වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පෙරළා දෙගු ණයක් ලැබුණු ආදරය
අද මගේ රාත්‍රී සේවා දිනයකි. මසකට දින හයක් මෙලෙස රාත්‍රී සේවා මුරයේ යෙදීමට සිදුවේ. හෙදියක හෝ හෙදි සොයුරියක සමයේ මෙන් නොව මේ රාත්‍රී සේවා මුර හඳුන්වන්නේ රාජකාරි පොරොත්තු සේවා මුරයන් ලෙසිනි. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් හට ඇති මේ රාත්‍රී පොරොත්තු සේවාව යෙදී ඇති දිනට, රෝහලේ එක දිගට පැය 32ත් 35ත් අතර කාලයක් රැඳී සිටිය යුතුය.
මෙහිදී අපට පැවරී ඇති රාජකාරි අතරින් ප්‍රධාන තැනක් ගන්නේ රෝහල පුරා වාට්ටු රවුම හෙවත් වෝඩ් රවුන්ඩ් එකේ යාමයි. සාමාන්‍යයෙන් මේ ගමනේ දී රෝහලේ සෑම වාට්ටුවක් හා ඒකකයකට ම යෑමට මම හුරු වී හිඳිමි. කොතරම් වැසිබර, ශීත රාත්‍රියක වුවද රෝහලේ වාට්ටු රවුම යෑම මා සිතේ උණුසුම් හැඟීමක් ජනිත කරවයි. මේ ගමනට මා වඩාත් ප්‍රිය කරන්නේ එහිදී මට සේවයේ යෙදෙන සහෝදර හෙද කාර්ය මණ්ඩලය සහ සේවක මහත්ම මහත්මීන් සමඟ කතා කිරීමට ලැබීමත් රෝහලේ සිටින විශේෂ අවධානය යොමු කළ යුතු රෝගීන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වීමත්ය. මීට අමතරව විශේෂ අවධානයක් යොමු කළ යුතු ගැටලුවක් යම් තැනක ඇත්නම් එය නිරාකරණ ය කිරීමට ද මා වගකීමෙන් බැඳී සිටින්නේ රාත්‍රී පොරොත්තු සේවාවේ යෙදෙන මා, රාත්‍රියේ රෝහලෙහි සේවය කරන හෙද පරිපාලනමය අංශයෙන් සිටින ජේෂ්ඨතම නිලධාරියා වන බැවිනි. උදෑසන රෝහලේ සියලු ඒකක හා රෝගීන් පිළිබඳ සාරාංශ ගත සටහනක් මා ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනියක් හා රෝහල් අධ්‍යක්ෂකවරයාට ඉදිරිපත් කළ යුතුය.
මාගේ රාජකාරි ජීවිතය පුහුණු හෙදියක් ලෙස මේ ගතවන්නේ විසි දෙවැනි වසරයි. මේ වසර 22ක කාලයෙන් වසර දහනවයක් ම ගත කර ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ය. හෙදියක් ලෙස මෙහි ඒකක හා වාට්ටු කීපයකම මා සේවය කර ඇත. හෙදි සොයුරියක වීමට පළමුව හෙදියක ලෙස අවසාන කාලය ගත කළේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේය.
ඒ 2010 වසරේ පසු භාගය වූ අතර දෙසැම්බර් මාසය වන විට මම දරු ප්‍රසූතියට ඉතාමත්ම ආසන්නව සිටියෙමි. හෙදි සොයුරියක වීමට පුහුණුව සම්පූර්ණ කොට ඒ පත්වීම ලැබෙන තෙක් බලා සිටි කාලයයි. මගේ ගැබිනි බව නිසාත්, තිබුණු විශාල බඩගෙඩිය නිසාත් සාමාන්‍යයෙන් ඒකකයේ සිටි රෝගීන් අතරින් මට නිතරම පැවරුණේ තරමක් පහසුවෙන් සත්කාර ලබා දීමට හැකි රෝගියාවය.
