නිරෝගී බව දියුණුවේ ගමන වේගවත් කරයි...

සාර්ථක පුද්ගලයන් සතු දියුණුවට හේතුවන කාරණා 10
දෙසැම්බර් 13, 2021

 

'රජෙකු වුණත් ගිලන් වෙලා....

එක්තැන් වුණු දා

කියනවාට සැකයක් නෑ.. සැකයක් නෑ..

නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා...'

මේ ගීතය කොතෙක් සත්‍යක් දැයි දැනෙන්නේ සුළු හෝ රෝගී තත්ත්වයක් ඇති වූ විටයි. රෝගී වී සිටින විට නිරෝගී බවේ අගය වඩාත් හොඳින් දැනෙන්ට පටන් ගනී.

සාර්ථකත්වය සඳහා ඉලක්ක හඹා යාමේ දී අපට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. එහිදී ඇතැම් විට අපගේ නිරෝගී බව පවා අවදානමට ලක් කිරීමට සිදුවේ. එහෙත් එය කොතෙක් දුරට අපගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා යහපත්ව බලපාන්නේදැයි අද ලිපියෙන් ඔබට දැනගත හැකියි.

සාර්ථකත්වය ළඟාකර ගත් පුද්ගලයන් තුළ ඇති අනෙක් යහපත් පුරුද්ද වන්නේ තමාගේ කායික හා මානසික සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමයි. නමුත් බොහෝ පුද්ගලයන් චාරිකාවක් යාමට මත්තෙන් තමා යන වාහනය ගැන සොයා බලන තරම් අවධානයක්වත් සාර්ථකත්වයේ චාරිකාව යාමට සිටින තමාගේ සිරුර කෙරෙහි නොදක්වයි.

කොතරම් දියුණු වුවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නැතිනම් එම සාර්ථකත්වය නියම සාර්ථකත්වයක් නොවන බවත් ලබා ගත් දියුණුවෙන් තමාට ප්‍රතිඵලයක් නොලැබෙන බවත් අප දැනගත යුතුය. මේ කාරණාව වඩාත් හොඳින් දන්නා නිසා සාර්ථක පුද්ගලයන් තමාගේ කාලයෙන් යම් කුඩා වේලාවක් හෝ තමාගේ කායික හා මානසික සෞඛ්‍ය වෙනුවෙන් වැය කරයි.

ලෝකයේ ප්‍රකට දේශකයන් හා ලේඛකයන් වන රොබින් ෂර්මා හා රිචඩ් බ්‍රැන්ඩ්ස් වැනි අය නිති පතා උදෑසන තම නිරෝගීතාව උදෙසා ශාරීරික අභ්‍යාසවල යෙදෙන බව ඔවුන්ගේම පොතපතෙහි සඳහන් ය.

ඔබ වයස 30-35 පසු වූ අයෙක් නම් පසුගිය මාස 6 පුරාවට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සා බැලීම සඳහා වෛද්‍යවරයෙක් වෙත ගොස් මූලික වෛද්‍ය පරීක්ෂණ හෝ සිදුකර තිබෙනවාද? මූලික වෛද්‍ය පරීක්ෂණයකට රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, රුධිරගත සීනි මට්ටම ආදී දේ පරීක්ෂා කෙරෙයි.

තමාගේ සෞඛ්‍යය කෙරෙහි ඔබ කොතෙක් දුරට සැලකිලිමත්දැයි සිතා බලන්න. පෝෂණීය, සිරුරට හිතකර ආහාර නිසි කාල වේලාවට ලබා ගන්නවාද? සිරුරේ යම් කිසි වේදනාවක් දැනෙනවා නම් එය ගැන අවධානය යොමු කොට අවශ්‍ය නම් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙනවාද? නැතිනම් එය නොසලකා හරිනවාද? රාත්‍රියට සුවසේ ප්‍රමාණවත් නින්දක් ලබනවාද? මේ ගැටලුවලට පිළිතුරු සැපයීමෙන් ඔබට ම තමාගේ තත්ත්වය මැන ගත හැකියි.

ධනය උපයන මාර්ගයේ දී සෞඛ්‍ය රැක නොගතහොත් සිදුවන්නේ උපයන මුදල් ලෙඩ රෝග සඳහා වියදම් කිරීමටයි. ලෝකයේ ප්‍රකට පුද්ගලයෙක් සඳහන්කර තිබෙන්නේ ඔබ අනවශ්‍ය ලෙස ආහාර ලබා ගත හොත් යම් දිනෙක දී ආහාර ලෙස බෙහෙත් ගැනීමට සිදු විය හැකි බවයි. ආසාවන්, සිතුවිලි, හැඟීම් පාලනය කිරීමකින් තොරව සෞඛ්‍ය රැක ගැනීමට අපහසු ය.

කය තුළ සිත පිහිටන බැවින් කායික නිරෝගීතාව රැක ගැනීම වැදගත් ය. කය රෝගී වන විට සිත රෝගී වේ. සිත රෝගී වන විට කය රෝගී වේ. මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇති බැවින් කායික හා මානසික නිරෝගීබාවය තබා ගැනීම දියුණුව කරා යන ගමනේ දී වඩා වැදගත් සාධකයක් බවට පත් වේ.

