ධියට ඉස්සර දවසේ මාත් එක්ක පැය දෙකකට වැඩිය කතා කළා“
-
මම දරු දෙදෙනා සමඟ තනිවුණා
-
එයා හරිම සරල අහිංසක කෙනෙක්... කිසිම දවසක සිගරැට් අරක්කු තියා බියර්වත් බොන්නේ නැහැ.
එදා සිකුරාදා රෑ මට ටිවී එකේ ප්රවෘත්ති බලන්න බැරි වුණා. ඒත් ටිකක් රෑ වෙලා මම පියෝ ටීවී තියෙන නිසා රිවයින්ඩ් කරලා හතේ ප්රවෘත්ති බැලුවා. මම එහෙම බලන කොට තමයි පාකිස්තානයේ මේ සිද්ධිය දැක්කෙ. මගේ මහත්තයා වැඩ කරන්නෙත් පාකිස්තානයේ නිසා මම ඕනකමින් බැලුවා. එතකොට මහත්තයාගේ ෆොටෝ එකත් එක්ක විස්තරය කියනකොට මට උන්හිටි තැන් අමතක වුණා. මට කෑ ගැහිලා ඇඬුණා. ටීවී එක ඕෆ් කරලා මම මේ ගැන හොයලා බැලුවා. එතකොට මේ සිද්ධිය ඇත්ත බව තහවුරු වුණා. ඒත් දෙයියනේ මම ඒක කොහොම විශ්වාස කරන්නද?‘‘
පාකිස්තානයේදී රුදුරු ලෙස ඝාතනය වී මියගිය ප්‍රියන්තගේ ආදරණීය බිරිය නිලූෂි දිසානායක මහත්මිය කඳුළු අතරින් සිය ආදරණීය සැමියා ගැන කතා කරන්නීය.
‘‘ ප්‍රියන්ත පාකිස්තානයට ගියේ 2010 අවුරුද්දෙ. 2012 තමයි දැන් ඉන්න ආයතනයට සම්බන්ධ වුණේ. එයා හරිම සතුටින් රැකියාව කළා. හැමදාම මට කෝල් එකක් දෙනවා. මිය යන්න පෙර දවසේත් මට කතා කළා. එදා වෙනදාට වඩා කතා කළා. පැය දෙකහමාරක් විතර විස්තර කිව්වා. ඒත් මේ වගේ සිදුවීමක් ගැන ඉඟියකින් වත් කිව්වේ නැහැ. ෆැක්ටරිය බලන්න ජර්මනියෙන් ආයෝජකයන් පිරිසක් එන හින්දා මේ දවස්වල ෆැක්ටරි එක සුද්ධ කරනවා කියලා කිව්වා. එයා කොරෝනා වලට වැක්සින් එක අරගෙන තිබුණේ නැහැ. ඒ හින්දා මේ මාසයේ වැක්සින් එක ගන්න ඕන කියලත් කිව්වා. ‘‘
සැබැවින්ම මේ සිදුවීමේ ඇති ශෝචනීය බව වන්නේ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මෙවැනි මිනිසකු ම්ලේච්ඡ ලෙස මරා දැමීමෙන් දරු දෙදෙනකු සමඟ බිරිය අසරණ වීමය. ඔවුන් නිදහසේ අහිංසක තනා ගත් සුන්දර කැදැල්ලක් සදා කාලික අඳුරින් පිරී යාමය.
ප්‍රියන්ත යනු ඉතාමත් ධෛර්යය වන්ත කෙනෙකි. ඉතාමත් කරුණාවන්ත කෙනෙකි. නිදහස් අධ්‍යාපනයේ උපරිම පල නෙළා ගනිමින් බොහෝ දෙනකුට ආදර්ශවත් ලෙස ඉංජිනේරුවරයකු බවට පත්වන ඔහු විදෙස් රටක කර්මාන්ත ශාලාවක් භාරව කටයුතු කරන්න තරම් දක්ෂ පරිපාලකයකු විය. එසේම එම කර්මාන්ත ශාලාව වසර දෙකක් වැනි කෙටි කාලයකින් විශාල ප්‍රගතියක් කරා මෙහෙයවීමට තරම් නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරිපුන් අයකු විය.
