මාරුවීම

සතියේ කෙටි කතාව
ඔක්තෝබර් 31, 2022

 

ඇය මසකට රුපියල් අටදහසක් පමණ උපයා ගත්තේ දුම්රිය තුළ වෙළෙඳාම් කිරීමෙනි. බොහෝ දිනයන්හි සැන්දෑවේ කාර්යාලයීය දුම්රිය සේවයේම ඇගේ ගමන්වාරය ද යෙදී තිබුණි.

 

තරමක් උණුසුම් ජලයෙන් මුහුණ සෝදාගත් පසු ඉදිමුණු දෑස යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඇය බලාපොරොත්තු විය. කූඩය හිස මත තබාගත් ඇය පය ඉක්මන් කළාය. වෙනදා නොදකින කාන්තාවන් තිදෙනකු හිමිදිරියේම වේදිකාවට පැමිණ සිටියහ.

විමලා වේදිකාවේ කෙළවරට මීටර දහයක් පමණ මෙපිටින් සිටගෙන ඇගේ සුපුරුදු දුම්රිය එනතෙක් බලා සිටියාය. ඊට මීටර කීපයක් ඈතින් සිටි මැදි වයසේ පිරිමියා කාන්තාවන් දෙස වරින්වර හැරී බැලුහ. විමලා කාන්තාවන් තිදෙනා දෙසත් පිරිමියා දෙසත් හොරැහින් බැලුවාය. එම කාන්තාවන්ගේ කොණ්ඩා විලාසිතා හා වර්ණවත් ඇඳුම් පැලඳුම් ඔවුන් විනිශ්චය කර ගැනීම ඇයට අපහසු නොවුණි. මේ අලුයම පවා කාන්තාවෝ අව් කණ්ණාඩි පැලඳ සිටියහ.

දිගු සති අන්ත නිවාඩුවට පූජා නගරයට පැමිණි පිරිස් නැවත ගම්බිම් වෙත යාමට වේදිකාව මතට එක්රැස් වන්නට වූහ. මහව සිට වව්නියාව බලා යන දුම්රියෙන් රැගෙන ආ සුළඟ වේදිකාව පිසගෙන ගියේය. එසැණින් තම දෑස් දැවෙන බවක් විමලාට හැඟිණි. ඒ දුහුවිලි මුසු සුළඟ නිසාද? නැතහොත්.... පෙරදින රාත්‍රිය පුරා හැඬීමෙන් දැයි තේරුම් ගත නොහැකි විය. සෑම දිනකම නොවූවද සතියකට කිහිප සැරයක් අත්දකින චාරිත්‍රය ගැන ඇයට යම් නින්දා සහගතබවක් දැනුණි. මේ ජුගුප්සා ජනක ජීවිතය කෙදිනක හෝ ලෝකයා දැනගනු ඇතැයි විමලා සිතුවේ වරක් දෙවරක් නොවේ.

යාපනේ සිට කොළඹ කොටුව බලා යන ශීඝ්‍රගාමී දුම්රිය විනාඩි පහක් ප්‍රමාද වී කෙඳිරි ගාමින් අනුරාධපුරයට ළඟා විය. ඔබමොබ යන පිරිස අතරින් වේදිකාවේ ඉදිරියට ගිය විමලා මැදිරියකට රිංගා ගත්තාය. මැදිරියට ගොඩවීමේදී පළමුවැන්නා වීමේ භාග්‍යයට වඩා ඉක්මන් වීමේ අවශ්‍යතාවය ඇයට තිබුණි. කෙසේ හෝ උදෑසන දුම්රියට ගොඩවීමට හැකි වීම ඇගේ සතුටට හේතු විය. තලාව පසු වූ අවස්ථාවේ සිට ආසන දෙපේළිය අතරින් තෙරපී ලිස්සා යාමට ඇයට අරුමයක් නොවුණි.

අන් සංචාරක වෙළෙඳුන්ට වඩා ඇය තරුණය. ඇය යාන්තමින් ඉංග්‍රීසි වචන ගැළපුවේ දුම්රියේ ආගිය සංචාරකයන් සමඟින් කළ ගනුදෙනු නිසාය. දෙපස ආසන කොන් අල්ලා ගෙන සිටින ගැහැනුන් හා මිනිසුන් තම සිරුරු ප්‍රවේශම් කර ගැනීම සඳහා නිරන්තරයෙන් උත්සාහ ගත්තේ දුම්රියේ රිද්ම දරා ගැනීමට ඇති අසීරුව හේතුවෙනි. කූඩය තරමක් ඉහළට රැගෙන විමලා පය එසවූ සැණින් ඇයට කෙඳිරි ගෑවිණි. ඇයට වේදනාවක් දැනුණේ මිනිසුන් අතර තෙරපීම නිසා ද නැතහොත් රාත්‍රියේ විඳි අපහසුතාවට දැයි නොතේරුණි.

