මහන මැෂිමේ ඉතිහාසය පිළිබඳව විමසා බලමු

දෙසැම්බර් 20, 2021

“මැහුම් කලාවේ නිම්වළලු පුළුල් කරන චාරිකාව තරුණී මැහුම් ඉස්කෝලේ Lesson No. 01

ඔබ ඉතාම සුළුවෙන් හෝ මැහුම් කලාවට අත්පොත් තැබීමට සූදානම් වන්නේ නම් මුලින්ම මහන මැෂිමේ ඉතිහාසය පිළිබඳව දැන සිටීම වටී.

ඒ පිළිබදව විමසා බැලීමේදී මහන මැෂිමක් ව්‍යාපාරික මට්ටමෙන් නිෂ්පාදනය වූයේ එක්දහස් අටසිය පනස් එක (1851) වසරේදී යි. එතැන් සිට ශතවර්ෂයක් ඉක්ම යද්දී ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් දක්නට ලැබුණු අතර කාර්මික පුනරුදයේ පැහැදිලි ඉඩහසරක් වෙන්කර ගැනීමට මහන මැෂිම සමත් වීම කැපී පෙනෙනවා. එසේම කාන්තාවන් සඳහා පුළුල් ලෙස රැකියා අවස්ථා සහ ඉපැයීමේ මාර්ග නිර්මාණය වී තිබෙන්නේ ද ඇඟලුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. ලංකාවේද එය සංඛ්‍යාත්මකව ලක්ෂ ගණනක් බව පැහැදිලියි. දේශීය නිෂ්පාදන ආර්ථිකයේ මෙන්ම ඇඟලුම් ආශ්‍රිත විදේශ සේවා නියුක්ත කාන්තාවන් ගේ විදේශ විනිමය ඉපයීම් සමඟ කියන්නට ඇත්තේ; ‘ඔවුන් නොමැති නම් කාලා හමාරයි‘ වැනි කතාවකි. තරුණී මැහුම් ඉස්කෝලෙන් ඔබට උගන්වන්නට යන්නේ ගෞරවණීය මෙන්ම ඓතිහාසික උරුමයක් සහිත වෘත්තියක් බව අමතක කරන්නටත් එපා.

දහනව වැනි සියවසේ මැදභාගය වනතුරුම ඇඳුම් මැසීම සිදු කළේ අත, ඉඳිකටුව සහ නූල් භාවිතයෙන්. ඇඳුමක් මසා නිම කිරීමට ගතවූ කාලය පැය ගණනාවක්. 1851 වසරේ දී අතින් කරකවන මහන මැෂිම වෙළෙඳපොළට පැමිණීමත් සමඟ මෙම කාලය පැයක පමණ අවම සීමාවකට පැමිණියා. කෙසේ වෙතත් ලෝකයේ ප්‍රථම මහන මැෂිම නිර්මාණය කළේ ප්‍රංශ ජාතික මැහුම් ශිල්පියකු වූ බාර්නෙලමි තිමෝතිය විසින් බව ඉතිහාසයේ සඳහන් වෙයි. 1830 වර්ෂයේ මේ සඳහා පේට්න්ට් බලපත්‍රය හිමිකරගත් තිමොනියර් සිය මැෂිම සඳහා යොදා ගෙන තිබෙන්නේ කොකු ඉඳිකටුවක් සහ තනි නුලක්. එම්බ්‍රොයිඩර් සහ දම්වැල් මැස්ම ආදිය එයින් මසා තිබෙනවා. එහෙත් පෙර සඳහන් කළ පරිදි වාණිජ මට්ටමෙන් ප්‍රචලිත වූයේ අයිසැක් මෙරිට් සිංගර් (1851) නිපදවූ මහන මැෂිමයි.

තෝමස් සේන්ට්, එංගලන්තය (සපත්තු මහන මැෂිම) එලියාස් හෝව් අමෙරිකාව (රෙදි මැෂිම) ආදීහු ද මෙම අනගි ක්ෂේත්‍රෙය් පුරෝගාමීන් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

සටහන

අජන්ත ජයසේකර

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ ඔයාමා ග්‍රැෆික්ස්