වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වාහන අලුත්වැඩියා කරමින් ජීවිතය ජය ගන්න වෙරදරන දිරිය දියණිය
නව යොවුන්වියට පිවිසෙන බොහෝ තරුණියන් වැඩි අවධානයක් යොමුකරන්නේ සිය රූ සපුවත් සුන්දරව ගත කළ හැකි ජීවිතයකුත් පිළිබඳව බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් අද අප කතා කරන්නේ එයට එහා ගිය තම පවුලේ බර කරට අරගෙන ජීවිතය ජය ගන්නට වෙරදරන දිරිය දියණියක් පිළිබඳවයි.
නව යෞවන වයසේ පසුවන ඇයගේ සිහිනය අද බොහෝ තරුණියන්ට වඩා වෙනස්ය. ක්‍රීම්, සුවඳ විලවුන්, පවුඩර් තවරා සැපසේ සිටිය හැකි ජීවිතයක් ගැන නොසිතන ඇය මජං, ග්‍රීස් තවරාගෙන වෙහෙසවී වාහන අලුත්වැඩියා කරන්නේ පවුලේ සාමාජිකයන්ගේ කුසගිනි නිවා දමමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටය.
ඇය නමින් දෙව්මිණි පාරින්ද්‍යා දියණියයි. තවමත් 17 හැවිරිදි දෙව්මිණි මහබුලන්කුලම, අනුරාධපුර යන ලිපිනයේ පදිංචි කාරිනියකි. සිය පියාගේ අඩි පාරේ යමින් අද වනවිට ඇය දක්ෂ වාහන අලුත්වැඩියා කරන්නියකි.
අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහබුලන්කුලම, 38 කණුව ප්‍රදේශයේ ඇයගේ මේ වාහන අලුත්වැඩියා කරන ස්ථානය පිහිටා තිබේ.
ඇය පිළිබඳව මුහුණු පොතේ තිබූ සටහනට අනුව අප ඇය සොයා ගියේ ඇගේ ධෛර්යවන්ත බව අගය කරමින් සත්‍ය තොරතුරු තරුණී පාඨක ඔබ හමුවේ තබන්නට ය.
ඇගේ පියාගේ වෘත්තීය වාහන අලුත් වැඩියාවයි. කුඩාවියේ සිට පියාගේ කාර්යයන් නෙත ගැටුණ ද එයට යම් යම් උදව් උපකාර කළ ද ඇය මේ වාහන අලුත්වැඩියාවට එතරම් ඇලුම් කමක් දක්වා නැත. නමුත් කාලය ගත
වෙද්දී පියාගේ අත්දෙක හිරි වැටෙන්නට පටන් ගත් අතර ඔහුට වාහන සමඟ පෙර මෙන් ඔට්ටුවෙන්නට නොහැකි විය. මීට වසර දෙකක පමණ කාලයක සිට සිය පියාගේ අත් දෙක හිරිවැටීමට පටන් ගැනීමත් සමඟ පියාට මෙය තනිවම සිදු කරගෙන යාමට අසීරු බව කුඩා දෙව්මිණිට වැටහුණි.
ඒ අනුව පියා සමඟ ගරාජයේ වැඩ කරන්නට තීරණය කළ මේ පුංචි දියණිය සිය පවුලේ ජීවිකාව ඉදිරියට ගෙන යන්නට වාහන අලුත්වැඩියා කරමින් පියාට සවියක්වීමට සිතා ගත්තාය. කුඩා කාලයේ සිට ලබා ගත් දැනුමෙන් නිසි ප්‍රයෝජන ගත් ඇය වාහන ටින්කරින් කිරීම, පේන්ට් කිරීම මෙන්ම වාහන සෑදීමට පටන් ගත්තාය. අද වන විට ඉතාමත් දක්ෂ ලෙස ගරාජයේ වැඩ කටයුතු කරගෙන යන මේ දියණිය සමාජයට ලොකු ආදර්ශයකි.