ඇය ඉදිරියෙන් වූ දෙවැනි පංතියේ මැදිරියට මාරු වූවාය. කාන්තාවන් තිදෙනා විහිළු තහළු කරමින් වඩා සැපපහසු ආසන මත හිඳගෙන ගමන් කළහ. එකියක වාඩිගෙන සිටියේ එක පයක් ඉදිරි පස අසුන මත රඳවා තබා ගෙනය. රැඳී සිටීමට තරම් වේලාවක් නොතිබුණ ද ඇය එතැන සිට වටපිට බැලුවාය.

“අපි වඩේ කමුද?” අසුනේ කෙළවර හුන් කාන්තාව යෝජනාවක් ඉදිරිපත් කළාය. එසැණින් විමලා ඇය දෙසට නැඹුරු විය.

“හතරක් රුපියල් පනහයි”

විදුරු කවුළුව අසල වූ කාන්තාව කෙහෙරැලි මුදා හළේය. විමලා දෙවරක් නොසිතා ඊළඟ මැදිරිය දෙසට පියවර තැබුවාය.

ඇය මසකට රුපියල් අටදහසක් පමණ උපයා ගත්තේ දුම්රිය තුළ වෙළෙඳාම් කිරීමෙනි. බොහෝ දිනයන්හි සැන්දෑවේ කාර්යාලයීය දුම්රිය සේවයේම ඇගේ ගමන්වාරය ද යෙදී තිබුණි. ඔහු රුපියල් පහළොස් දහසක් උපයා ගත්තේ මහව පිහිටි තොග ගබඩාවක සේවකයකු ලෙස වැඩ කිරීමෙනි. ඇය දැන හැඳින ගත් පසු කුමාර යෝජනා කළේ දුම්රියේ වෙළෙමෙන් ඉවත්ව වෙනත් වඩා හොඳ රැකියාවක් සොයා ගන්නා ලෙසයි.

අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට එය හොඳම ක්‍රමය බව ඔහුගේ අදහස විය. නමුත් ඇය වෙනත් ක්‍රමයක් සොයා ගත්තාය. එය ඔහුගේ ක්‍රමයට වඩා සරල විය. දිනක් ඇය ඔහු හා විවාහවීමට කැමැත්ත ප්‍රකාශ කළේ දුම්රිය ගමන් වාරයකදීය. ඔවුන්ගේ මාසික ආදායම රුපියල් විසිතුන් දහසක්තෙක් ඉහළ ගියේය. එහෙත් දෙවසරක් ගත වුවද ඔවුන්ට රුපියල් පන්සියක්වත් ඉතිරි කළ නොහැකි විය. ඔවුන්ට දරුවන් සිටියේ නැත. අරපිරිමැස්ම ඔවුන් අතරින් දිනෙන් දින පලා ගියේය. එහෙත් ඇය උත්සාහය අත් නොහලේය.

පෙර දිනයන්හි මෙන් තමා සමඟින් එම දුම්රියට ගොඩවන සුනීතා දෙවැනි පංතියේ මැදිරියේ සිට ඇය පසුකර යාමට පැමිණියාය. ප්‍රමුඛතාව තමාට නොලැබීම ගැන විමලා සමඟින් ඇය කලක සිටම උරණවී සිටියේය. ඇය එම අවස්ථාවේම සිය උකුළ ගස්සා විමලාව තෙරපා හැරීමෙන් ඇගේ ආධිපත්‍ය ද පෙන්වූවාය. සුනීතා තමා මෙන් සංවේදී කාන්තාවක් නොවන බව විමලා නිසැකවම වටහා ගත්තේ එදාය.තමාගේ ආදායම කෙරෙහි විමලාගේ ආගමනය අවහිරයක් බව සුනීතා කල්පනා කළාය. ඇය සිය කෙටි කෑම වර්ග රාශියක් දමා ගත් නිල් පැහැති ජම්බෝ කූඩය ආසන දෙපේළිය අතර හරස් කර තැබුවාය. වෙළෙඳාම තාවකාලිකව නවතා දැමූ විමලා මැදිරි දෙකක් අතර වූ දොර කවුළුවක් වෙත ගොස් හිඳගත්තාය.

මැදිරි දෙක අතර යාමට ඒමට අවස්ථාවක් ලදහොත් තම බලාපොරොත්තු ඉටුකරගත හැකි වන්නේ යැයි විමලාට සිතුණි. ඇය තම පසුම්බිය තුළට එබි බැලුවාය. විමලා ලබාගෙන තිබුණේ තෙවැනි පන්තියේ අවසර පතකි. එය දෙවැනි පංතියේ එකක් වූවා නම් සුනීතාගේ හිරිහැරවලට එරෙහි වීමට ඇයට හැකිවනු ඇත.

