මට මැරෙන්න හිතුණ වාර අනන්තයි

හඬ ප්‍රභාවයෙන් රටක් හිත්ගත් මනෝජ් තරුණී ට කී ජීවිතයේ රහස්
නොවැම්බර් 28, 2022

 

මගේම සින්දුවක් කරන එක තමයි පුංචි මගේ ලොකුම හීනය

මට නැවත ජීවිතය දුන්නේ දෙවැනි අම්මයි, තාත්තයි

ඔහුගේ උස අඩි දෙකහමාරකි. ඒ පුංචි උසට වඩා ඔහුගේ හදවත බොහෝ ගැඹුරුය. එලෙසම හැකියාව හා දක්ෂතාව අපිරිමිතය. පසුගිය සතියේ සිරස The voice වේදිකාවම කඳුළින් තෙත් කළ ගී තරුව බවට පත් වූයේ ද මේ අරුමැසි ගී තරුවයි. ඔහුගේ හැකියාව දුටු voice වේදිකාව පමණක් නොව මුළු රටේම ආදරය දිනාගත් ගී තරුව බවට පත් වූයේ ද ඔහු වේදිකාවෙන් බැස යන්නටත් පෙර ය. මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුගේ හැකියාව දැකගත් සංඛ්‍යාව මිලියන දෙකකටත් වැඩි වී ඇත්තේ The voice වැඩසටහන නැරඹූ විශාලම සංඛ්‍යාව බවට වාර්තාවක්ද තබමිනි.

මනෝජ් සංජීව............මේ පුංචි මිනිසා එක්වරම සිරස The voice වේදිකාවෙන් මතු වෙන්නේ පසුගිය සතියේ දී ය. එහෙත් ඔහු එලෙසින් වේදිකාවට ගොඩවෙන්නට පෙර වේදිකාව පසුපසින් වූ ඔහුගේ ජීවිත කතාව ඉතාම සංවේදී වූ එකකි. මේ සංවේදී කතාව අසන්නට අප ඔහු සොයා ගියේ වැඩසටහන අවසන් වී පසු දිනමය. The Little peple Association හි සභාපතිනිය වූ දෙහිවල දර්ශනී නානායක්කාර මහත්මියගේ නිවෙසට අප ළඟා වන විට මද්දහනට ළඟා වී තිබුණි. නිවෙසේ සීනුව නාද වී මොහොතින් දොර අරිනවාත් සමඟම අප අසලට පැමිණියේ මේ පුංචි කොල්ලාය.

“ආ............එන්න එන්න අපිට සිරසේ වරුණ කරුණාරත්න සර් කිවුවා. ඔයාලා එනවා කියලා”

“ඉතින් කොහොමද?..........

ඉතාම ළෙන්ගතු ලෙසින් පිළිගත් මනෝජ් සමඟ The Little peple Association හි සභාපති දර්ශන මහත්මියත්, ලේකම් ජනෝජ් චන්දිමාල් මහතාත් නිවෙසට කැඳවාගෙන ගියේ අපි පිළිසඳරට මුල පුරමිනි.

මනෝජ් දැන් ඔයා ගැන මුළු රටම දන්නවනේ....මුලින්ම කියන්නකෝ ඔයා ගැන පවුලේ විස්තර ගැන.

අපි පදිංචි වෙලා ඉන්නේ වේයන්ගොඩ. මගේ පවුලේ හය දෙනෙක් ඉන්නවා. අයියලා දෙන්නයි, අක්කලා දෙන්නයි......මල්ලියි, මමයි ඉන්නේ..තාත්තා පුංචි රැකියාවක් කරනවා. මම පාසල් ගියේ වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයට. හැබැයි පහේ පන්තියට විතරයි යන්න ලැබුණේ....

මට පහේ පන්තියට යනකොටම ඉගැනීම එපා වුණා. පන්තියේ ළමයි කොන් කරන්න ගත්තා. මානසිකව වැටිලා ඉස්කෝලේ යන්නම බැහැ කිවුවා.

