විවාහ දිවියේ දී ඔබ දෙදෙනාම අසතුටින් ද?

පෙබරවාරි 21, 2022

ප්‍රශ්නය

34 හැවිරිදි මා විවාහ වී අවුරුදු දෙකකි. තවම දරුවන් නොමැත. විවාහ ජීවිතය මා ගත කරන්නේ එතරම් සතුටකින් නොවේ. එහෙත් මා සතුටින් බව ඔහුට හගවමි. ඔහුත් මා සමඟ සතුටින් සිටින බව බොරුවට හඟවන බව සිතෙයි. අපේ විවාහ දිවිය ඒකාකාරී වී ඇත. මා සිටින්නේ දැඩි කලකිරීමකිනි. අවශ්‍ය වන්නේ කුමක් ද කියා ඔහු සමඟ පැවසීමට තරම් මා ඔහුට සමීප නොමැති බවක් සිතෙයි. එසේ පැවසුවත් ඔහු ඒවාට කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි සැකයක් තිබේ. සැමියකු ලෙස නිවෙසේ සියලු දේ සොයා බලා කළත් ඔහු මා ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත.

එම නිසා මට සිතෙන්නේ ඔහුත් සිටින්නේ අසතුටින් බවයි. තව දුරටත් මේ තත්ත්වය දරා සිටීම අපහසු ය. බවක් ගෙන දෙයි. කළ යුතු වන්නේ කුමක් ද?

ගාල්ල - ශානිකා

පිළිතුර

විවාහයකදී එකිනෙකාගේ සතුට ගැන සිතීම ඔබ දෙදෙනාම සතුව පවතින වගකීමකි. එක් අයෙක් හෝ අසතුටින් සිටීම විවාහයක් බිඳ වැටීමක් දක්වා වුවත් යන්නට පුළුවන්. පළුදු වූ ආදරය නැවත පණ ගන්වා ගෙන විවාහය අලුත් කරගන්නට හැකි වන්නේ විවාහ ජීවිතය අසතුටුදායක හැයි හඳුනා ගත්තොත් පමණයි.

 

ඔබව නොසලකා හරින බවක් දැනෙයි

පෙර පරිදි සැමියා ඔබ ගැන අවධානය යොමු නොකරන බවක් දැනෙනවා නම් ඔබ හිතන්නම ඕන කාරණාවක්. ඔහු ඔබව නොසලකා හරින බව, ඔබව අගය නොකරන බව දැනෙනවා නම් ඒ ගැන බොහොම විවෘතව ඔහු හා සාකච්ඡා කරන්න ඔබට පුළුවන්. සමහරවිට එය ඔබේම වරදක් නිසා සිදුවන දෙයක් වෙන්නට පුළුවන්. ඒ නිසා සාකච්ඡා කිරීම වැදගත්.

 

ලිංගික ජීවිතය බිඳ වැටීම

සැමියා සහ බිරිය අතර ඉතා හොඳ ලිංගික සම්බන්ධයක් තිබීම විවාහ ජීවිතේ සතුටට හේතුවන එක් සාධකයක්. ඔබ දෙදෙනාගෙන් මේ වනවිට එම සාධකය ගිලිහිලා ගිහින් නම්, නැතිනම් ඉඳහිට හෝ එය සිදුවුවත් එයින් ඔබ දෙදෙනා තෘප්තිමත් නොවෙනවා නම් එය නොසලකා හැරීම එතරම් සුදුසු නැහැ. මෙය ඔබේ සැමියා සමඟ සාකච්ඡා කළ යුතුම තත්ත්වයක්.

 

සන්නිවේදනය කිරීම, තර්ක කිරීම බවට පත්වීම

ඔබ සැමියා හා සන්නිවේදනය කිරීම අවසානයේ තර්ක කිරීමක් බවට පත් වෙනවා නම්, එකිනෙකා විසින් එකිනෙකාව

 

පැරදවීමට කරුණු ගෙනහැර පානවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි. සාර්ථක විවාහයක් කෙරෙහි විවෘත සන්නිවේදනයක් අවශ්‍ය බැවින් අනෙකාගේ අදහස්වලට ගරු කිරීම, අනෙකාට ඇහුම්කන් දීම සහ අනෙකාගේ අදහස් පිළිගැනීම ඔබ දෙදෙනාම අතින් විය යුතු දෙයක්.