අප කය ගැන යම් තරමක හෝ උනන්දුවක් දැක්වුවද මානසික සෞඛ්‍ය ගැන එතරම් සැලකීමක් නොදක්වයි. ඔබ නිතර දුකෙන්, තැවුල් සිතින්, යම්කිසි දෙයක් පිළිබඳ සැකයකින්, පසුතැවීමකින් නම්, ක්‍රෝධය, වෛරය වැනි හැඟීම්වලින් යුතු නම්, පළිගැනීමේ චේතනාවෙන් යුතුව ක්‍රියාත්මක වෙනවා නම්, සිත තුළ නිතරම ඍණාත්මක, පසුගාමී සිතුවිලි පවතී නම් ඔබේ සිත රෝගී වී ඇති බව මූලිකව පැවසිය හැකියි.

මේ තත්ත්වයන් දිගින් දිගට ම පැවතීම හරහා විශාදය වැනි රෝග පවා වැළඳිය හැකිය. ඔබට සියල්ල එපා වී ජීවිතය නැතිකර ගැනීමට පවා සිතීමට පුළුවන. එමනිසා මානසික නිරෝගීතාවත් සාර්ථකත්වය කරා යාමේ දී වැදගත් තැනක් උසුලයි. තම ජීවිත සාර්ථක කරගත් මිනිසුන් අවම වශයෙන් දිනකට විනාඩි කිහිපයක් හෝ මානසික සුවතාව වෙනුවෙන් වෙන්කිරීමට පුරුදු පුහුණු වූවන් ය.

උදෑසන නැගිට පිනි වැටෙන හිමිදිරියේ ම මල් අතර ගස් අතර තණකොළ පාගමින් ඇවිද යාම වුවද සිතට ගෙන දෙන්නේ සුවයකි. එමෙන්ම දියුණුවේ මාවතේ යන මිනිසුන් සමාව දීමේ රුසියන් වේ. අමතකකොට සමාව දීම (Forget and forgive) යන්න ඔවුන්ගේ රීතියක් වැනි ය. යම් සිදුවීමක් අප අමතක කොට සමාව දිය යුත්තේ එය එම වැරැද්ද කළ තැනැත්තාට හොඳ නිසා පමණක් නොවේ. ඉන් තමාට මානසික නිදහසක් ලබා ගැනීමට හැකියාව ඇති නිසයි. අතීතයේ කුණු සිතේ පුරවාගෙන අනාගතයේ සාර්ථකත්ව කරා පියනැගීම අසීරුය.

බොහෝ මිනිසුන් දියුණු නොවන්නේ ඔවුනට ඒ සඳහා හැකියාවක් නැති නිසා නොවේ. ඔවුන්ගේ වටිනාම ඉන්ද්‍රිය වන මොළය අතීතයේ සිදු වූ අනවශ්‍ය දේ වලින් පුරවාගෙන අතීතයේ සිරකරුවන් වී සිටින නිසා සාර්ථකත්වය කරා සිත මෙහෙවීමට නොහැකි වීමෙනි.

ඔබේ සිත යම්කිසි දෙයක පැටලිලාද? නිතර සිටින්නේ සිත් තැවුලෙන් ද? ජීවත් වීමේ ආසාව අඩු වෙලාද? ඔබට කිසිම දෙයක් කිරීමට උනන්දුවක් උද්‍යෝගයක් නැති ද? මට හැමදේම එපාවෙලා යන වදන් ඔබේ මුවෙන් නිතර පිටවෙනවාද? එසේ නම් ඔබේ මනස මේ වන විටත් යම් මානසික අසහනකාරී තත්ත්වයක පසුවන බැවින් මනස නිරවුල් කරගැනීම අනෙක් සියල්ලට පළමුව සිදුකර ගත යුතුය.

මේ නිසා මනස නිරෝගී කරගැනීමට ඔබ විසින් ම උනන්දු විය යුතුය. තරමක් වැඩි වශයෙන් මානසික අසමබරතාවක් පවතී නම් මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. නැතිනම් දිනකට සුළු වේලාවක් හෝ භාවනාවක් සිදුකර සිත පිරිසුදු කරගන්න. හොඳ සංගීතයකට සවන් දෙන්න. පරිසරය සමඟ විනාඩි කිහිපයක් රැඳී සිටින්න. මේ සඳහා වෙලාව වෙන් කිරීමට හෝ සොබාදහමට ළං වීමට අපහසු බොහෝ දෙනා මාළු ඇතිකිරීමට පෙළඹේ. මාළුන්ගේ පිහිනීම දෙස බලා සිටින විට සිත සැහැල්ලු වේ. මේ ආකාරයෙන් සිතත් කයත් නිරෝගීව තබා ගැනීමෙන් ඔබට සාර්ථකත්වය කරා යන ගමන වේගවත් කරගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු