ගිනිකෙළි අනතුරුවලින් තොර නව වසරක් ගැන සිතමු

ජනවාරි 3, 2022

රතිඤ්ඤා පත්තු කරමින් මේ පුච්චා දමන්නේ මුදල් නොවේද?

 රතිඤ්ඤා හඬට බයේ ගුලිවන ඔබේ සුරතලා ඉන් මුදවා ගන්න

මේ ගෙවෙන්නේ සැණකෙළි සමයක්. පුරා වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ නිවෙස්වලට ම කොටු වූ බාල, තරුණ, මහලු කවුරුත් සෞඛ්‍යාරක්ෂිත රීතීන්වලට හැකි පමණින් අනුගත වෙමින් උත්සව සමයේ අසිරිය භුක්ති විඳින්නයි සූදානම් වෙන්නේ.

උත්සව සමය, සැණකෙළි සමය සිහිපත් වද්දී ගිනිකෙළි පිළිබඳවත් නොකියා ම බැහැ. බොහෝ පිරිස් අතර මුල්බැසගත් මතයක් බවට පත්ව ඇත්තේ උත්සවශ්‍රීයක් නම් එතැන අනිවාර්යයෙන් රතිඤ්ඤා, අහස් කූරු, මල්වෙඩි වැනි දේ තිබිය යුතුමයි කියා.සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් පෙළෙන නිසාදෝ මෙවර නත්තලේ දී නම් රතිඤ්ඤා හඬ ඇසුණේ අඩුවෙන්.

මුදල් පුලුස්සා දැමීමක් නොවේද?

ආර්ථික අර්බුදයක් ඇතා හෝ නැතා ඔබත් ඔබේ දරුවාට කියාදෙන්න, දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගන්නා මුදල් නිරපරාදේ පුලුස්සා නොදමන ලෙසට. රතිඤ්ඤා, අහස්කූරු, මල්වෙඩි මෙන්ම නිලාකූරු, බඹරචක්‍ර පවා වක්‍රාකාරව සිදු කරන්නේ උපයාගත් මුදල් පුලුස්සා දැමීමකි.

අධික ශබ්දය

රතිඤ්ඤා කරලක් අපේක්ෂා නො කළ මොහොතක දී පිපිරුණහොත් ඔබ නිතැතින් ම තිගැස්සීමකට ලක් වේවි. ගැබිනි මවකට නම් කුස තුළ සිටින බිලිඳා පවා බියෙන් ඇළලී යන ශබ්දයකි. කිරිසප්පයින් නොනවත්වා හඬාවි. කුඩා දරුවන් පවා බියෙන් හඬන බව අප අත්දැකීමෙන්ම දන්නවා.

ගිනිකෙළි අනතුරු

ගිනිකෙළි වෙතින් නැංවෙන අධික ශබ්දය කනෙහි ආබාධ පවා ඇති කරයි. සදාකාලික බිහිරි බව පවා උරුම කරලයි.

ගිනිකෙළිවලින් වැඩිම හානි සිදුවන්නේ ඇස්වලටයි.

අක්ෂි රෝග වෛද්‍යවරුන් උත්සව කාලයේ සිදුවිය හැකි මේ ගිනිකෙළි අනතුරු සම්බන්ධයෙන් හැකිතරම් දැනුවත් කිරීමේ කටයුත්තෙහි නියැළෙන්නේ ඒ නිසයි.

නිලාකූරකින් පවා ඇසට, සිරුරට ගිනි පුපුරු වැදීමට පුළුවන. ගිනිකෙළි භාවිතය නිසා ඇස්වලට සිදුවන අනතුරු අන්ධභාවයෙන් අවසන් වුවහොත් ශේෂවන්නේ පසුතැවිල්ලක් ම පමණි.බීමත් පුද්ගලයන් ගිනිකෙළි සමඟ කරන සෙල්ලම නිසැකවම ලෙල්ලමක් වනු ඇත.

හදිසි අනතුරු සිදුවන්නේ පෙර දැනුම්දීමකින් තොරව බව හොඳින් මතක තබාගන්න. රතිඤ්ඤා පත්තු කරමින් අසීමිත සතුටක් භුක්ති විඳින ඔබ යම් හෙයකින් එය අනතුරක් බවට පත්වුවහොත් නිසැකව ම අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. උත්සවශ්‍රීයේ සතුට ඛේදාන්තයක් වනු ඇත.කොළඹ ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල්වලින් හදිසි අනතුරු ඒකකය සඳහා වසරෙන් වසර ගිනිකෙළි සම්බන්ධ අනතුරු අඩුවීමක් වාර්තා වෙයි.

පාරේ ගමන් කරන වාහන ආසන්නයේ රතිඤ්ඤා පත්තු කිරීම, වාහන තුළට පත්තු කර දැමීම, අන් අයගේ වතු වලට රතිඤ්ඤා පත්තු කරදැමීම, මහ පාරේ පත්තු කිරීම නොකළ යුතු දෙයකි.

රතිඤ්ඤාවලින් පිටවන දුම පවා එක් එක් අයට නොයෙක් අන්දමේ බලපෑම් එල්ල කරයි.

අපහසුතාවට පත්වන සුරතල් සතුන්

ඔබ දන්නවාද? ඔබ අසීමිත තෘප්තියක් ලබමින් විනෝදයට පත්තු කරන රතිඤ්ඤා ඇතුළු ශබ්දය නංවන ගිනිකෙළි නිසා ඔබ සුරතලයට ඇතිකරන බල්ලන්, පූසන් මොනතරම් අසරණ තත්ත්වයට පත් වනවා ද කියා.

විශේෂයෙන් ම සුනඛයින්ගේ ඇසීම සම්බන්ධ සංඛ්‍යාතයන් මිනිසුන්ට වඩා වැඩියි.

රතිඤ්ඤා වැනි බියජනක ශබ්ද මේ සතුන්ට අමිහිරි අත්දැකීම් ගෙනදෙයි. නිවෙසේ මාළු ටැකියේ සිටින මාළුන් පවා මේ ශබ්දයට බිය වී විවිධ ප්‍රතිචාර දක්වන බව ඔබ දන්නවාද? රාත්‍රී කාලයේ ගස්වල, බෙනවල නිදා සිටින පක්ෂීන් පවා රතිඤ්ඤා හඬට බියවී නින්දෙන් අවදි වෙයි.

උත්සව සමයේ නොකඩවා නැගෙන ගිනිකෙළි ශබ්ද තිරිසන් සතුන් දැඩි අපහසුතාවනට පත් කරයි. නිවෙසේ සිටින සුරතලා ඇඳක් යටට, ඔබේ දෙපාමුලට රිංගමින් ගුලි වී සිටින්නේ ඒ නිසාය. ඔවුන්ගේ කම්පනයන් වදන්වලට පෙරළිය හැකි නම් ඔබ කිසිදා ගිනිකෙළි ශබ්දයක් නැඟීමට නොසිතාවි.

මෙතෙක් ඔබ උත්සව සමය ගත කළේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි පත්තු කරමින් නම් වහාම මේ වසරේ සිටවත් ඉන් මිදෙන්නට උත්සාහ ගන්න. එය සෑම අතින් ම ඔබට යහපතක් ගෙනෙනු ඇත.