වෛද්‍ය දැඩි සත්කාර ඒකකයට යන සෑම මොහොතකම එක් රෝගී දරුවකු නිතැතින් සිහිපත් වේ. ඔහුගේ නම හරි හැටි මතක නැති නමුත් මේ කතාවේ නායකයා ඔහුය.
ඒ පුංචි පිරිමි ළමයා දැඩි සත්කාර ඒකකයේ සිටියේ වකුගඩු දෙකම අකර්මණ්‍ය වීම හේතුවෙනි. ඊට අමතරව ඔහු තවත් රෝග රැසකින් පෙළුණු අතර වයස අවුරුදු 13 ක් වුවද ඔහු වෙතින් දිස් වූයේ අවුරුදු හත අටක පෙනුමකි. කුඩා දරුවාගේ දෙපා සිහින් වී තිබුණු අතර ඔහු කිසිදිනක දෙපයින් ඇවිද තිබුණේ ද නැත. දැඩි සත්කාර ඒකකයේ සිටිය ද ඔහු ඉතා ප්‍රිය මනාප, අප සමඟ හොඳින් කතා බහ කරන ප්‍රීතිමත් දරුවෙකි. මා සේවයේ යෙදී සිටිනවා නම් ඔහු හෙදි සොයුරියට නිතරම පවසා සිටියේ “අනේ මට බබා හම්බවෙන්න ඉන්න මිසීව දෙන්න” කියා ය. ඔහුට ඉතා පහසුවෙන් සත්කාර කිරීමට හැකි වූ හෙයින් හෙදි සොයුරිය ද මා වෙත පැවරුවේ ඔහුය. අප දෙදෙනා හෙදිය සහ රෝගියා නොව මිතුරන් දෙදෙනකු බවට පත් වීමු. ඔහු මා එනතෙක් බලා සිටියේ තම ඇඳේ පසෙකින් තබාගෙන සිටින විවිධ කතන්දර පොත් මා ලවා කියවා ගැනීමටය. ඇතැම්විට කතන්දර පොත් සියල්ලම කියවා අවසන් නම් නැවත නැවතත් එකම කතාව කියවා ගත්තේ ය. මෙලෙස කතා කියමින් සිටින එක් දවසක “ඔයා කතාව අහගෙන ඉන්නවා වගේම තවත් කෙනෙක් මේ කතාව අහගෙන ඉන්නවා.” යැයි මම ඔහුට කීවෙමි. “ඒ කවුද ඒ?” ඔහු මගෙන් පෙරළා ප්‍රශ්න කළේය. “මේ ඉන්නේ මේක ඇතුළෙ ඉන්න මල්ලි.” මා ඉදිරියට නෙරා විත් තිබුණු මගේ කුස පෙන්වා ඔහුට කීවෙමි.
“ඇත්තටම මල්ලිටත් ඇහෙනවා ද?”
“ඔව් පුතේ එයාටත් ඇහෙනවා ඇති.” ඒ ඇසූ ඔහුගේ සිඟිති මුහුණ පුරා සතුටු සිනාවක් ඇඳී ගියේය. “දැන් ඇන්ටි මගෙන් ප්‍රශ්න අහනවා වගේ මල්ලිගෙනුත් ප්‍රශ්න අහනවා ද?”
“මල්ලි එළියට ආවාම අහන්නම්.” මම කීවෙමි.