ඊට පස්සේ ජීවිතයේ තනි වුණා. මානසිකව වැටිලා පාසල් යාමත් එපා වෙලා ඉන්නකොට තමයි මට සර්කස් කලාව හම්බ වෙන්නේ.

 

සර්කස් කලාව...........ඔයාගේ ජීවිතේට හුඟක් අත්දැකීම් ලැබෙන්න ඇති නේද?

අපෝ ඔව්....මම සර්කස් කලාවේ අවුරුදු හයක් විතර හිටියා. ජිම්නාස්ටික් කළා. කොමිට් අයිටම්, ගිනි සංදර්ශන මේ හැම දෙයක්ම කළා.....හැබැයි ටික කාලයක් යනකොට මේ කලාව මට එපා වුණා. ඒ කලාවේ ඉන්න මිනිස්සු හින්දා මට එපාම වෙලා තිබුණේ. ඔවුන් මගෙන් ප්‍රයෝජන ගත්තා. මට මොකුත් නැතුව ගියා. මාව ඉස්සරහට දාලා ඒ මිනිස්සු ගොඩගියා. මම තනි වුණා. මට සර්කස් කලාව එපාම වෙලා තමයි අයින් වුණේ.

 

සර්කස් කලාවේ ඔයාට හොඳ හොඳ අත්දැකීම් ඇති නේද?

මම කාලයක් ගිනි සංදර්ශන කළා. ඒ කරනකොට මාව පිච්චිලා මාසයක් විතර සර්කස් එකේම නැවතිලා සිටියා. මාව කවුරුවත් බැලුවේ නැහැ. මගේ කට පිච්චුණා. මගේ හැකියාවට මිනිස්සු ගෙවීමක් කළේ නැහැ. ඊට පස්සේ තමයි මොකුත්ම නොකර ගෙදරට වෙලා හිටියේ.

එතකොට මනෝජ් ගීත කලාවට එක් වුණේ කොහොමද?

මෙහෙම ඉන්නකොට තමයි මට මගේ දෙවැනි අම්මයි තාත්තායි හම්බ වෙන්නේ. ඒ මම වගේම උස නැති දර්ශනී නානායක්කාර නෝනයි, ජනේෂ් චන්දිමාල් මහත්මයයි දෙන්න. කියන්න වචන නෑ. මගේ දෙවැනි අම්මාම තමයි දර්ශනී මැඩම්. තාත්තා වගේ ලේකම් ජනේෂ් මහත්තයා. මගේ අම්මයි තාත්තාටයි පස්සේ මගේ ජීවිතේ වෙනස් කරන්න අඩිතාලම දැම්මේ මේ දෙන්න. මට සිංදු කියන්න පුළුවන් වුණේ දර්ශනී මැඩම්ගේ උත්සවයකදී මම නිකම් සිංදුවක් කිවුවා. මම ප්‍රැක්ටිස් වුණේ ෆෝන් එකෙන්. කිසිම දෙයක් තිබුණේ නැහැ. එදා මගේ සිංදුවට පුදුම ප්‍රතිචාරයක් ලැබුණේ. එයින් පස්සේ තමයි ගීත කලාවට එන්න මට අවස්ථාව උදා වුණේ. ජීවිතේ වැටුණු තැන් අනන්තයි. මේ දෙන්න නොසිටින්න මම ජීවිතය නැති කරගෙන ඉවරයි. සීයට සීයක්ම මම ජීවිතය නැති කර ගන්න ගිය තරුණයෙක්. නමුත් කොහොම හරි වාසනාවට ජීවිතය ගොඩ එන්න මේ වැඩසටහනට එන්න ලැබුණා.

දැන් ඉතින් මනෝජ් කොහොම හරි ගමනක් ආවානේ. කොහොමද ඉදිරි සැලැස්ම.

