අමුතු ගමන

නොවැම්බර් 7, 2022

 

 

හැමදාමත් මම කලාවට ආදරෙයි. පාසලේ සංගීත කාමරය තියෙන්නෙ ක්‍රීඩා පිටිය කෙළවරේ. පන්ති කාමරවලට ශබ්දයෙන් බාධා නොවන ලෙස මනා ස්ථානගත කිරීමක්. නිදහස් කාලපරිච්ඡේදයක නිකමට වගේ මාත් සංගීත කාමරයට ගොඩ‍වෙනවා. මම වගේ ම නවක ගුරුතුමියත්, ස්වේච්ඡා ගුරුතුමියත්, පාසලේ දිගු කලක් සේවය කර මාරුවීමක් බලාපොරොත්තුවෙන් සිටින ගුරුතුමියත් මාව ආදරෙන් පිළිගන්නවා.

 

සමහර සහන කාච්ඡේදවල සංගීත කාමරය නිදහස් නම් මට හිමි පන්තියේ ළමුන් එක්ක ම සංගීත කාමරයට යනවා. සංගීතයට මුසු වුණු ගීතයක් දෙකක් කට්ටිය ම එකට ගායනා කරලා ඒවායෙහි පද රචනය, සංගීතය ආදියට එක් වූ විද්වතුන් ගැනත් කියා දීලා පුංචියට විචාරයක් කළාම දවසේ හිත සැහැල්ලු වෙන්න ඒක අපි කාටත් උපකාරයක් වෙනවා. හුරුපුරුදු ගුරුතුමිය නවක සංගීත ගුරුතුමියට සියල්ල පවරා වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා වෙනත් පාසලකට යනවා. අලුත් සංගීත ගුරුතුමියත් ස්වේච්ඡා ගුරුතුමියත් මගේ හොඳ ම මිතුරියන් වෙනවා. හැකි හැම වෙලාවක මම එතැන. එයාලගේ සංගීත කටයුතුවලට උදව් කරනවා.

 

ඔය අතරෙ ක්‍රීඩා උත්සවය එනවා. අලුත් පත්වීම් ලබා පැමිණි සැලකිය යුතු ගුරු පිරිසක් මේ වනවිට පාසලේ සේවය කරනවා. විවිධ පළාත්වලින් ආපු විවිධ අත්දැකීම් ඇති ඒ අය අතරට වගකීම් බෙදෙනවා. සංගීත ගුරුතුමියත් එක්ක පාසලේ තූර්යවාදක කණ්ඩායම සකස් කරන්න, එහි ඇඳුම් නිර්මාණය කරන්න, පුහුණු කරන්න මමත් එකතු වෙනවා. මා උගත් දේ දරුවන්ට දෙන්න අවස්ථාව ලැබීම මට ලොකු සතුටක්. ඒ අතර ම සරඹ සංදර්ශනය පුහුණු කරන්න නර්තන අංශයටත් සහාය වෙනවා. කාර්යාලයීය රැකියාවට වඩා මේ විවිධ වයස්වල දරුවෝ එක්ක කරන වැඩ හරි ම විවිධයි. තරමක පුහුණුවීමක් අවසානයේ පිරිසෙන් සීමිත කොටසක් තූර්ය වාදක කණ්ඩායමට තෝරා ගන්න සිදු වෙනවා. ඒක තමයි අමාරුම. වාද්‍ය භාණ්ඩවලට තෝරා ගැනීම්වලින් පසුව නායිකාවක් තෝරා ගත යුතුයි.

 

හැම දෙයක ම නායකත්වය අරගෙන වැඩ කළ දියණියක් මුල සිට ම හිටියා. ඇය හැඩකාරී. බොහෝ දෙනා ඇයව නිල නොවන මට්ටමෙන් තෝරා ගෙනත් තිබුණා නායිකාව ලෙසට. ඒත් කැමැති ඕනෑම කෙනකුට 'නායිකා' තනතුරට ඉදිරිපත් වෙලා තම හැකියාව පෙන්වන්න හැකි බව අප දැනුම් දෙනවා. අවසාන තීරණය හැකියාව ඇති කෙනාට යි.

ඉතින් අපේ හැඩකාරිට මුලින් ම අපි අවස්ථාව දෙනවා. වම් කකුලට වම් අතමයි ඉදිරියට යන්නේ. ඒක අමුතුම ගමනක්. "පුතේ වම් කකුලයි දකුණු අතයි... ඕනෑවට වඩා හිතන්න එපා. ඔයා සාමාන්‍යයෙන් ඇවිදින විදියට මෙතැන ඉඳලා අතැනට යන්න... හා... දැන් ටිකක් 'ස්මාට්' විදියට එන්න..." ආයෙම වම් කකුලට වම් අත එක්ක අමුතු ගමන. මොන විදියකටවත් වෙනස් කරන්න බෑ. අනෙක් අයට වඩා වැඩි වේලාවක් ඇය වෙනුවෙන් ලබා දෙන්නේ ඇය මෙතෙක් කළ සේවය නිසාමයි.

"දැන් මොකද කරන්නේ..." ඇයට තවත් වෙලාව දිය නොහැකියි. සෙසු දැරියන් එක එක්කෙනා තම හැකියාව ඉදිරිපත් කරනවා. ඒ අතරින් හොඳම ගමන, ඒ කියන්නෙ 'ස්මාට් ගමන' නායකත්වයට තේරෙනවා. නොහිතපු දැරියක්. තීරණය මගේ. 'අරයා ලස්සනයි එයාට වඩා...' සංගීත ගුරු මිතුරිය කනට මුමුණනවා.

 

"ලස්සනට වඩා අපරදිග තූර්යවාදක කණ්ඩායමේ නායකත්වයට තියෙන්න ඕනෙ මනා ගමන් විලාසය. ඒ වගේම පෞරුෂත්වය. නායකයා දැක්ක ගමන් සමස්තය ගැන හොඳ තක්සේරුවක් දකින කෙනා තුළ ඇති වෙන්න ඕනෙ..."

සංඝමිත්තාවෙ දි සුරූපී ගැහැනු ළමෝ අතරින් "ස්මාට් ගමනක්" ම තියෙන මගේ මිතුරියක් නායකත්වයට තෝරා ගත් 'නෙවිල් සර්' මගේ ගුරුතුමා මතකයට නඟා ගනිමින් මම එලෙස සංගීත ගුරු මිතුරියට කියනවා.

 

ගුරු විවේකාගාරයේ දීත් "හැඩකාරී" ගැන කියැවෙනවා. "එයා ලස්සනයි" එයාව නායකත්වයට ගන්න මං ගත්තු උත්සාහය දැනිලා මමත් සුසුමක් හෙළනවා. "ඇයි එයාව ගත්තෙ නැත්තෙ? දන්නවා ද එයා කාගෙ කවුද කියලා...? අහවල් පවුලේ..." එහෙමත් කියැවෙනවා ඇහෙනවා. "පවුල් පසුබිම නොදැන වුණත් මම කළේ හරි දේ. මේ හැමෝම අපේ දරුවෝ... රටේ දරුවෝ... එච්චරයි." මගේ හිත මටම කියනවා ඇහෙනවා. අදට ඇති නේද...?

මං ගුරුතුමී,
කුමාරි ලියනගේ