 

අවබෝධය ගිලිහීම

ඔබ දෙදෙනා අතර පෙර තිබූ අවබෝධය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙලා යන ආකාරයක් දැනෙනවා නම් එය සැලකිය යුතු තත්ත්වයක්. අනෙකාට දොස් පැවරීම, අනෙකා ගැන ඉක්මනින් විනිශ්චය කිරීම, බැණ වැදීම සහ සැක කිරීම වැනි දේවල් නිතර නිතර සිදු වෙනවා නම් එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන්නට ඕනේ.

 

නිතර අනෙකාව විවේචනය කිරීම

විවාහක යුවළක් ඉඳහිට ගැටුම් ඇති කරගැනීම සාමාන්‍ය දෙයක් වුවත් සෑම විටම අනෙකා, අනෙකාගේ ක්‍රියාවන් විවේචනය කිරීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඔහුගේ ක්‍රියාවන් ඔබට නුරුස්සන ස්වභාවයක් දැනෙනවා නම්, ඔහුගේ වැරැදි පමණක්ම ඔබට පෙනෙන්නට තිබෙනවා නම් එය විවාහ ජීවිතය අසතුටුදායක බවට කෙරෙන අනතුරු ඇඟවීමක්. ඕනෑම කරුණක් ගැන කතා කරන විට ගැටුමකින් අවසන් නොකර සාමකාමීව කතා බහ කර විසඳුම් ලබා ගන්න.

 

තනිව කාලය ගත කිරීමට උත්සාහ කිරීම

සහකරු සමඟ කාලය ගත කිරීමට වඩා තනිව ගත කරන අවස්ථා සුවදායක බව හැඟෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබ අසතුටින් සිටින බවයි. ඔහු නි‍ෙවසේ සිටියත් ඔබ ඔහුව මඟ හරිමින් කටයුතු කරනවා නම්, ඔහු හා ගෙවන්නට ලැබෙන අවස්ථාවන් මඟ හරිනවා නම් එය එතරම්ම හොඳ දෙයක් නෙමෙයි. ඔබ දෙදෙනා සමීප බවක් ගොඩ නගා හැනීමට නම් ඔහුව සමීපව ඇසුරු කළ යුතුයි. ඔහු සමඟ කාලය ගත කළ යුතුයි.

 

ඔබේ සිහිනවලට ඔහු ඇතුළත් නොවීම

විවාහයක දුරස්ථභාවය සහ අවිශ්වාසය වර්ධනය වන විට, සහකරු නොමැතිව ජීවිතය මවා ගැනීමට පටන් ගනී. ඔබ තනිව දවස ගත කරන ආකාරය, ඔබේ සති අන්තවල ඔබ තනිව සාප්පු සවාරි යාම, ඔබේ ජීවිතයේ වැදගත් අවස්ථා ඔහු නැතිව සැමරීම වැනි දෑ ගැන ඔබ තනිවම සිහින මවාගනියි.

විවාහයක දී මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවන නිසා ඔබ ඒ ගැනත් හිතන්නට ඕනෑ.

විවාහයක දී දෙදෙනාම සතුටින් සිටීම අතිශය වැදගත් වන අතර එසේ සතුටින් නොසිටිනවා නම් එය හඳුනා ගෙන එය වළක්වා ගැනීමට පියවර ගැනීමෙන් අනාගතයේ දී ඇතිවිය හැකි දරුණු සිත් රිදීම් සහ ආරවුල් මඟ හැරගන්නට ඔබට පුළුවන්. තම සහකරු සමඟ මේ ගැන කතා බහ නොකරන තාක්කල් ගැටලුව උග්‍ර වනවා මිස සහනයක් නොලැබේ. ඔබේ සිතෙයි. පවතින සියලු හැඟීම් ඔහුට පවසන්න. ඔහුගේ අදහස් විමසා දැනගන්න. විශ්වාසය ගොඩනගා ගන්න. සාර්ථක පවුල් දිවියකට ඇති හොඳම මඟ එයයි.

 

උපදෙස්
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ
විශේෂඥ මනෝ වෛද්‍ය
කපිල රණසිංහ

 

සටහන
විදුමිණි දිසාකරුණා