යොවුන් දියණිය ගේ සමට පෝෂණ සත්කාර ‍මෙන්න

පෙබරවාරි 21, 2022

අවුරුදු 19ත් 20ත් යනු දියණියක් තාරුණ්‍යයේ සිතුම් පැතුම් සමඟ ගත කරන කාලයයි. එය යොවුන් විය ඉක්මවා යන වයසයි. දියණිය තම නිදහස, ස්වාධීනත්වය සොයා යන කාල සීමාවයි.

මෙහිදී දියණිය හැමවිටම තම රූප ශෝභාව පිළිබඳ වැඩි වැඩියෙන් සිතයි. සම පිළිබඳ වඩාත් උනන්දු වේ. පැල්ලම් ඇතිවීම කෙරෙහි වඩාත් තැවෙයි. පුංචිම පුංචි සීරිමක් හෝ ඇති නොවන්නට වග බලා ගනියි. නවීන විලාසිතා කෙරෙහි වඩාත් උනන්දු වෙයි. ආදර හැඟුමන්, සුන්දර සිතිවිලිවලින් සිත පුරවා ගෙන සිටියි. අඩු වැඩි වශයෙන් මේ වයස් වයස්වල තරුණියන් ආඩම්බරකමින් ද සිටියි. මෙවැනි වයසක දියණිවරුන් සිටින මව්වරුන් ඔවුන්ගේ පරම්පරාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකර ගත යුතුයි. අඩුම තරමේ තමාගේ තරුණ කාලයට හෝ සිතින් පියමං කළ යුතුයි. මේ වයසේදී සිතට දැනෙන හැඟෙන සියල්ලක්ම වාගේ අනුමත කළ නොහැකි වුවත් නොගැළපෙන දෙයින් මෑත් කළ යුතු වන්නේ ඉතාම සූක්ෂම ලෙසයි.

අද අපි වඩාත් ම අවධාරණය කරන්නේ තාරුණ්‍යය එළිපත්තේ සිටින දියණියගේ සම පිළිබඳයි. දියණියක් පැහැපත් සමකින් යුතු වීම ඇයට ආභරණයකි.

බාහිරින් ගල්වන ආලේපන සීමා කරන්න

බාහිරින් ගල්වන ආලේපන කෙරෙහි උනන්දු නොවන්න. ඒවා උපද්‍රව සහිත බවත් ස්වාභාවික ආලේපනවල ඇති යහපත් ප්‍රතිඵල පිළිබඳ මවක් දියණියට කියා දීම යුතුකමකි.

සිසිල් ඇල්දිය පාවිච්චි කිරීම සමට යහපත් වේ. ස්නානය කරද්දි ඇල්මැරුණු ජලය වැඩිපුර භාවිතය සුදුසු වේ. සම ස්වාභාවික ජලයෙන් සෝදා හැරීම පැහැපත් බවට රුකුලකි.

TFM (Total Fatty Matter) අගය වැඩි සබන් වර්ග (බේබි සබන්) භාවිතය වඩාත් සුදුසුයි. සම ඉතා තද අව්වට

නිරාවරණය වීම එතරම් සුදුසු නොවේ. තද අව්වේ ක්‍රීඩාවල නියැළෙන දියණිවරුන්ගේ සමට අව් රශ්මියෙන් යම් යම් බාධා ඇති වේවි. මොවුන් හැකි තරම් ජලය පානය කළ යුතුයි. දිය නෑමකළ යුතුයි.

ප්‍රියමනාපව සකසා ගත් කෑම වේලක්

පැඟිරි කුලයේ පළතුරුවන නාරං, දොඩම්, දෙහි සතියට දෙතුන් වරක් පානය කරන්න. එය ප්‍රතිශක්තියට ද රුකුලකි. අලිපේර, මීකිරි, යෝගට් සතියට දෙතුන් වතාවක් ආහාරයට ගන්න.

කැරට්, බීට් වැනි එළවළු පලා වර්ග දිනපතා වුව කෑමට ගැනීම

යෝග්‍ය වේ. කොළ පැහැ එළවළු ඉතා ගුණදායකයි. තරුණ දරුවන් ධාන්‍ය ආහාරයට එතරම් ප්‍රිය නොකරාවි. එහෙත් විවිධ ක්‍රමවලට සකසා දෙමින් ඒවා කෑමට සැලැස්වීම මවගේ කාර්යභාරයකි.

