ගුරුතුමී‍ෙග වරුව

ඔක්තෝබර් 3, 2022

 

ඕ සුවහසක් දරුවන්ගේ නුවණැස පාදන්නට කැපවූ දහස් ගණනක් ගුරුවරුන් අතරින් කෙනෙකි. අද දවසේ ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක, ගුරුවරියක ලෙසත් සේවය කරන කුමාරි ලියනගේ නම් වූ මේ ආදරණීය ගුරුතුමියගේ ගුරු දිවියේ මතක පොත අද සිට මෙලෙස දිග හැරෙයි....

 

කාර්යාල සේවයේ වසර ගණනාවක් සේවය කළ මට ඉන් ඉවත් වෙන්න සිදුවෙන්නෙ ලොකු පුතා ඉපදීමත් සමඟයි. පුතාගෙ තාත්තා කැමැති රැකියාවක් නොකර නිවෙසේ සහ දරුවන්ගේ කටයුතු බලා කියාගෙන ඉන්න බිරියකට. ඉතින්... දෛවය දුන් තීන්දුවත් කළමනාකරණ උපාධි සහතිකයත් සමඟ ගෙදරට වෙලා ඒ කටයුතු අතර, සතුටින් කාලය ගත වෙනවා. පුතාට මාස තුනක් වෙත්දි රජයේ පාසල් ගුරු සේවයට අයදුම්පත් කැඳවීමක දී මගේ සොයුරියක් මා වෙනුවෙනුත් අයදුම්පතක් යොමු කරනවා. අවසානයේ පවුලේ සොයුරියන් හතර දෙනාගෙන් උපාධිය හිමි වැඩිමල් තුන් දෙනෙක්ම විභාගයෙන් සමත් ව ගුරු පුහුණුව සඳහා යොමු වෙනවා. විදුහල්පති තනතුරු දැරූ තාත්තා සහ අම්මගේ අඩි පාරේ අපිත් යන එකට අම්මාට නම් ඉහේ මලක් පිපුණු ගානයි.

 

මගේ විෂයය වාණිජ වුණත් මුලින් ම මා පුහුණු සේවයට යොමු කළ පාසලේ එම විෂයය නෑ. හතර සහ පහ ශ්‍රේණිවල ඉංග්‍රීසි විෂයයට හා හයේ සිට නවය දක්වා ශ්‍රේණිවල චිත්‍ර විෂයයට ගුරුවරු නෑ. ඉතින් මං කැමැති වෙනවා. විෂයයට අදාළ ගුරුවරු නැතිව ඉන්න දරුවන්ට උගන්වන්න. ටිකක් මහන්සි වෙලා, ගුරු මාර්ගෝපදේශ හා වෙනත් අමතර පොත්පත්වලින් කරුණු හොයාගෙන, මට වඩා අත්දැකීම් ඇති ගුරු සොයුරු සොයුරියන්ගෙ ගුරුහරුකම් මැද උගන්වනවා. දරුවන්ට වරදක් නෑ. හරි ම ආසාවෙන් ඔවුන් මා එක්ක පාඩම්වලට සම්බන්ධ වෙනවා. ඉංග්‍රීසි විෂයය ඉගැන්වීම ගැටලුවක් නොවුණත් චිත්‍ර විෂයය ඉගැන්වීමේ දී මට මිනිස් රූප ඇඳීම ටිකක් අසීරුයි. ඒ වගේ වෙලාවට මට උදව්වට දරුවෙක් ඉදිරිපත් වෙනවා. හැම පන්තියක ම ඒ වගේ දරුවො ඉන්නවා. ඉතින් මොනවා ද කරන්න බැරි...? හිතෙන් ආයෙමත් පාසල් කාලයට යනවා. අනුරාධපුර, පොළොන්නරු, මහනුවර යුගවලට අයත් චිත්‍ර නිර්මාණ, විදේශීය චිත්‍ර නිර්මාණ ගැන කරුණු සොයමින් සටහන් හදන්න දවස ගත වෙනවා. පුංචි පුතු එක්ක ටිකක් අමාරු වැඩක්. ඒත් රාත්‍රී කීය වනතුරු හෝ හිඳිමින් මගේ කටයුත්ත නිමා කරලා තමයි මම නින්දට යන්නේ.

 

දිනපතා මගේ කාලසටහන අනුව මට පන්ති ගණනාවකට යා යුතු වෙනවා. කිහිප දවසක්ම පහේ පන්තියට මා යන විට එහි පන්ති භාර ගුරුතුමියගේ මුහුණේ වෙනසක් මා දකිනවා. ඍජුව මට නොකියන යමක් ඇය දින කිහිපයක් ම විවේක කාලයේ දී ගුරු විවේකාගාරයේ දී ඇනුම්පද ලෙස කියනවා. ඒ කියන්නෙ මටයි කියලා දවසක් දෙකක් කියද්දී තේරෙනවා. උදේ වරුව පහේ පන්තියට ගණිතය විෂයට ලු වඩා ගැළපෙන්නෙ. ඉංග්‍රීසිවලට ආවම ඒක කරන්න බැරි වෙනවලු. ඉතින් දෙවියනේ මුණ පුළුටු කරගෙන ඇනුම් පද නොකියා ඕක මට කියන්න මේ අත්දැකීම් බහුල ගුරුතුමීට වෙන ක්‍රමයක් තිබුණෙ ම නැත්ද... මට මගේ අම්මා මතක් වෙනවා. ඇය කවදාවත් කාටවත් ඇනුම්පද කියන්නෙ නෑ. 'කවුරුවත් එහෙම කිව්වට අපි එහෙම වෙන්න ඕනෙ නෑ...' ඒ ඇගේ වචන. මම හිත තදකර ගන්නවා.

ලබන සතියට....

 

මං ගුරුතුමී කුමාරි ලියනගේ