වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අහිමි වුණ පුත්‍ර ස්නේහය
මේ මිහිපිට ජීවත් වන මිනිස්සුන්ට ලැබිය හැකි ආරක්ෂිතම ආහාරය ඔවුන් ලබනුයේ කුඩා කල දී ය. එය මව්කිරි හැර වෙන කවරක් ද?
දරුවකුට දිය හැකි හොඳම දේ කුමක්දැයි යමෙක් මව්පියන්ගෙන් ඇසුවොත් ආදරය, අධ්‍යාපනය, රැකවරණය, සැප පහසු ජීවිතයක් ආදී එකී මෙකී නොකී බොහෝ දේ ඔවුන් විසින් පවසනු ඇත. මවකට දරුවකුට ලබාදිය හැකි හොඳම ත්‍යාගය උපතයි. දරුවකුගේ උපතත් සමඟ දරුවා ද මව ද දෙදෙනාම උපත ලබති. උපත ලබා දුන්නාට ජීවිතය ආපසු ලබා දිය නො හැකිය. උපත දී ඇසක් මෙන් රැකබලා ගෙන ජීවිතය ලබාදිය නො හැකි වූ තැනක අම්මකුට ලබාදිය හැකි උත්තරීතර දෙය පිළිබඳ එක්තරා මවක් විසින් මගේ හදවතේ තැබූ අනුවේදනීය සටහනක් ඔබ සමඟ බෙදා ගන්නෙමි.
මතකය නිවැරැදි නම් ඒ 2008 වසර විය යුතුය. එකල මා රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය වාට්ටු අංක නවයෙහි හෙදියකි. කුඩා කැරැලි ගැසුණු හිසකෙසින් යුත් පුළුන් බෝලයක් වැනි සුදු හුරුබුහුටි සිඟිත්තා අප හමුවට එන විට ඔහුට වයස අවුරුදු දෙකක් පිරුණා පමණි. ඔහුට වඩා වයසින් ඉතා වැඩිමල් සොයුරු සොයුරියන් කිහිපදෙනකුගෙන් යුතු පවුලක නො සිතූ පරිදි බඩ පිස්සාව උපන් ඒ සිඟිත්තා දුටුවන් නෙත් සිත් පැහැර ගත්තේ ඇසිල්ලකිනි.
අක්කලා අය්යලාගේ ආදරය, මව්පියන්ගේ සුරතලය මැද ඇති දැඩි වුණු ඒ කුඩා සිඟිති පුතු අප වෙත පැමිණ තිබුණේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ඔහුගේ වකුගඩු දෙකම අකර්මණ්‍ය වීමෙනි. හදිසියේ උද්ගත වූ තත්ත්වයක් වූ එම රෝගයට ප්‍රතිකාර කිරීම භාරව තිබුණේ එකල ලංකාවේ සිටි අති දක්ෂතම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියකටය. ඇය නමින් පුෂ්පා පුංචිහේවා මෙනවිය විය.
දිනෙන් දින උත්සන්න වුණු රෝගී තත්ත්වයට දන්නා උපරිම ආකාරයෙන් ඖෂධ, වෛද්‍ය සත්කාර හා හෙද සත්කාර ලබාදීමට වාට්ටුවේ සියලුම කාර්ය මණ්ඩලය එකහෙළා කටයුතු කළහ. වකුගඩු අකර්මණ්‍ය වීම නිසා දරුවාගේ මුත්‍රා පෙරීම සාමාන්‍ය ආකාරයෙන් කිසිසේත්ම සිදු නො වුණු අතර සාමාන්‍යයෙන් මෙවන් දරුවන්ට කරන ආකාරයේ රුධිරය පිරිසුදු කිරීමේ ප්‍රතිකාරය වන පරිතාන කාන්දු පෙරණය (Peritoneal dialysis) ඇරැඹීමු. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිකාරය දරුවන්ට ලබා දීමේ දී එක් ප්‍රතිකාර වටයක් සඳහා පැයක පමණ කාලයක් ගත වේ. රෝගියාගේ රුධිර ගත වැඩිමනත් යූරියා උරාගැනීමට උදරයේ ඇතුළට දැමූ කැතීටරයක් මඟින් ඇතුළු කරන පරිතාන තරලය එක දිගට විනාඩි විස්සක් පුරා ශරීරයට ලබාදෙන අතර සිරුරේ ඇති යූරියා එම තරලයට උරා ගැනීමට විනාඩි විස්සක් පමණ කාලයක් තරලය උදර කුහරය තුළ රැඳීමට ඉඩ සලස්වයි. ඉන් අනතුරුව නැවතත් විනාඩි විස්සක් අප විසින් උදරයට ලබාදුන් තරලය පිටතට වෑස්සීමට සලස්වයි. මෙලෙස එක චක්‍රයක් පැයක් පුරා දිවෙන අතර ඇතැම්විට දින කිහිපයක් පුරා මෙලෙස රුධිර පිරිපහදු කිරීම සිදුකරනු ලබයි.