පාන්, පාන් පිටි, කෘත්‍රිම ආහාර ආදිය හැකි තරම් අවම කරන්න. දියණියගේ රුව ගුණ පිරිහෙන්නේ පාන් පිටි ආහාරවලින් බව හොඳින් මතක තබාගන්න.

වියළි සමට සත්කාර

සමට විවිධ සත්කාර කරන්නට පෙර දියණියට ඇත්තේ කුමන වර්ගයේ සමක් දැයි හඳුනා ගැනීම ප්‍රථමයෙන් කළ යුතුයි. එනම් සාමාන්‍ය සමක් ද වියළි සමක් ද තෙල් සහිත සමක් දැයි හඳුනා ගන්න.

වියළි සමකට උරුමකම් කියන්නේ නම් දියර ආහාර හා මේද අඩංගු ආහාර භාවිතයට ගන්න.

¾ මුදවපු මී කිරි මේස හැන්දකට මී පැණි තේ හැන්දක් දමා මිශ්‍රකර මුහුණේ ආලේපකර සෙමින් පිරිමදින්න.

විනාඩි දහයකට පමණ පසු ඇල් වතුරින් සෝදා හරින්න.

¾ මී පැණි, මී කිරි යොදය සම සමව ගෙන එයට තල තෙල් එමෙන් දෙගුණයක් දමා(1:1:2) මිශුකර සමේ ආලේප කොට විනාඩි විස්සකින් පමණ සෝදා හරින්න.

සාමාන්‍ය සමක් නම්

සාමාන්‍ය සමක් ඇති යුවතියක් සාමාන්‍ය ආහාර වේලක් ගෙන කෘත්‍රිම ආලේපනවලින් ඈත් වන්න. තව තවත් පැහැපත් වීමට යැයි සිතා විවිධ ආලේපන සිරුරේ මුහුණේ ගල්වන්න එපා. අත්හදා බැලීම් සිදු කරන්නට එපා.

නොමි⁣ලයේ ලැබෙන ආලේපන, තෑගී ලැබෙන ආලේපන වුව සමට නොගැළපේ නම් ඒවා අපරාද‍ෙධනේ යැයි සිතා පාවිච්චි කරන්න එපා.

¾ නිවුණු කිරි වීදුරුවකට කස්තුරි කහ මේස හැඳි එකක් දමා ඇඟ ගල්වා විනාඩි විස්සකින් පමණ සෝදා හරින්න.

¾අලිගැටපේර මදය මශ්‍රකර මේස හැඳි දෙකකට මීපැණි මේස හැඳි එකක් දමා මුහුණේ ආලේප කර විනාඩි 15කින් පමණ ඇල්දියෙන් මුහුණ සෝදා හරින්න.

තෙල් සහිත සමක් ඇති විට

දියණියට ඇත්තේ තෙල් සහිත සමක් නම් බාහිරින් එන දූවිලිවලින් සම ආරක්ෂා කරගන්න. තෙල් සහිත සම ඉක්මනින්ම කුරුලෑවල ගොදුරක් බවට පත් වන නිසා විශේෂයෙන්ම මුහුණ කුරුලෑ ආසාදනයන්ගෙන් රැකගන්න. තරුණ සමයේ කුරුලෑ හටගැනීම දියණිය මානසිකව කනස්සලු ස්වභාවයකට ඇද දමයි.

¾අනර්ඝ සුදු හඳුන් තෙල් මේස හැඳි එකකට ඉදුණු ගස්ලබු මේස හැඳි දෙකක් යොදා මිශුකර ආලේප කොට විනාඩි විස්සකට පසු මුහුණ අත් පා සෝදා හරින්න.

සියලුම යුවතියන්, තරුණියන්, කතුන් පලා වර්ග, එළවළු, පලතුරු, ධාන්‍ය වර්ගවලින් උපරිම ඵල නෙළා ගන්න. තද අව්වට නිරාවරණය වීමෙන් වැළකී සිටින්න. එවිට ඔබට, ඔබේ දියණියට සම පිළිබඳ පසුතැවිලි වන්නට සිදු නොවනු ඇත.

 

උපදෙස්
ආයුර්වේද විශාරද පණ්ඩිත
විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය
සුදත් ගුණතිලක

 

සටහන
ආශිර්වාදිනි හෙට්ටිආරච්චි