දොස්තර ආච්චි...

සතියේ කෙටිකතාව
ඔක්තෝබර් 3, 2022

 

දොස්තර අාච්චිගේ දැන් වයස අවුරුදු අසූ ගාණක් වුවද ඇය තවමත් රෝගීන් පරීක්ෂා කරයි. ඇගේ සායනය වෙත බොහෝ ලෙඩුන් පැමිණීම නිසා ඇයට මේ අන්වර්ථ නාමය පටබැඳී තිබුණි. සිතේ ඇති සෑම දෙයක්ම පවසන තෙක් ඇය හොඳින් රෝගීන්හට සවන් දෙයි. අනතුරුව සිනාසෙයි. සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමවේද අනුව ඇය ඔවුන්ගේ රෝගාබාධ ගැන ප්‍රශ්න අසන අතර, නාඩි ස්පන්දන මැන රෝගය නිවැරැදිවම හඳුනා ගනී. එහෙත් දැන් දැන් ඇයගේ තත්ත්වය සතුටුදායක නොවන බැවින් රෝහල් අධ්‍යක්ෂකවරයා ඇයට විශ්‍රාම යන ලෙස උපදෙස් දුනි. එම කරුණ සලකා බැලීමෙන් ඇය ද ඊට එකඟ විය. මේ තීරණය ඇගේ වෘත්තීයට නැවතුමක් වනු ඇති බව ඇයට හැඟී ගියේය. නමුත් ඊට පෙර ඇගේ සියලු සායන කැඳවීම්පත් නැවත බැලීමට අවශ්‍ය විය. ඇය දුටු අවසන් රෝගියා ගම්බද පළාතක උසස් පාසල් සිසුවකු වන අතර ඔහු අමුතු රෝගයකින් පීඩා වින්දේය. කියවීම සඳහා යම් කාලයක් ගත කිරීමෙන් පසු ඔහුගේ ඇස් ඉදිරිපිට මායා රූප පිහිනනු දකී. එම තත්ත්වය ඔහුගේ ඉගෙනීමේ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔහුව වළක්වනු ලැබීය.

 

සිසුවාගේ මව කුකුළු මස් සුප් සහ බිත්තර කෑමට දී ඔහුගේ පෝෂණය වැඩි දියුණු කිරීම සඳහා ඇයට හැකි සෑම දෙයක්ම කළේය. එහෙත් එමඟින් ප්‍රතිඵලයක් නොවුණු බව ඇය දොස්තර ආච්චි වෙත පැවසුවාය. සිසුවා මාස කිහිපයකින් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව තිබූ නිසා ඇය සහ මුළු පවුලම ඔහු ගැන දැඩි කනස්සල්ලට පත්වී සිටියහ. කෙසේ වෙතත් දොස්තර ආච්චිට අසනීපය අමුත්තක් නොවීය. තරුණ වියේදී ඇය ද එවැනිම රෝගයකට ගොදුරු වී සිට ඇත. චීන වෛද්‍ය ක්‍රමවේදයට අනුව එය සුවකරගෙන තිබුණි. ඇය එම රෝග පිළිබඳ හැදෑරීය. අවසානයේ දී ඇයව චීන වෛද්‍ය ක්‍රමවේදයේ වෘත්තිකයකු වීමට පෙලඹ වූයේ ද එයයි.

 

“මම නිර්දේශ කරන ඖෂධ පැළෑටි මිල අඩුයි. පහසුවෙන් ලබාගත හැකියි.” කියා දොස්තර ආච්චි තරුණ සිසුවාට පැවසීය. “නමුත් ඒවායේ රසය කටුකයි. මුල් අවස්ථාවේ ඔයාට වමනය පවා ඇති වේවි. නමුත් ඔයා ඊට නොපසුබටව උත්සාහ කළ යුතුයි. ”

 

ඖෂධීය කසාය සැකසීමේදී විශේෂ ක්‍රමවේදයක් පවතින බවත්, තරුණයා සම්පූර්ණ සුවය ලබා ගන්නා තෙක් ඉදිරි මාස කිහිපය තුළ ඒ අනුව බෙහෙත් වට්ටෝරුව සකස් කරගන්නා ලෙසත් ඇය පැවසුවාය. තරුණ සිසුවා සහ ඔහුගේ මව යන දෙදෙනාම අසනීප තත්ත්වය සුව වනතුරු දොස්තර ආච්චි පැවසූ සෑම දෙයක්ම කිරීමට එකඟ වූහ. නමුත් පසු දිනයේ පැමිණ බෙහෙත් වට්ටෝරුව ගන්න යැයි දොස්තර ආච්චි පැවසූ අවස්ථාවේ ඔහුගේ සිතට එය ප්‍රහේලිකාවක් විය.