සාමාන්‍ය පෙළ විභාගය ද ඉහළින් සමත් ඇය තඹුත්තේගම මහා විද්‍යාලයේ තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ උසස් පෙළ හදාරයි. ඇයගේ බලාපොරොත්තුව උසස් පෙළ ඉහළින් සමත්වීම වුවත් විශ්වවිද්‍යාල වරම් හිමි වුවද යාමට බලාපොරොත්තුවක් නැතැයි පවසන්නීය. ඇයගේ සිහිනය මෙම වෘත්තිය ඉදිරියටත් සිදු කරමින් වයස විසිපහ පමණ වනවිට මීටත් වඩා දියුණු කර ගනිමින් හොඳ වාහන අලුත්වැඩියා කරන කම්පැනියක් බවට පත් කර ගැනීමයි. ඕනෑම කෙනකුට කිරීමට නොහැකි දෙයක් නෑ. දෙයක් කරන්නට සිතුවොත් එය කිරීමට හැකියි. අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය හා අරමුණ බව අප සමඟ කතා කළ දෙව්මිණි පාරින්ද්‍යා දියණිය පවසා සිටියාය.
මම කුඩා කාලයේ සිට මේ සඳහා වැඩි ඇලුම් කමක් දැක්වුයේ නෑ. තාත්තාගේ රැකියාව මම කරන්න බලාපොරොත්තු වුණේ නෑ. ඒත් මම දැන් හරිම ආසාවෙන් තමයි තාත්තාට උදව් කරමින් මේ වාහන අලුත්වැඩියා කරන්නේ. මම කවදාවත් මෙය අතහරින්නේ නෑ. මම අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න කැමැතියි. මගේ බලාපොරොත්තුව මෙය තව තවත් දියුණු කර ගනිමින් හොඳ සේවාවක් ලබා දිමටයි.
මේ සඳහා ඇති ඇයගේ කැමැත්ත වඩ වඩාත් දක්නට ලැබුණේ ඇය සමඟ සාකච්ඡා කරන අවස්ථාවේ දී සිය පියා ‘‘මගේ දුව කොතරම් කාලයක් මෙය සිදු කරයි ද දන්නෑ‘‘ කියා පවසන විට ද ඇය එම ප්‍රකාශයට ද එරහිව නෑ ‘‘මම මෙය තමයි දිගටම කරන්නේ‘‘ යැයි පවසා සිටි නිසාය.
සිය දියණියගේ දක්ෂතාව පිළිබඳව පියා දැක්වන්නේ මෙවන් අදහසක්.
‘‘මගේ දුව කුඩා කාලයේ මේ වැඩවලට වැඩිය ආසාවක් දැක්වූයේ නෑ. හැබැයි මං කරන වැඩ නිතරම දකින නිසා දුව හොඳට ඒ ගැන දන්නවා. මගේ අසනීපයත් සමඟ දුව වාහන අලුත්වැඩියා කරන වැඩ පටන් ගත්තා. ඇය මේවා කරන්නේ හරිම ආසාවෙන්. මමයි, බිරියයි, දියණියන් දෙදෙනා එක්ක හරිම ආදරෙන් ජීවත් වෙනවා. පොඩි දුව නම් මේ වැඩවලට එතරම් ආසාවක් නෑ. ඒත් ලොකු දුව පාරින්ද්‍යා ආසාවෙන් කරනවා විතරක් නෙමේ එයාට වාහන පිළිබඳව හොඳ අවබෝධයකුත් තිබෙනවා. මම මේ රැකියාව කරන්න පටන් අරන් දැන් අවුරුදු තිහක් පමණ වෙනවා. ඒත් මගේ මේ අසනීප තත්ත්වය නිසා දුවගේ ආසාවන්ට ඉඩ දෙමින් වැඩ කටයුතු කරනවා. අපේ දුව මෙය ඉදිරියටත් ආසාවෙන් සිදු කරගෙන යාවි. තාත්තා විදිහට මට දුව ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. එයාගේ අදහස තියෙන්නේ මේ ව්‍යාපාරය කම්පැනියක් දක්වා දියුණු කරන්න. මම ඒකට දුවට සුබ පතනවා. ‘‘
අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර අතිරේක