අද කතාවේ කතා නායකයා වන සිඟිති රෝගියාට දින කිහිපයක් පුරා මෙලෙසින් පිරිපහදු කිරීම සිදු කළ අතර ඔහු සමඟ ගතකළ අතිශය වෙහෙසකාරී රාත්‍රීන් රාශියකි. විශේෂ අවධානයක් ලබා දීම කළ යුතු ඔහු වෙනුවෙන් ම රාත්‍රී සේවා මුරය සඳහා අමතර හෙද නිලධාරිනියක් අනුයුක්ත කිරීමට හෙද සොයුරිය කටයුතු කළේය. ඒ රෝගීන් ඉතා විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන වෛද්‍ය වාට්ටුවක හෙදියන් හතර දෙනකුට අනෙකුත් රෝගීන් ගේ කාර්යයන් සමඟ මේ විශේෂිත කුඩා රෝගියා සමඟ කටයුතු කිරීම තරමක් අපහසු වන බැවිනි. දිනෙන් දින අසාධ්‍ය වන කුඩා පුතුට දිය හැකි උපරිම ප්‍රතිකාර කළ ද ඔහු තවත් වැඩි කලක් ජීවත් නොවන බව අප සියල්ලන්ම දැන සිටියාය. නමුත් කුමන හෝ විස්ම කර්මයක් මඟින් ඔහු නැවත පණ ගැන්වෙනු ඇතැයි සිත යට බලාපොරොත්තුවක් ද නො තිබුණා නොවෙයි. තවද හැඬූ කඳුළින් පසුවන අම්මාත් ඔහු බැලීමට පැමිණ කුඩා ඇඳ වටා සිටිය කඳුළු පිරුණු දෑසින් යුතු සහෝදර සහෝදරියනුත් හද කකියවන දර්ශනයක්ම විය.
හැකි ප්‍රතිකාර තවත් නොවූ හෙයින් යම් හෙයකින් දරුවාගේ හදවත අක්‍රිය වුවහොත් නැවත පණ ගැන්වීමක් නො කරන්නට අපට උපදෙස් ලැබී තිබිණි. දරුවා සුවපත් කිරීම තවදුරටත් අපහසු කටයුත්තක් බව ඔහුගේ මාපියන්ට දන්වා සිටියේ විශේෂඥ වෛද්‍යතුමිය තවත් වෛද්‍යවරුන් කිහිපදෙනෙක් සහ වාට්ටු භාර හෙද සොයුරිය ඇතුළු වූ කණ්ඩායමක් විසිනි. දන්නා සියලු වෙදකම් ලබාදුන්න ද කුඩා දරුවා ජීවිතේ හැර යන බව අප සියල්ලන් දැන සිටි අතර අසාධ්‍ය රෝගීන්ගේ මරණ කොතෙකුත් දැක ඇති අපට තවත් එක් මරණයක් විය යැයි ඔබ සිතන්නේ නම් එය මුලාවකි. මක්නිසාදයත් කවර ආකාරයක වුවද මියයන රෝගියකු වෙනුවෙන් ඔහුට ප්‍රතිකාර කළ සෞඛ්‍ය කණ්ඩායම් ද රෝගියාගේ ඥාති මිත්‍රාදීන් සමඟ හදවතින් දහස්වර වැළපෙන බැවිනි.