 

දොස්තර ආච්චි රෝහලෙන් ඉවත්ව ආපසු නි‍වෙසට පැමිණියේය. ඇය පෙට්ටි කිහිපයක සහ ඇගේ හැට්ටය තුළ යමක් සොයා බැලුවේය. අවසානයේදී ඇය කහ පැහැති පැරණි ලියුම් කවර කිහිපයක් සොයාගන්නා ලදී. මේසයක් අසල වාඩිවී ඒවායෙහි සිරස් අතට දකුණේ සිට වමට අකුරු ලිවීමේ පින්සලකින් පැරණි චීන අක්ෂර කිහිපයක් ලියා තැබුවාය. යළිත් ඇය පැරණි බෙහෙත් වට්ටෝරු සරල අක්ෂරවලින් තිරස් අතට වමේ සිට දකුණට පිටපත් කර ලියාං සහ ක්වාන් බර ඒකක ග්රෑම් බවට පරිවර්තනය කළේය. එම වැඩය අවසන් කිරීමෙන් පසු ඇයට දැඩි වෙහෙසක් දැනුණි. එබැවින් එය නතර කර විවේක ගැනීමට සිතුවාය. ඊළඟ දවසේ දොස්තර ආච්චි තරුණයාට බෙහෙත් වට්ටෝරුව ලබා දුනි. එතැන් සිට දින විස්සකට පසුව ඈ වෙත ලිපියක් මඟින් ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ වාර්තා කරන ලෙස ඇය ඔහුට පවසා සිටියාය.

 

“ඔයා සෑම දෙයක්ම හැකිතාක් විස්තරාත්මකව මට පැවසිය යුතුයි” ඇය ප්‍රමාදයකින් තොරව එසේ පිළිතුරු දී ඊළඟ බෙහෙත් වට්ටෝරුව අමුණන ලදී. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ ලිඛිත කොටසට පුහුණුවීමේ අභ්‍යාසයක් ලෙස රචනාවක් පරිද්දෙන් ලිපිය ලියන ලෙස ඇය තරුණයාගෙන් ඉල්ලා සිටියාය. මෙය හොඳ අදහසක් යැයි පවසමින් තරුණයා ඊට එකඟ විය.

 

ඔහු දොස්තර ආච්චි වෙත ලිපි හයක් ලියා යැවූ අතර, ඇගෙන් පිළිතුරු හයක් සහ බෙහෙත් වට්ටෝරු හයක් පෙරළා ඔහුට ලැබුණි. විභාගය සමත් වන විට සිසුවා සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබුණි. පළමු පිළිතුර ආරම්භ වූයේ “මම ඔබේ ලිපිය කියැවූයෙමි. ඔබ කටුක ඖෂධ පැළෑටිවලට අනුවර්තනය වී ඇති අතර, ඔබේ සෞඛ්‍යය යහපත් අතට හැරෙනු ඇත. ”

 

ඇයගේ හයවැනි පිළිතුර අවසන් වූයේ “ඔබේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට මම සුබපතමි. ඔබ උපාධිය ලැබීමෙන් පසු සමාජයට සේවය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි!” ලෙසිනි. තරුණයා චීන වෛද්‍ය ක්‍රමවේදය හැදෑරීමට දොස්තර ආච්චි සේවය කළ ප්‍රධාන වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කළේය. විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පසු ඔහු තමා ළඟ වූ පිළිතුරු ලිපිවල සඳහන් කර තිබූ ලිපිනය සොයා ගෙන දොස්තර ආච්චිගේ නි‍වෙසට ගියේය.

 

දොරේ සීනුව නාද කළ ද කිසිවකු පිළිතුරු දුන්නේ නැත. ඔහු නැවත නැවතත් නි‍වෙසේ දොරට තට්ටු කළේය. එහෙත් කිසිවකු පිළිතුරු දුන්නේ නැත. ඇය සිටින්නේ කොහේදැයි එම මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා වෙතින් ඔහු විමසීය.

