සෙනෙහසට විරාමයක්

සතියේ කෙටි කතාව
ඔක්තෝබර් 17, 2022

 

සාවිත්‍රී කඳු බෑවුමේ පහළට මඳ දුරක් පැමිණ තාර පාරට පහළින් පිහිටි තේ ෆැක්ටරිය දෙස බලා ගෙන නතර වූවාය. නැවතත් ආපසු හැරී බලා අසල වූ පයිනස් ගසේ කඳට පිට දුන්නාය. වරින්වර හමන මඳ සුළඟට කොණ්ඩය කිහිපවතාවක් මුහුණට වැටුණි. ඇගේ ගැඹුරු සිතුවිලිවලට එය බාධාවක් නොවිය. තංගමනීගේ හදිසි මරණය ඇයව කම්පනයට පත්කර තිබුණි. ඇගේ දේහය රැගෙන ඒමට තංගමනීගේ පුතා නොපැමිණීම එය තීව්‍ර කිරීමට සමත් විය. ලයිමෙන් පිටව රැකියාවකට යාම ගැන තමා ඔහුට විරෝධය පළ නොකිරීම ප්‍රමාද වැඩියි යැයි ඇයට සිතුණි.

 

ගංසූරිය අත්තක් කැඩෙන ශබ්දයෙන් ඇය ඒ දෙසට හැරිණි. පීල්ල දෙසට යන ගල් ගොඩැලි සහිත අඩි පාර දිගේ නිහඬව තමා දෙසට රාජේශ්වරී පැමිණෙන අයුරු ඇය දුටුවාය. සාවිත්‍රී යළිත් ෆැක්ටරිය දෙසට හැරී ආපසු බැලුවත් ඇගේ සිතුවිලි නතරව තිබුණේ වෙනත් ඉසව්වකයි.

 

“මම හිතුවේ ඔයා කවදාවත් මෙතැනට එන එකක් නැහැ කියලා?”සාවිත්‍රී අසලටම පැමිණ රාජේශ්වරී විමසා සිටියාය. එහෙත් මුනිවත රකිමින් ඇය එදෙස බලා සිටියාය. රාජේශ්වරී ජීවත් වන නිවාස පේළියේ පියසි මතින් ඉර එළිය රැලි නැඟීය. ඒ ළඟම කඳු බෑවුමේ තේ පඳුරු අතරින් තේ කූඩා පෙළක් ෆැක්ටරිය පැත්තට පල්ලම් බසින්නට විය.

“ඇයි මිනියෙ කටයුතුවලට චන්ද්‍රකුමාර් එන්නෙ නැතිද?”රාජේශ්වරී ඇගේ අවධානය බිඳ දැමීමට යළිත් උත්සාහ ගත්තාය. සාවිත්‍රී ඇගේ හිස සෙල වූ නමුත් ආපසු හැරුණේ නැත.

“ඔයා කල්පනා කරන්නේ මොනවාද?...,අවමංගල්‍ය කටයුතු ගැන නොවේද?...එයා අවුරුදු දහසයක් විතර ඔයාව හදා වඩා ගෙන බලාගත්තා නේද?”...රාජේශ්වරී තරවටු කරන ස්වරයෙන් විමසුවාය.

“එයා මට බොරු කිව්වා..... ඔයාලා හැමෝම මට බොරු කළා”සාවිත්‍රී වෛරී බවක් අඟවමින් පවසා සිටියාය. රාජේශ්වරී ඇය අසලින් ඉහළට පියවර කිහිපයක් තබා ආපසු සාවිත්‍රී දෙසට හැරුණි. දෙදෙනාම මිනිත්තු කිහිපයක් නිහඬව පටු පාරේ පසෙකට වී සිටියහ.

“අපි ඒ දවස්වල මෙතැන හිටගෙන මවුන්ට් වර්නන් වතුයායට ඉහළින් යන බදුලු කෝච්චියේ මිනිස්සුන්ට අත වනවනා බලා හිටියා.”සාවිත්‍රී ඉකි ගසමින් පවසන්නට වූවාය. තත්පර කිහිපයකට පසුව ඇය සිතුවේ අසල සිටින්නේ තංගමනී මිස රාජේශ්වරී නොවන බවත් ඇගේ මරණය සැබෑ නොවන බවත් තමා දැනගත්තේ බොරු තොරතුරක් බවත්ය.

“ඔයා මට බොරු කිව්වා”ඇය නැවතත් පවසන්නට විය.

“ඔයාලා ඔක්කොම අවුරුදු ගාණක් මට බොරු කිව්වා.”සාවිත්‍රී සිහිය එළවාගෙන රාජේශ්වරී දෙස බලා සිටියාය.

“තංගමනී කළේ හොඳ දෙයක් නේ”රාජේශ්වරී පිළිතුරු දුන්නාය.

“මම කාට කියන්නද?...මගේ උප්පැන්න සහතිකේ...?.... කවදාවත්?”රාජේශ්වරීගේ දෙවුරෙන් අල්ලා ගෙන සාවිත්‍රී උච්ච ස්වරයෙන් විමසුවාය.

කිසිවකු උගුර පාදන හඬක් ඔවුන් පිටු පසින් ඇසී දෙදෙනාම එකවර ඒ දෙස හැරී බැලූහ. අරක්කු ගඳ මුසු තල තෙල් සුවඳ ඔවුන්ගේ නාස් පුඬු පිසගෙන ඈතට ගියේය. ක්ලිෆර්ඩ් වත්තේ කංකානම ඔවුන් පසුකර මඳ දුරක් ඉහළට ගොස් උරහිස අඩක් හරවා ඔවුන් දෙස බලමින් ඇසක් ඉඟි මැරුවේය. සාවිත්‍රී මෙන්ම රාජේශ්වරී ද දැඩි ඕනෑකමින් උනුන්ගේ මුහුණු දෙස බලා සිටියහ.

“මම කරන්නේ මොනවද ... ”සාවිත්‍රී විරාමය බිඳ දැමුවාය.

“එයා මගේ අම්මා නොවේද?..වසර ගණනාවක් තිස්සේ එයා මගේ අම්මා කියලා හිතාගෙන හිටියේ. ඔබ වැඩිමහල් සහෝදරියක් යැයි මා සිතුවත් ඇත්ත.... මගේ අම්මා ඔයා නේද.?”

රාජේශ්වරී දෙස බලාගෙන සාවිත්‍රී වචන සුළඟේ ගලා යාමට ඉඩ දුන්නාය. ඇගේ උගුරෙහි සිර වූ යමක් එළියට දැමිමට මෙන් රාජේශ්වරී තතැනුවාය.

“මට ඔයා ලැබෙන කොට මම ඔයාටත් වඩා බාලයි.”රාජේශ්වරී වචන ගැට ගසන්නට වෙර දැරුවාය.

ඇගේ උත්සාහය අඩපණ විය. පෙර පාසල් කාලය නිමා කළ විවිධ පාට ඇඳුම්වලින් සැරසුණු කුඩා දරුවන් කිහිප දෙනකු ඔවුන් පසුකර ලයිම දෙසට යන අතර රාජේශ්වරීට විහිළු කළහ. තේ පඳුරු අතරින් ඔවුන් නොපෙනී යන විටම ඇයට හැඬුම් ආවේය.

“ඔයාව රැකබලා ගන්න තරම් මට තේරුමක් නැහැ. තංගමනී නැන්දා මගේ හොඳම හිතවතිය.”රාජේශ්වරී පියවර කිහිපයක් පසුපසට ගෙන ඇය දෙස බලා පැවසුවාය.

“මගේ තාත්තා කවුද?..ලයිමේ කොල්ලෙක්ද?... ෆැක්ටේරියෙ වැඩ කළ කෙනෙක්ද?”වෙව්ලමින් සාවිත්‍රී ප්‍රශ්න කළාය.

දරාගත නොහැකි වේදනාව යටපත් කර ගැනුමට ඇය ෆැක්ටරිය දෙස මොහොතක් බලා සිටියේය. යළිත් ඉස්මතු වූ උද්වේගකාරී හැඟීමට ඇය එකවරම ආපසු හැරුණාය. ඒ වන විටත් උස්පහත් වන රාජේශ්වරීගේ ළමැදින් ඇගේ හදවත ගැහෙමින් වෙවුලන බව සාවිත්‍රී වටහා ගත්තාය. ඉන් පසුබට නොවූ ඇය “නැත්නම් ඔයාට මතක නැද්ද?”යළිත් වරක් රාජේශ්වරීගෙන් විමසුවාය.

“මාව විනාශ කළා”රාජේශ්වරී තදින් පැවසූ වචන කිහිපය තේ යාය මතින් ඈතට ඇදී ගියේය.

“විනාශ කළා”සාවිත්‍රී තිගැස්මෙන් යුතුව පුනරුච්චාරණය කළේය.

සාවිත්‍රී යළි යළිත් ඉකි බිඳින්නට විය. ඇගේ දෙපා වේගයෙන් ගැහෙන්නට විය. සාවිත්‍රීගේ කොණ්ඩය විසුරුවා හරිමින් සුළඟ වේගවත් විය.

“මට වයස අවුරුදු දාහතරයි, මං තනි වුණා, එදා සිදු වූයේ කුමක්දැයි මම දැන සිටියේ නැහැ.” රාජේශ්වරීගේ නොනවතින කතාවට සාවිත්‍රී ගේ ඉකි බිඳුම නතර විය. ඇය යටි තොල සපාගෙන මොහොතකට දෑස් පියා ගත්තාය.

“කවුද ඔයාට හිරිහැර කළේ?” සාවිත්‍රී මෘදු ලෙසින් ඇගෙන් විමසුවාය.

“මිනිහා අඳුරගත්තේ නැද්ද?.... ඔයාව දූෂණය කළ බව ලයිමේ අය දැන හිටියාද?” සාවිත්‍රී නැවත නැවත විමසුවාය. රාජේශ්වරී ඇගේ කම්මුලට අත තබාගෙන සාවිත්‍රීගේ හිසකෙස් ඉවතට තල්ලු කිරීමට උත්සාහ කළාය.

“ඒ කවුද?”සාවිත්‍රී නැවතත් වඩා අවධාරණයෙන් විමසුවාය.

“අප්පාගේ පරණ යාළුවෙක්. එයා උතුරේ කරදර කාලයේදී අප්පා සොයාගෙන ඇවිත් මෙහෙ නතර වුණා. ඔහු බොහෝ විට මට නොයෙක් දේවල් ගෙනැවිත් දෙනවා. මං පුංචි කාලෙදි ඔහුගේ උකුළේ හිඳගෙන නැළවී තියෙනවා. මම එයාට කිව්වේ සේකර මාමා කියලා. ඔහු ඇත්තටම මාමා කෙනෙක් නොවුණත් මම හිතුවේ එහෙමයි කියලා.” රාජේශ්වරී දෙවුර ගැස්සුවාය.

“හොඳ මිනිහෙක්,...මට විශ්වාසයි,.”අප්පා නිතර නිතර පැවසුවා.” සාවිත්‍රී ඉහළට ඇද ගත් හුස්ම සැහැල්ලුවෙන් නැවත පිටකර හැරියාය.

“එයාට මොකද වුණේ?...එයාට දඬුවම් ලැබුණාද?”...සාවිත්‍රී ඇගේ කුතුහලය පිට කළාය. එවර රාජේශ්වරී තිගැස්මෙන් යුතුව සාවිත්‍රීගේ දෙපතුලේ සිට ඉස් මුදුන තෙක් දෑස් විසුරුවා හැරියාය. තම දියණිය තුළ එම පුරුෂයාගේ ලක්ෂණ කිසිවක් පවතින්නේ දැයි සොයා ගැනීමට ඇය වෙර දැරුවාය. සාවිත්‍රීගේ සැබෑ වේදනාව ගැන දුකට පත් රාජේශ්වරී අතීතයේ සිටම මුනිවත රැකගැනීම ගැන තමාටම දොස් පවරා ගනිමින් කතා කරන්නට වූවාය.

“එයා එල්ලිලා මැරුණෙ මෙතැන” රාජේශ්වරී ඇගේ කණට කොඳුරමින් පැවසුවාය. සාවිත්‍රී ආපසු හැරී ඇය පිටුපස ඇති බෑවුම් ප්‍රදේශය දෙස බැලීය. “අප්පා පසුදාම පොලිසියට දැනුම් දුන්නේ සේකර මාමා ගෙල වැලලාගෙන ඇති බවයි. වෙන මොකුත්ම කීවේ නැහැ.”

“ඇයි?”...සාවිත්‍රී නොසන්සුන් ලෙස විමසා සිටියාය.

“අප්පා ලැජ්ජාවෙන් දුක් වුණා...”රාජේශ්වරී පැවසුවේ මොට්ටැක්කිළියේ කෙළවරක් රැගෙන තම දෑසේ කඳුළු පිස දමමිනි.

කිසියම් හෝ අපකීර්තියකින් ඇයව ආරක්ෂාකර ගැනීමට තමා උත්සුක වූ බව තහවුරු කිරීමට රාජේශ්වරී වෙර දැරුවාය.

“සිද්ද වුණ දේවල් කියන්න මම කැමැති නැහැ. ඔයා හදාගන්න තංගමනී කැමැති වුණා.”ඇය පිටකළ සුසුමින් සාවිත්‍රී කිසියම් අපහසුතාවකට පත් වූවාය. එතෙක් අතරැඳි අත්වාරු රිට පසෙකට දමා රාජේශ්වරී මඳක් ඉදිරියට පැමිණියාය. ඇයට සමීප වී සාවිත්‍රීගේ අතක් අල්ලා ගැනිමට රාජේශ්වරී උත්සාහ කළත් සාවිත්‍රී සෙමෙන් සෙමෙන් ඉවතට ගමන් කරන්නට වූවාය.

“ආන්ඩවණේ ....මට කවුරුත්ම නෑනේ.”යැයි පවසමින් රාජේශ්වරී ඇය පසු පසින් කඳු බෑවුමේ ඉහළට නඟින්න පටන් ගත්තාය.

 

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