මම voice වේදිකාවෙන් ඉවත් වුණාට මට රසිකයෝ ආදරය කරන බව දන්නවා. ඒ නිසා ගීත කලාවෙන් ඉදිරියට යෑම තමයි මගේ හීනය. තරගයෙන් ඉවත් වීම ගැන මට කිසිම දුකක් නැහැ. මම රටටම පෙන්නුව අපි වගේ සමාජයේ පුංචි මිනිස්සුන්ටත් හැකියාව ති‍ෙයනවා කියලා. අපිට මොන ක්ෂේත්‍රයකින් හරි සමාජයේ ඉඩක් තියනවා කියලා පෙන්වන්න ලැබීමත් ආඩම්බරයක්. දැනටමත් මාව රටම දන්නවානේ. ඒ හොඳටම ඇති. මට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නත් ආසාවක් තියෙනවා. මට දැන් වයස අවුරුදු 21 යි. ඒ වුණාට මේ ටික කාලෙට පුදුම අත්දැකීමක් සමාජයෙන් ලැබුණේ. මිනිස්සු කියන්නේ කවුද කියලා ඉගෙන ගත්තා. ඒ අතීතය මතක් කරන්නවත් මම අකැමැතියි.

සෑම සමාජයකම ජීවත් වුණා. ඒත් ඒ කිසි දෙයකට යොමු වුණේ නැහැ. අපි උස නැති වුණාට අපට හරිම වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා තියනවානේ. මගේ එකම බලාපොරොත්තුව මගේ අම්මටයි තාත්තාටයි බරක් නොවී ඒ දෙන්නත් බලාගෙන මම මගේම කියලා සිංදුවක් කරලා සමාජයට වැඩදායි, සමාජයට බරක් නොවෙන පුද්ගලයෙක් වීම. ඒ මට හොඳටම ඇති. ඒක ලොකු ගායකයෙක් වෙනවාට වැඩිය වටිනවා කියලා මට හිතෙනවා.

මනෝජ් සංජීව..........මේ අපේම තරුණයෙකි. ඔහු උපතින්ම උස නැතිව ඉපදුනත් ඔහු දක්ෂයකු බව මුළු රටටම හෙළි කර හමාරය. මනෝජ් වැනි තවත් දක්ෂ තරුණ තරුණයන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ හෙට දිනයේ බිහිවෙන්නට ඉඩ බොහෝය. ඒ ඉඩ හසර වෙනුවෙන් කදිම වේදිකාවක් තනා දෙන්නට අපිරිමිත කැපවීමක් කරන්නේ ‘The little peple Association’ නමැති සංගමයයි. එම සංගමයේ නිර්මාතෘ දර්ශනී නානායක්කාර මහත්මියගේ අතිවිශාල කැප කිරීම හා ධන පරිත්‍යාගය නිසාම එම සංගමය දැන් විශාල කාර්යය සිදු කරන ව්‍යාපෘතියක් බවට පත්වී තිබේ. අපට ඒ ගැන පුංචි සටහනක් තැබුවේ එම සංගමයේ නිර්මාතෘ දර්ශනී නානායක්කාර මහත්මියයි.

“ඇත්තටම මම හෝටල් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළට ආවේ සෑහෙන කට්ටක් කාලා. පුංචි මිනිස්සු හැටියට අපේ සමාජයේ තිබුණු අභියෝග ජය අරගෙන තමයි මම මේ සංගමය විශාල උත්සාහයක් අරගෙන නිර්මාණය කළේ. මට පාසල් ජීවිතයේදී ලැබුණු අමිහිරි අත්දැකීම් එක්ක තමයි සම තැන ලබා ගැනීමේ අරමුණින් මේ සංගමය හදන්න මුල පිරුවේ. අපි 2019 තමයි මුලින්ම සාමාජිකයො 25 දෙනකුගෙන් මුලින්ම පටන් ගත්තේ. දැන් අපේ සංගමයේ 400 පමණ සාමාජික පිරිසක් ඉන්නවා. මේ සංගමය ඇමෙරිකාවේ Little peple’s සංගමය සමඟ සම්බන්ධ වුණා.