අඹන්පොළ දක්වා පැමිණ දුම්රිය නතර කළ සැණින් සුනීතා කවුළුවකින් හිස යොමා දෙපස බැළුවාය. වේගයෙන් අඩි තබමින් ඇවිද ගිය විමලා සිය කූඩය ඔසවා ගෙන දුම්රිය නියාමක මැදිරියට පෙර වූ මැදිරියට ඇතුළු වන ආකාරය ඇය දුටුවාය. හදිසියේම ආසන දෙපේළිය අවහිර කිරීම ගැන මිනිසුන් කිහිප දෙනකුම විමලාට බැණ වැදුණේය. සැණෙකින් සුවඳ හමන කෙටි කෑම ඉල්ලා බොහෝ අය ඇයට ආමණ්ත්‍රණය කරන්නට වූහ. පැයක් ඇතුළත කෑම සියල්ලම විකුණා අවසන් කරගත් පසුව ඇය මහව දුම්රිය පොළින් ඉහළට යන දුම්රියකට යළි ගොඩ වූවාය.

එදින සවස ඇය බොහෝ සතුටින් නිවෙසට පැමිණියාය. අවන්හලක් තුළ නිපදවන ලද දෙයට වඩා ගෙදර හැදූ ඇගේ කෙටි කෑම වර්ගවලට වැඩි ඉල්ලුමක් තිබුණි. ඇය ඒබව දැන ගත්තේ දිනපතා ගමන්වාරයන්හිදී කිහිපදෙනකු ම නැවත නැවත ඒවා විමසූ අවස්ථාවන්හිදීය. සමහර දිනයන්හි ඇගේ කෑම පෙර ඇණවුම් කරන ඔවුන්ගේ දුරකථන ඇමතුමකින් ඇගේ ඒකාකාරී ජීවිතයේ කුඩා සතුටක් ලැබුවේය. කුඩා නිවෙසේ දොරට තට්ටුකර හඞින් ඇය නැඟි සිටියාය. මුව පුරා විසිරි පුළුල් සිනහවකින් ඇය දොර විවර කළාය.

“මොකද? අද.. අද.. ආ.. ලොකු සතුටකින්. අදත් උඹේ ප්‍රේමවන්තයා හම්බවුණාද?”

ඇය කිසිවක් නොපැවසුවේ බීමතින් සිටින ඔහු සමඟ වාද නොකිරීමට ඇය තීරණය කර තිබුණ බැවිනි. ඇය අඹන්පොළදී දුම්රියෙන් බැස යම් ස්ථානයකට රහසිගතව ගිය බවට ඔහු චෝදනා කළේය. රැකියාවට යන සාමාන්‍ය මගීන්ගෙන් හා මිත්‍රශීලී දුම්රිය පරීක්ෂකවරුන්ගෙන් ඇයට ලැබුන සහාය පිළිබඳව විමලා පැහැදිලි කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. කුමාර තමා ලද තොරතුර මත පූර්ව නිගමනයකට එළඹ ඇතැයි ඇයට සිතුණි.

“උඹ කට පියාගෙන ඉන්නෙ මම දැනගත්ත නිසා නේද?”

ඔහු සිතුවේ ඇයගේ නිහඬබවින් ඔහුගේ චෝදනාව තහවුරු වන බවයි. ඔහුව හසුරුවා ගැනීමට හොඳම ක්‍රමය එය නොවිය හැකි බව විමලා තේරුම් ගත්තාය. එහෙත් විරෝධතා දැක්වීමට කාලයක් නැතිබව නැවතත් ඇයට වැටහුණි. එළඹෙන උදෑසන අලෙවි සංචාරයට යාමට පෙර ඉදිරි සතියට ලබා ගත යුතු දෑ මතකයෙන් ගණනය කිරීමට පටන් ගත්තාය. වරින්වර ඉස්මතු වන ඇගේ ඉකිබිඳුම ගණනය කිරීම්වලට බාධා කළේය.

ඇය බලාපොරොත්තු වූයේ ඔහු තවදුරටත් එම භාව ස්වරූපයෙන්නොසිටින බවයි. නාද වූ ඇගේ ජංගම දුරකථනය කෙරෙහි ඔහු තුළ වූ කෝපය ඇයට එරෙහිව යළි ඉස්මතු විය. ඇය සතුව තිබූ දුප්පත් දුරකථනය පොළව මත කැබලිවලට විසිර ගියේය. එයට කිසිදු විරෝධයක් නොපෑ ඇය ඔහුට ආමන්ත්‍රණය කළාය.

“කෑම ලෑස්ති කළා......ඇවිත් කන්න....”