 

මුරකරු ඔහුට පැවසුවේ මහලු කාන්තාව මීට මාස කිහිපයකට පෙර මියගිය බවයි.

“මොකක්!” තරුණයා කම්පනයට පත් විය.

“එය වෙන්න බැහැ!” ඔහු අවධාරණයෙන් පවසා සිටියේය.

“මරණය ගැන විහිළු කිරීමට නිර්භීත වන්නේ කවුද?” මුරකරු පිළිතුරු දුන්නේය.

“ඔයා මාව විශ්වාස කරන්නේ නැතිනම් ඇගේ දියණියගෙන් විමසන්න.”

නව ලිපිනය අතට ගත් තරුණයා එම ලිපිනයේ විසූ දොස්තර ආච්චිගේ දියණියගේ නිවෙස සොයා ගත්තේය. ඔහු තමා හඳුන්වා දුන් අතර, ඇගේ දියණිය කිසිසේත් පුදුම නොවීය. ඇය ඔහු හා සුහද කතා බහක නිරත වූවාය.

 

“වෛද්‍යවරියක් වශයෙන් මගේ මව ඇගේ සෞඛ්‍යය තත්ත්වය ගැන හරියටම දැන සිටියා. එදින ඇය බෙහෙත් වට්ටෝරුව පිටපත් කළ පසු මේ පොළොවේ ජීවත් වන්න ඉතිරිව ඇති කාලය ඉතා ඉක්මනින් අවසන් වන බව තේරුම් ගෙන තිබුණා. ඊළඟ දිනවලදී ඇය පිළිතුරු හතක් බෙහෙත් වට්ටෝරු හතක් සහ ලියුම් කවර හතක් ලියා තැබුවා.”

ඇය තරුණයා දෙස බලාගෙන තවදුරටත් පැවසුවේ, “ඔබේ ලිපි ලැබීමෙන් පසුව එම ලිපි යවන්නැයි ඇය මට පැවසුවා. මා යොමු නොකළ එක් ලිපියක් මෙහි තියෙනවා.”

තරුණයා විවර කළ එම ලිපියෙහි “ඔබට උදව් කිරීමට නොහැකි වීම ගැන මම සමාව ඉල්ලමි. කරුණාකර වඩා හොඳ වෛද්‍යවරයකුගෙන් විමසන්න! යැයි සඳහන් විය.

මගේ මව සනසන්න, ඇය මිය ගිය ද ඇය වෙනුවෙන් ඔබට පිළිතුරු ලියන බවට මා සහතික වුණා. නමුත් ඇය “ඔබ චීන වෛද්‍ය ක්‍රමවේදය ගැන නොදන්නා අතර, අත් අකුරු වල වෙනස නිසා ඔබේ ලිපිවලින් සිසුවා ව්‍යාකූල වන්න පුළුවන්. එය ඔහු තුළ සැක ඇති කරයි. ඖෂධ නොගැනීමට තීරණය කිරීමට පවා ඉඩ තිබේ. එසේ වුවහොත් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙර එය අතිශයින්ම අනතුරුදායක වෙන්න ඉඩ තිබෙනවා.” යැයි පවසා සිටියා.

කඳුළු රැස්වෙමින් දිදුලන තරුණයාගේ දෑස් දෙස ඇය බලා සිටියා.

“ඇගේ සොහොනට ගොස් මගේ ගෞරවය දක්වන්න මට ඉඩ දෙන්න.” තරුණිය දෙසට නැඹුරු වෙමින් ඔහු කියා සිටියේය.

 

“මගේ මවට සොහොනක් තනා නැහැ. ඔයාගේ ව්‍යූහ විද්‍යා පංතිය ආරම්භ කළ විට ඇගේ සිරුර එම විද්‍යාගාරයේදී ඔයාට දැකගන්න ලැබේවි.”

තරුණයාගේ දෑසේ වූ කඳුළු බිඳු කිහිපයක් ඇගේ දෙපා ඉදිරියේ පතිත විය.

 

(2017.04.24 දින China Today, පුවත් පතට Li Kangsheng විසින් The Grandma Doctor  යන හිසින් පළ වූ කතාවකි.)

 

පරිවර්තනය,

එම්.එම්. පාලිත

මහින්ද මුණසිංහ