සති කිහිපයක් වාට්ටුවේ රැඳී ප්‍රතිකාර ලැබූ කුඩා දරුවා දින කිහිපයක අසීරු කාලයක් ගත කිරීමෙන් පසු එක් දිනයක ඒ අඳුරු දහවල උදාවිය. ස්වසන වේගය හා හෘද ස්පන්දනය ටික ටික අඩාල වෙමින් පැවතිණි. දුර්වල අතට හසු නොවන නාඩි ඇල්ලීම පවා දුෂ්කර කටයුත්තක් විය. ඒ කුඩා හදවත නතර වුවහොත් නැවත පණ ගැන්වීමක් නො කරන්නැයි අපට කල්තියා උපදෙස් ලැබී තිබුණ ද සත්කාර කළ රෝගියකු තවත් එක තත්පරයක් හෝ ජීවත් කරවීම සෞඛ්‍ය කණ්ඩායම්වල පරම අභිලාෂයයි. එහෙයින් හදවත නැවතෙමින් පැවතුණු පුංචි පුතු තවත් පැය කිහිපයක් හෝ ජීවත් කරවීමට අපි සියල්ලන් සූදානම් ව සිටියෙමු. ස්වසන මාර්ගය අවහිර කරවන සෙම ඉවත් කිරීම, ඔහුට පහසු මරණයක් අත් කර දීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා දීම, කුඩා සිරුර හැකි පමණ සුවදායි ලෙස තැබීම, අවශ්‍ය වෙලාවට කෘත්‍රිම ස්වසනය ලබාදීම ආදී මේ ආකාරයෙන් වූ දරුවාට තවදුරටත් රිදවන්නේ නැති ක්‍රියාකාරකම් ඉටුකරමින් රැඳී සිටියෙමු. ඔහුට සුවදායි මරණයක් හෝ ලබාදීම අපගේ අභිලාශය විය.
මිය යමින් සිටි දරුවා දෙස බලා ඔහු අවසන් හුස්ම හෙළීමට පෙර “අනේ මගේ දරුවාට කිරි උගුරක් හරි පොවන්න මට පුළුවන් ද?” අම්මා හැඬූ කඳුළින් අසා සිටියේ. ඔහුගේ රෝගී තත්ත්වය නිසා අන්තර් ශෛරීයව ලබා දුන් තරල සහ ඖෂධ හැර දින කිහිපයක් කිසිදු ආහාරයක් මුඛ මාර්ගයෙන් ලබා නොදුන් බැවිනි. ඇඳ වටා සිටි සියල්ලන් එකිනෙකා දෙස බැලුවෙමු. වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ මුහුණුවල බලාපොරොත්තු සුන් වීමට අමතරව එකිනෙකා අතර හුවමාරු වූ වචනයෙන් තොර ඉරියව්වලින් එකිනෙකා එකිනෙකාහට පවසා ගත්තේ “ඔව් අපි ඒ ඉල්ලීමට ඉඩ දෙමු”යන්නයි. “ඔව් අම්මා කිරි ටිකක් දෙන්න”. එතැන සිටි ජ්‍යෙෂ්ඨතම වෛද්‍යවරයා පැවසූ අතර තත්පරයක්වත් ගතවීමට පළමුව කුඩා මුව මත ක්ෂීරධාරාවක් විසිරී ගියේය. ඉන් බිඳක් හෝ ඒ කුඩා මුව තුළට ගියා දැයි නො දනිමි.
මෙතෙක් මේ මිහිපිට ජීවත් වන මිනිස්සුන්ට ලැබිය හැකි ආරක්ෂිතම ආහාරය ඔවුන් ලබනුයේ කුඩා කල දී ය. එය මව්කිරි හැර වෙන කවරක්ද?
මා අදට ද විශ්වාස කරන පරිදි අවසන් හුස්ම හෙළන ඒ පුංචි මුව මත විසිරී ගියේ කිරි පමණක් නොවේ, හදවතක මිරිකෙන දුක් සම්භාරයක කඳුළුය. ජීවිතය පුරා දරාගැනීමට සිද්ධ වෙන, විප්‍රයෝගයේ ශෝකයෙන් මතක් වෙන හැම වාරයක් පාසාම හදවත දවා ලන, ඉපදී මැරි මැරී ජීවත් වන්නට සිද්ධ කරන අහිමි වුණ පුත්‍ර ස්නේහයයි. සැබැවින්ම ලෝකය නිර්මාණයව ඇත්තේ හිරුගේ එළියෙන් සහ මව්වරුන්ගේ කිරිවලිනි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි
ලක්මාලි ධර්මවංශ ලියයි