නන්දසිරි ප්‍රියන්ත කුමාර නැතිනම් ප්‍රියන්ත කුමාර උපත ලබන්නේ 1972 දෙසැම්බර් 30 වැනිදාය. ඔහුගේ පියා ජයවර්ධන දියවඩනය. මව ඩී. ඇම්. කිරිඇල්ලය. හය දෙනකුගෙන් යුතු පවුලේ බාලයා ලෙස උපත ලැබූ ප්‍රියන්ත ඉගෙනුමට දක්ෂය. ඔහුගේ පියා මිය යන විට ප්‍රියන්ත ඉගෙනුම ලබමින් සිටියේ ගනේමුල්ල ගලහිටියාව විද්‍යාලයේ 9 ශ්‍රේණියේය. සොහොයුරන් දෙදෙනෙකු හා සොහොයුරියන් තිදෙනෙකු සමඟ සිටි ඔහු මාතර රාහුල විද්‍යාලයට ඇතුළු වූයේ උසස් පෙළ සඳහා පෙනී සිටීමටය. 1993 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට දොරටු විවර කර ගන්නා ප්‍රියන්ත ඉන් පිටවන්නේ ඉංජිනේරු වරයකු ලෙසිනි.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ප්‍රියන්ත රැකියා කිහිපයකම නිරතවන අතර 2010 වසරේදී පාකිස්තානය ෆයිසලාබාද් නුවර පිහිටි කර්මාන්ත ශාලාවක ඉංජිනේරුවරයකු ලෙසින් රැකියාවට පිටත්ව ගියේ අනාගත ඉලක්ක සපුරා ගැනීමේ අපේක්ෂාවෙනි.
පාකිස්තානය දියවඩන පවුලට ආගන්තුක රටක් නොවේ. ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා ද ෆයිසලාබාද් හි ඇඟලුම් කම්හලක සේවය කරන අතර
වැඩිමල් සොහොයුරන්ගේ මඟ පෙන්වීම මත ප්‍රියන්ත ද එහි යන්නේ පාකිස්තානයේ ආගමික සංස්කෘතික පදනම ගැන ලොකු අවබෝධයකිනි.
පසුව ප්‍රියන්ත සියල්කෝට් හි රාජකෝහි සේවයට එක්වන අතර එහි සාමාන්‍යාධිකාරි තනතුර දක්වා උසස් වු ඔහු දිවා රෑ නොබලා තම කර්මාන්තශාලාව වෙනුවෙන් කැපවූයේ ලොව අංක එකේ කර්මාන්ත ශාලාව බවට පත් කිරීමේ අපේක්ෂාවෙනි.
ප්‍රියන්ත කුමාරට ඔහුගේ ජීවන සහකාරිය වූ නිලූෂි දිසානායක හමුවන්නේ ගනේමුල්ල ප්‍රදේශයෙනි. ඇයද ඇඟළුම් ක්ෂේත්රයේ සේවය කළ දක්ෂ නිලධාරිනියක වන අතර ඔවුන් දෙදෙනාගේ ආදර කතාව මල් පල ගන්වමින් ඔවුන් එකම කැදැල්ලකට පිය නඟන්නේ ඉන් පසුවය. ගනේමුල්ල වැලිපිහිල්ල ප්‍රදේශයේ තැනූ මේ දෙදෙනාගේ පුංචි කැදැල්ල ආදරයෙන් සෙනෙහසින් පිරී යන්නේ දරු දෙදෙනකු එක් වෙමිනි.
වැඩිමහල් පුතු නවිද ශෙනුක දියවඩන වයස අවුරුදු 14 කි. ඔහු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර පොඩි පුතු ලිතුල ලේසාන් දියවඩන වයස අවුරුදු 9 කි. ඔහු වැලිපිල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
ප්‍රියන්ත හා නිලූෂි විවාහ වී දැනට අවුරුදු 16ක් වන අතර ඔහුගේ නිහඬ ජීවිතයක් ගත කළ සාමකාමී පවුලකි. එසේම ප්‍රියන්ත ද තම කර්මාන්ත ශාලාවේ කටයුතු කර ඇත්තේ ඉතාම සුහදශීලීත්වයෙනි.
ඔහුගේ වූ උතුම් ගති පැවතුම් හා සෙනෙහෙස ගැන නිලූෂිගේ කඳුළු පිරි දෙනෙතින් පිටවූයේ මහත් වේදනාවෙනි.