විමලා තැම්බූ හැලප සිසිල් වීමට තබා, වඩේ සෑදීමට පිටි ඇණුවාය. ඇගේ කුඩා සිලි කවර වලට බැදපු රටකජු පුරවා ගැට ගැසීම ආරම්භ කළේය. එය රාත්‍රියේ කරන පළමු පිරවීමයි. එලෙස ඇය අවම වශයෙන් දුසිම් තුනක්වත් නැවත පිරවීම සිදු කරයි. කුමාර කිසිවක් නොදන්වා කුස්සිය වෙත පැමිණ සිය දෑතින් ඇයව බදා ගත්තේය. විමලා කැමැත්තකින් තොරව ළිපට යොමු කළ ගින්දර නිවා දැමීය. ඔහු ඇයව මුළුතැන්ගෙයින් කාමරයට ඇදගෙන ගියේය. නිසැකවම සෑම රාත්‍රියකම බිරියක් ලෙස ගෙවිය යුතු දේ ගෙවීමෙන් පසු, ඇය සිය කෙටි ආහාර සැකසීම ඇරඹුවාය. උදෑසන නැවුම් වාතය ස්පර්ශ කිරීමට ඇය භාග්‍යවන්ත විය. එහෙත් ඇගේ මුහුණේ සෞම්‍ය පලා ගොස් ඇති වගක් ඇයට නොතේරුණි.

එළඹි උදෑසන මැදිරියට ගොඩ වූ විමලා හොරැහින් බැලුවේ සුනීතා දෙසයි. ඇගේ හිරිහැර මේ මැදිරියට පමණක් සීමා විය යුතු බව ඇය සිතෙන් තර්ක කළාය. ඇත්තෙන්ම තුන්වැනි පන්තියේ මිනිසුන් ලෙස ඔවුන්ව ගැරහුමට ලක්වී ඇත්තේ මේ ලක්ෂණ නිසා යැයි විමලා සිතුවේය. හදිසියේම සුනීතාගේ දෑස් විමලාගේ මුහුණේ සිට කූඩය මත වූ දෑත තෙක් දිව ගියේය. ඒ බැල්මෙන් විමලා විපිළිසර වූවාය. එහෙත් ඇගේ දෑතෙහි නිල් පැහැ සලකුණු ගැන විමලා ලැජ්ජා නොවූවාය. අසතුටින් පිරී ඇති සුනීතාගේ ජීවිතයට වඩා තමාගේ මුහුණ පැහැපත් යැයි විමලාට හැඟුණි.!

“ඔයාට මේ කෑල්ලෙත් විකුණන්න ආසයි ද මැඩම්...?”

තමාට පහරදීමට මෙන් විමලා ඈ දෙස බලා සිටිනු දුටු සුනීතා ඇගෙන් විමසුවාය.

එම වචනය විමලාගේ අපැහැදිලි මනස විනිවිද ගියේය. සමහරවිට එය තමාට ළඟා කරගත යුතු තත්ත්වය නොවිය හැකි වුවද යම් ගෞරවයක් ඒ තුළ ඇතැයි විමලා සිතුවේය. කථාබහ ඇදීයාම හේතුවෙන් වෙනදා නැති සුහදතාවක් දෙදෙනා තුළ ගොඩ නැඟුණි.

“හැබැයි. මටත් සලකන්න ඕනෑ..හරිද?.”

එයින් සතුටට පත්වූ විමලා ඉස්සර විය. එතැන් සිට මිනිත්තු තිහක් ඇතුළත ඇගේ කෙටි කෑම විශාල ප්‍රමාණයක් විකුණා ගැනීමට ඇයට හැකි විය.

“මම දන්න මැඩම් කෙනෙක්ගෙ ගෙදර වැඩට කෙනෙක් සොයනවා.” ඇය යළිත් වරක් විමලා වෙත පැමිණ පැවසුවාය.

කුමාරගේ හිරිහැරවලින් අත්මිදීමට මගක් පෙනෙන්නට ඇතැයි ඇයට සිතුණි.

“මැඩම් ඔයාගෙ කෑමවලට කැමති වෙයි... බසවක්කුලම ළඟ රෙස්ටුවරන්ට් එකකුත් කරනවා. ඒකෙ වැඩ කරන්නත් ඔයාට පුළුවන්.....”

ඇගේ කෑමවල රසය සුනීතාගේ දැස තුළින් විමලා දුටුවේය.

“අපි මේ කැලෑසියෙන් කොහොම හරිගොඩ යන්න ඕනෑ කෙල්ලේ.” විමලාගේ කූඩයට එබිකම් කරමින් සුනීතා පවසා සිටියාය.

ඒ කියමන තුන්වැනි පංතියේ මැදිරිය ගැන පමණක් නොවන බව විමලා තේරුම් ගත්තේ මැදිරි දෙක අතරින් මාරුවන මොහොතේය.