කසළ සුවඳ

ඔක්තෝබර් 24, 2022

 

සතියේ කෙටි කතාව

 

විදේශිකයන් සමඟ පැමිණි රජයේ නිලධාරින් කිහිප දෙනකුම දුර සිට බලා හිඳිමින් එහි ඡායාරූප ගත්හ. විසල් මාර ගසට මුවා වී ඔවුන් දෙදෙනා එදෙස බලා සිටියේ කුතුහලයෙනි. අක්කර හත අටක පමණ භූමියක් වසා ගෙන කන්ද පැතිරිණි. හතරවැනි වියේ පසු වූ කමලනී ඒ අසල පදිංචි වූවෙකි. ඇගේ මව කමලනී අතහැර ජීවිතයෙන් සමුගත්තේ මෙයට වසර දෙකකට පෙරයි. දිගු කාලයක් මුළුල්ලේම හමන සාරවත් සුවඳ පෙණහලුවලට පුරවාගත් සෙවණැලි ජීවිත එදින කමලනී හා සංතියාගු වට කර ගෙන සිටියහ. කන්ද පාමුල තම බිරිය සිහිසුන්ව වැටී සිටි අයුරු සංතියාගු ආවර්ජනය කළේ කමලනී පාසලට ඇතුළත් කළ දිනයේදිය.

 

පාසල් කාලයෙන් පසු කමලනී කන්ද දෙසට දුව යන්නීය. ඒ මඟ අසල ඔහු බලා ඉන්නේ කන්දට යන එන පිරිස දෙසයි. ඔහුගේ නමේ මුලට බුලත්විට ඈඳුණේ බෝතල වෙළෙඳාමටත් පෙර සිටය. සවස් කාලයේ බොහෝ දෙනකු යුහුසුලුව තම වැඩකටයුතු අරඹන්නේ සංතියාගුගේ බුලත්විට රසයෙනි.

 

එදින කමලනී සමඟින් බසීර් කන්ද අසලට පැමිණියේය. බටහිර පැත්තේ ඇති යෝධ මාර ගසේ අතුපතර හිරු රැස් මුවාකර ඇති බැවින් දැඩි උණුසුමක් ළමුන්ට දැනුණේ නැත. මැදිවියේ ගැහැනු කෙනකු කළු සුරුට්ටුවක් තොල් අතර තබා එය දල්වා ගැනීමට ඔබමොබ යමින් ගින්දර ඉල්ලා සිටියාය. මිනිසකු ගිනි පෙට්ටියකින් කූරක් ඇද ඇය දෙසට ළං කළේය. එය දැල් වූ සැණෙකින් ඔහු ඇගේ පස්ස පැත්ත මිරිකුවේය. එවර ගැහැනිය පරුෂ වචනයෙන් ඔහුට බැණ වදින්නට විය. මිනිසා ඈතට දිව ගියේය. ඇය යළිත් මිනිසා පසුපස හඹා ගොස් ඔහුගේ පිටුපසට පා පහරක් ගැසුවාය. ඔවුන් පොරබදන්නට විය. අවට සිටියවුන්ගේ රළු කෑගැසීමේ ශබ්දයට ආහාර බුදිමින් සිටි කොකුන් රෑන එකවරම අහසට පියාසර කළහ. ළමුන් දෙදෙනාට එය ත්‍රාසජනක ක්‍රීඩාවක් සේ පෙනුණි. බොහෝ කලක් භාවිතයෙන් ඉවත්කර තිබු ලෝඩරය යට නිදා සිටි බල්ලන් තිදෙනෙක් බුරමින් පැන දුවන්නට වූහ. එසැණින් බසීර් ඇය සමඟින් වහ වහා පහළට දුව ගොස් මාර ගසට මුවා විය.

 

වේගයෙන් පැමිණි ට්‍රක් රථයේ රෝද ක්ෂණිකව කන්ද පාමුල නතරවිය. ඒ සමඟම කොකුන් රෑනක් ඒ මත වසා ගත්හ. කපුටන්ගේ ආක්‍රමණය පසුව එළඹිණි. පරිසරය වෙනස් විය. උසුළු විසුළු කරමින් සිටි ගැහැනුන් හා මිනිසුන් සමඟින් ඔවුන් දෙදෙනා ද ට්‍රක් රථය අසලට රොක් වූහ. කසළ ඉවතට ගත් මොහොතේම ඝෝෂාකාරී දර්ශනයක් යළි ඇති විය. කුසගින්නෙන් පෙළෙන කපුටන් මෙන් සියලු දෙනාම එය අවුස්සා බලන්නට වූහ. මියගිය මීයන් හැර වෙනත් ඕනෑම දෙයක් රැස්කර ගැනීමට ඔවූහු පෙලඹෙති. දිනපතාම ට්‍රක් රථය පැමිණෙන විට දී කමලනී සමඟ බසීර් ඒ අසලට පැමිණ නොඉවසිලිමත්ව බලා සිටින අයුරු රාජේෂ්ට සුපුරුදු දසුනකි.

 

එවන් අවස්ථාවල දී ළමුන් දෙදෙනාට උපකාර කරන්න ආනන්ද ඉදිරිපත් විය. ඔහු ළමුන් දෙදෙනා සමඟ කුලුපගව සිටින්නේ මන්දැයි රාජේෂ් කල්පනා කළේ වරක් දෙවරක් නොවේ. සමහරවිට එසේ කරන්නේ ළාබාලතම රැස් කරන්නන් දෙදෙනා ඔවුන් නිසා විය හැකි යැයි ඔහු අනුමාන කළේය. ට්‍රක් රථයේ පිටුපස එල්ලාගෙන එන බෑගයකින් ප්ලාස්ටික් බෝතල කිහිපයක් කමලනී හා බසීර් හට සමසේ බෙදා දීම ආනන්දගේ සිරිත විය.

 

අවරට යන හිරු කිරණ පැතිර යන දුම්රොටු අතරින් විහිදී අහස වර්ණවත් කර ඇත. බසීර් වමත දිගු කළේ ඈතින් දිස්වන පිට්ටු බම්බු දෙක කමලනීට පෙන්වීමටය. දුම්රියක නළා හඬ රැව් නැඟීය. සැණෙකින් ඔවුන් පහළින් ගමන් කරන දුම්රිය දෙසට දිගු කර ඔසවාගත් ගත් දෑත් වනන්නට වූහ. පෙනී නොපෙනී යන දුම්රිය දෙස කඳු මුඳුනේ සිට බලා සිටියහ. ඉහළට එසවූ ට්‍රක්රථයේ පසුභාගය යළි පහත් කිරීමෙන් අනතුරුව රාජේෂ් එතැනින් බැහැරව ඉදිරියට පැමිණියේය.

 

“උඩට යන්න එපා. උඹලට අසනීප වෙයි. පේනව ද ගෑස් පිටවෙන හැටි. මැරෙන්නත් පුළුවන්.”

 

ළමුන් දෙදෙනාට පවසමින් ඔහු තම බඳපටිය සකසන්නට විය. ඉතා වටිනා පෙනුමක් ඇති එහි සුළු සීරීමක් විය. වරක් ඔහු පැවසුවේ එය ඉතාලියේ නිපදවූවක් බවයි. එහි කුඩා සීරීමක් ඇති බැවින් හිමිකරු විසින් එය ඉවත දමා ඇත. ට්‍රක්රථය සංචාරක හෝටලයක් වෙත රැගෙන ගිය අවස්ථාවක ඔහුට එය වෙන්කර ගැනීමට හැකි වී තිබේ.

ට්‍රක් රථයෙන් බැහැර කළ ද්‍රව්‍ය අතරින් පාවිච්වියට ගත හැකි තරමක් හොඳ භාණ්ඩ වෙන්කර ගැනීමේ තරගය අතරතුර කමලනී මහත් උද්දාමයට පත් වූවාය. සොයාගත් ජල බෝතල් හා ප්ලාස්ටික් බෝතල කිහිපය ආපසු කන්ද දෙසටම ඇය විසි කර දැමුවාය. කමලනී දිව ගියේ පහළ පිහිටි මාර ගස දෙසටයි. අසලට පාවී ආ සිලිසිලි බෑගයකින් ඇය ඒවා පිස දමා බැලුවාය. ඉන් එකක් රැගෙන වම් කකුලට පැලඳීමට උත්සාහ කළාය. අනෙක ද පැලඳ ඇය වටපිට බැලීය. ගස වටේ රවුමක් ඇවිද ගියේය. සපත්තු කුට්ටම ඇගේ දෙපයට සුවපහසු බවක් ගෙන ආවේය.

 

ඇගේ හදවත සතුටින් ඉපිල ගියාය. එකවරම ඇගේ දෙතොල් ඇඹරී ගියේය. එකක ඉදිරිපස යාන්තම් විවරව තිබුණි. ඇය බිමට නැමී දෑතින් එතැන තදකර විවරය වැසීමට උත්සාහ කර බැලුවාය. නැවතත් ගහ වටේ ඇවිද යන්නට විය. දෙපා ළංකර තබා සපත්තු කුට්ටම දෙස බලා සිටියේය. කිහිප සැරයක් උඩ පැන්නාය. ඇගේ මුහුණ ප්‍රීතියෙන් බබළමින් තිබුණි. ඇය සැබවින්ම බලාපොරොත්තු සහගත වූවාය. ‘කවුද දන්නේ... ඔව්... එතැනම ඇති. කොහොම හරි සොයා ගන්නවා.’... ඇය මුමුණන්නට විය. කොතැනක හෝ මේස් කුට්ටම ද තිබිය හැකි බව ඇය සිතුවාය.

 

බසීර් ඇය සොයා පැමිණියේය. ඇය කරන දේ ගැන ඔහුට සිනහ ගියේය. එසැණින් කමලනී බොරු අමනාපවීමක් මවා පෑවාය. ඇගේ හැසිරීමට ප්‍රතිචාර දැක්වීමට බසීර් අකැමැති විය. තම මිතුරියගේ දෑස් අතේ ඇති අඹ ගෙඩි කිහිපය වෙත ආකර්ෂණය කර ගැනීමට ඔහු අසමත් විය. ඇය තම වුවමනාව බසීර්ට පවසා සිටියාය. කමලනී සපත්තු කුට්ටම ගලවා පොහොර බෑගයට දමා ගත්තාය. ඇගේ දොම්නස් සහගත මුහුණෙන් පවසන්නේ කුමක්දැයි බසීර් තේරුම් ගත්තේය. නැවතත් දෙදෙනාම කන්ද පාමුලට දිව ගියහ. ඇය දෑතින් කසළ ගොඩ අවුස්සන්නට විය. ඇගේ නළල හා කම්මුල් දිගේ ගලන දහඩිය පිස ගන්නට බසීර් කමිසය ගලවා දුනි. වරෙක ඇය පිටුපසට කෙළින් වී වටපිට බැලීය. තැනින් තැනට මාරුවෙමින් බසීර් සමඟින් විමසිලිමත්ව ඒවා සොයා බලන්නට වූවාය. ඔහු ට්‍රක් රථයේ පැති කණ්ණාඩියෙන් දුටුවේ ළමුන් දෙදෙනායි. ඔවුන්ගේ උත්සාහය දෙස මොහොතක් ආනන්ද බලා සිටියේය.

 

“එන්න අඹ කන්න.” රාජේෂ් ළමුන් දෙදෙනාට යෝජනා කළේය.

ඔහු කමලනීගේ අදහස දැන ගන්නට වෑයමෙන් කතාබහ කළේය. රාජේෂ් කුඩා පිහියක් එළියට ගෙන බසීර්ගේ අතේ වූ අඹයක් රැගෙන කැපුවේය. කුණු වී ඇති කොටස ඉවත් කළේය. ඉන් පසුව අඹය වටේටම රැස්සේය. කමලනී එහි දීප්තිමත් කහ පැහැති මතු පිට දෙස බලා සිටියාය. යළිත් ඔහු තවත් කොටසක් අඹයෙන් කපා දැමීය. මෙවර අඹ ගෙඩියේ කුණු වූ කොටස සම්පූර්ණයෙන්ම නැති වී ගියේය.

“ටිකක් කුණු වුණාට මොකද මේ පැත්ත හොඳා”රාජේෂ් පැවසුවේ අඹ කැබැලි දෙකක් කමලනී හා බසීර් වෙත දික්කරමිනි.

“රසයි නේද?”

“හ්ම්..රසයි”කමලනී සිනාසුණාය.

සතුටින් පිරි මුහුණින් ආනන්ද ඈ දෙස බලා සිටියේය. ඇය යළිත් තම පොහොර බෑගය තුළට මුහුණ යොමු කළාය. ඇය බොහෝවිට සිහින දකින්නේ මේස් කුට්ටම පිළිබඳව බව රාජේෂ්ට අවබෝධ විය. ඇගේ සිහිනයේ දී කමලනී දකින්නේ සපත්තු දෙක පැලඳීමෙන් ඇගේ දෙපා වඩාත් ලස්සන වන බවයි.

 

අඳුර වැටෙත්ම ළමුන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගමන් කළහ. සංතියාගු එළවළු සමඟ කරවල පිස තිබුණි. කමලනී පාන් කැබැල්ල වෙදාටත් වඩා සතුටින් කෑවේය. ආහාර පිසීම සඳහා පාවිච්චි කළ වළඳ සෝදා පිරිසුදු කර ඇය නිදාගැනීමට සැරසුණි. සංතියාගු දොඩවමින් ගෙමැද වැතිර සිටියේය. කමලනී තමා නිදන සමීපයේම සපත්තු කුට්ටම තබා ගෙන රාත්‍රියේ නින්දට වැටිණි. පසුගිය සෑම දිනකම කමලනී සපත්තු කුට්ටම දමාගත් පොහොර බෑගය ද රැගෙන කන්ද පාමුලට ගියාය. කුඩා දැරිය තවමත් මේස් කුට්ටම සොයන බව රාජේෂ්ට වැටහුණි. පසුදින සේවා ස්ථානයේ දී ඔහු ආනන්දව ඇමතීය.

 

“මේක කමලනීට දෙන්න”

“කීයක් වුණාද?”ආනන්ද විමසුවේය. රාජේෂ් සිනාසී හිස වැනීය.

තම කලිසමේ සාක්කුව තුළට ආනන්ද එය දමා ගත්තේය. රාජේෂ් ගේ හදවත කොතරම් කරුණාවන්තදැයි ඔහු කල්පනා කළේය.

“ඔව්... ඒ ළමයා අදත් බලාගෙන ඇති.”තම සහායකයාගේ මුහුණේ උතුරා යන සතුට ඔහුගේ ඇස් කොනෙන් යාන්තමින් රාජේෂ් දුටුවේය.

 

ඔවුන් එහි ළඟාවන විටත් පානීය ජලය රහිත ප්ලාස්ටික් බෝතල දුසිමක් පමණ ඇය සොයාගෙන තිබුණි. ඒ අතර සපත්තු කුට්ටම ද ආනන්ද දුටුවේය. බසීර් අත වෙනදා මෙන් පලතුරු නොතිබුණි. ආනන්ද රහසින්ම මේස් කුට්ටම රැගෙන කමලනීගේ පොහොර බෑගයට දැමුවේය. වහවහා දුව ආ බසීර් ඇගේ පොහොර මල්ලට එබිකම් කළේය. ඇය වික්ෂිප්ත වූවාය. කමලනී හා බසීර් මාර ගස දෙසට දිව යන අයුරු ඔවුහු බලා සිටියහ. ඇගේ දෙපා සපත්තු කුට්ටමෙන් සැරසී ඇත. කමලනීගේ සිනා හඬ පිපුරුම් හඬින් යටපත් විය. ඇය දෑතින් බසීර් බදා ගත්තාය. ඔවුන් දෙදෙනාම කන්ද දෙස හැරී බැලුහ. ට්‍රක් රථය මතට කන්දේ කොටසක් පෙරළී තිබුණි. අළු පැහැ දුම් රොටු අවට සිසාරා නැගෙන්නට විය.

මොහොතකින් ට්‍රක් රථය ගිනි ජාලාවකින් වැසී ගියේය. බසීර් සමඟින් යා යුත්තේ කොතැනකට දැයි කමලනීට සිතා ගැනීමට නොහැකි විය.