“ අපි දෙන්නා මුණ ගැහෙන්නේ එකම ආයතනයක සේවය කරද්දී. එහිදී දැන හඳුනාගෙන පෙම්වතුන් වුණා. එයා හරිම සරල අහිංසක කෙනෙක්... කිසිම දවසක සිගරැට් අරක්කු තියා බියර්වත් බොන්නේ නැහැ. මස් මාංසවත් කන්නේ නැති එයා අපට හැම වේලාවෙම කියන්නේ පලතුරු කන්න කියලා. එයා වැකේෂන් එකට අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා. හුඟක් වෙලාවට අගෝස්තු මාසයෙ තමයි නිවාඩු තියෙන්නේ. ඒ ආපුවහම අපේ දරුවොයි ඥාතීන් එක්ක විනෝදයෙන් ඉඳලා යනවා. ඒත් කෝරෝනා නිසා 2019 එන්න බැරි වුණා. එයාගේ අම්මා අසනීපයෙන් ඉන්නේ. ඒ ගැනත් දුක සැප හැමදාම අහනවාමයි. අන්තිමට මාත් එක්ක කතා කරන කොට මම ඇහුවා ලංකාවට එන්නේ කවද්ද කියලා. දැන්ම එන්න බැහැ කිව්වාම මම කිව්වා මේ සැරේ අපි ඔයාව බලන්න එන්නම් කියලා. එයා එතකොට හිනාවුණා. ඇත්තටම එයාට සතුරෝ හිටියේ නෑ. කර්මාන්තශාලාවේ ගැටුම් තිබුණේ නැහැ. ආගම්වාදී ගැටුමක් මුල් වෙලා පෝස්ටර් ඉරපු කතාව නම් විශ්වාස කරන්න අමාරුයි. එයාට ඉස්ලාම් ආගම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එයා මේ වගේ දෙයක් කරන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම අපේ ජනාධිපති තුමාගෙන් වගේම පාකිස්තානයේ ජනාධිපති තුමා අගමැතිතුමා ඇතුළු වගකිව යුතු අයගෙන් ඉල්ලන්නේ මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. ඒ වගේම මේ රටේ සේවය කරන අපේ රටේ අයගේ ආරක්ෂාව සහතික කරන්න. මම දරු දෙදෙනෙක් එක්ක තනිවුණා. මට අත්වුණු ඉරණම වගේ එකක් කිසිම බිරිඳකට අත්වෙන්න දෙන්න එපා. “
රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් හි සාමාන්‍යාධිකාරිවරයා ලෙස වසර 10 කාලයක් සේවය කරන කාලය තුළ ප්‍රියන්ත ඉහළම ප්‍රගතියක් පෙන්වා තිබේ. මැෂින් 500ක් පමණ වූ තම කර්මාන්ත ශාලාවේ මැෂින් 2000ක් දක්වා වැඩකරමින් ඉහළම නිෂ්පාදන ඵලදායිතාවක් පෙන්නූ ඔහු සේවකයන් 2600ක් පමණ පාලනය කරමින් විශාල විදේශ විනිමයක් උපයා ඇත්තේ තම හැකියාව දක්ෂතාවය කර්මාන්තශාලාවට උපරිමයෙන් ලබා දෙමිනි. ක්‍රීඩා ආශ්රිත ඇගලුම් නිෂ්පාදන ආයතයක් වූ මෙහි සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉතාම උනන්දුවෙන් හා සංවේදීව කටයුතු කළ ඔහුට මෙවන් ඉරණමක් උරුම වයේ කෙසේදැයි සමස්ථ ලෝකයම බලා සිටින්නේ විමතියෙනි.
මෙලෙසින් ඔහුට උරුම වූ මෙම මරණය තවත් කිසිවකුටත් සිදු නොවීමට වගබලාගත යුතු යැයි ප්රීයන්තගේ බිරිය මුළු ලොවට හඬගා කියන්නේ මේ අපරාධය කළ අමානුෂික ම්ලේච්ඡ පුද්ගලයන්ට දඬුවම් ලබා දී මියගිය ඔහුගේ ස්වාමිපුරුෂයාගේ නාමයෙන් තවත් කිසිවකුට මෙවන් ඉරණමක් අත් නොවීමට වගබලා ගන්නා ලෙස පාකිස්තානු රජයට හා අගමැතිවරයාට හඬගා පවසමිනි.
මේ සිදුවීමේදී ඔහු බේරා ගැනීමට උත්සාහ ගන්නේ එම කම්හලේ සේවකයකු වූ මාලික් අද්නාන් නමැති ප්‍රියන්තගේ සමීපතමයෙකි. සිය දහස් පිරිසක් අතර මේ අසරණ පුද්ගලයා ප්‍රියන්ත බේරා ගැනීමට ගත් උත්සාහය ගැන සඳහන් කළේ මහත් සංවේදීවය.
“සේවකයෝ පිරිසක් වියරුවෙන් වගේ ප්‍රියන්තගේ කාමරේ දොර කඩාගෙන එළියට ගන්න ආවා. ඒ වෙලාවේ මම ඔහුව බේරාගෙන ෆැක්ටරියේ වහලේ උඩ සූර්ය පැනල් යට හැංගුවා. නමුත් සේවකයෝ හිටියේ පුදුම ආවේගයකින්. මටත් ඔවුන් පහර දුන්නා. මාවත් තල්ලු කරලා ප්‍රියන්තව අල්ලාගෙන ඇදගෙන පාරට ගියා. ඉන්පස්සේ ඔවුන් ප්‍රියන්තට පහරදිලා ඝාතනය කරලා තිබෙනවා.“ මෙලෙසින් මාලික් තමා ඇසින් දුටු දේ මාධ්‍ය වෙත පවසා තිබුණේ සත්‍ය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටිමින්. මේ වන වට ඔහු පොලිස් ආරක්ෂාව මැද පන්ජාබ් පොලිසියේ රඳවාගෙන සිටින අතර ඔහු පවසන්නේ ප්‍රියන්ත ඉතාම අවංක පුද්ගලයකු ලෙස මෙම කම්හල ඉතාම හොඳින් පවත්වාගෙන ගිය බවයි.
ඡායාරූප සමන්ත වීරසිරි
චින්තක කුමාරසිරි
සටහන
දුමින්ද කාරියවසම්