ඊට පසු දිනක මෙලෙසම කතා කියවමින් සිටින අතර මගේ හඬ බාලවන්නට ඇත. “ඔයිට වැඩිය හයියෙන් කියවන්න.” ඔහු මට කියා සිටියේය. “ඇයි ඔයාට ඇහෙන්නේ නැද්ද?” තරමක මහන්සියෙන් සිටි මම ඇසුවෙමි. “නෑ මට හොඳට ඇහෙනවා. ඒත් ඔයා හිමින් කියෙව්වොත් මල්ලිට ඇහෙන්නේ නැති වෙයි.” ඔහු මගේ කුස දෙසට ඇඟිල්ලක් දිගු කොට කීවේය. මා සමඟ මෙලෙස කතා කරමින්, නො දැකපු කුඩා මල්ලි කෙනකුට ආදරය කරන මේ පුංචි අයියා තවත් වැඩි කලක් ජීවත් නොවන බව දැන සිටි මට ඒ මොහොතේ දැනුණු වේදනාව දැනුදු එලෙසම දැනේ. රෝගියකු ඉදිරියෙහි හෙදියක් හඬා නොවැටිය යුතු වුවද එදින ඒ දරුවා ඉදිරියේ මා හඬා වැටුණෙමි. ඉපදෙන්නටත් පෙර මගේ පුංචි පුතු තවත් පුංචි හිතක ආදරේට ලක් වී තිබේ. එදින නේවාසිකාගාරයට ගොස් ඇඳේ පෙරලි හිතේ දුක ඇති තරම් ඇස්වලින් මුදා හැරියෙමි. ඊට පසු ඔහු කතන්දර අහනවාටත් වඩා ඔහුට කතන්දර කියන්නට මම ආසා කළෙමි. අවුරුදු 13 ක ළමයකු වූ ඔහුට තමාගේ රෝගය ගැන මනා අවබෝධයක් තිබුණු අතර තවත් වැඩි කල් ජීවත් නොවන බව ද දැන සිටියේය. ඔහු කතන්දර අහපු ආකාරය ගැන දවසක මල්ලීට කියා දෙන්න යැයි මගෙන් අහිංසක ඉල්ලීමක් ද කළේය.
ඒ දෙසැම්බරයේ අවසාන කාලය විය. 2011 ජනවාරි මස පළමුවැනි දින රාජකාරියට ගිය මා සේවය නිමා වී රෝහල් කොරිඩෝව දිගේ ඇවිත් රෝහල මැදින් ඇති පාරට පිවිසියෙමි. එහෙත් ඒ පාර දිගේ තවදුරටත් ඇවිද යා නො හැකි විය. ඒ මොහොතේ මෙලොව මා වඩාත්ම ආසා කරන කුඩා ජීවියා ගෙන ඒම සඳහා රෝහල් ගත වන්නට සිදුවිය.
ජනවාරියේ පළමු සති දෙක ඇතුළත මගේ කුඩා රෝගී මිත්‍රයා සිය රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා මිය ගියේය. නමුත් මිය යන්නට දින කිහිපයකට පෙර ඔහු, මා ගැනත් මගේ කුඩා පුතු ගැනත් විස්තර අසා තිබුණි. හැකි නම් ඔහු බලන්නට එන්න යැයි මට පණිවිඩයක් ද එවා තිබුණි. ඔහුගේ ඉල්ලීම පරිදි හැමදාම කතන්දර කියැවූ නමුත් ඉන්පසු ඔහුව බලන්න යෑමට අවස්ථාවක් ලැබුණේ නැත.
නමුත් ඔහුට පොරොන්දු වූ පරිදිම මගේ පුතුට, මා කතන්දර කියාදුන් ඒ පුංචි අයියාගේ විස්තර කීවෙමි. ඉතා සංවේදී දරුවකු වන පුතු කතාව අවසානයේ මා සිප ගනිමින් “අනේ අම්මේ” යැයි කියා කඳුළින් පිරි දෑසින් මා දෙස බලා සිටියේය. අනාදරයෙහි සෙවණැලිවලින් හදවත විඩාපත් වන අවස්ථාවන්හි දී අපේ නොවුණ ද කිසිවක් නොපතා, පෙරළා ආදරය ලබාදුන් එවන් දරුවන් ගැන සිහිපත් කිරීමට මම පුරුදු වී හිඳින්නෙමි. ඉතින් වෙහෙසකර, ශීත, දිගු රාත්‍රී සේවා මුර වුව මතකයන්ගෙන් උණුසුම් වේ.
ලක්මාලි ධර්මවංශ
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි
රිජ්වේ ආර්යා ළමා රෝහල