අපට මේ සංගමය ලියාපදිංචිය කිරීම පවා විශාල අභියෝගයක් වුණා. මගේ පුද්ගලික වියදමින් තමයි මේක ගොඩනැඟුවේ. අපේ පළමු සංවත්සරය තිබ්බේ 2019 වර්ෂයේදී. අපි ගැන තවම නිසි සංගණනයක් අපේ රටේ කරලා නෑ. මම හිතන්නේ අපි වගේ හය හත්දහසක් අපේ රටේ ඉන්නවා. ඇත්තටම අපි ආබාධිතයෝ නොවෙයි. නමුත් උස නිසා සමාජයේ කටයුතුවලදී අපට ගැටලු මතු වෙනවා. මනෝජ්ට ආබාධිත දීමනාව ඉල්ලුවාම දෙන්න බැහැ කිව්වා. මේ වගේ තත්ත්වයක් තමයි අපට තියෙන්නේ. ඇත්තටම අපට සමාජයේ පිළිගැනීමක් විතරයි අවශ්‍ය. අනුකම්පාව නෙවෙයි. අපිට පොදු ප්‍රවාහන සේවයේ යන්න අපහසුයි. නමුත් පිටරටවල අපි වගේ අයට විශේෂ සැලකිල්ලක් තියනවා. අපේ සාමාජිකයන්ට පුදුම අත්දැකීම් රාශියක් තියනවා.”

මේ සුහද පිළිසඳරේදී මනෝජ් ගැන අපට තවත් තොරතුරු බිඳක් පවසන්නට එක් වුනේ The little peple Association හි ලේකම් ජනේෂ් චන්දිමාල් මහතා. ඔහු මනෝජ් ගැන සඳහන් කළේ මෙවැනි අදහසකි.

“අපට මනෝජ් සංජීව හමු වුණේ අපේ සංගමයේ උත්සවයකදි. මම මුලින්ම voice වැඩසටහනට ඉදිරිපත් කරන්න ඒ වැඩසටහනේ නිෂ්පාදක වරුණ කරුණාරත්න මහත්තයා හම්බ වුණා. ඔහු නිසා තමයි මනෝජ්ට මේ තැන ලැබුණේ.

හැබැයි මේ වැඩසටහනේ විනිශ්ච මණ්ඩලයේ නීති හරිම තදයි. ඒ නිසා තමයි මනෝජ්ට මේ අවස්ථාව අහිමි වුණේ. මේ කිසිම කෙනෙක් එක්කෙනාට එක්කෙනා පෙන්නන්නේ නැහැ. එදා තරගය දවසේ මනෝජ් Ac room එකක තමයි දවල් ඉඳලා දවසේම ඉඳලා තියෙන්නේ. මේක එයාට අමාරු වෙලා දරාගන්න බැරිව කටහඬ වෙනස් වුණා. ශෂිකා නිසංසලා ඇඬුවා.

මෙයා ආසා කරලා තිබුණේ චාමර රණවකයි. චාමර වීරසිංහගේ සිංදුවලට විතරයි. ඒ ගීතවලින් තොර ගීතයක් දන්නේ නැහැ. වරුණ මහත්තයා කිව්වා තරගකාරිත්වයක් දෙන්න නම් හොඳ ගීත ටිකක් පුහුණු වෙන්න කියලා. අපි දර්ශනී මහත්මිය ජීවන් හඳුන්නෙත්ති මහත්මයාට කියලා මෙයාව පුහුණු කෙරෙව්වා. ඒකෙන් තමයි සංජීව එක් ලක්ෂ ගණනින් අවසාන වටයට ආවේ. මම සංජීවට හැම වෙලාවෙම කියන්නේ වේග රිද්ම වුණත් කමක් නැහැ. අර්ථවත් සිංදුවක් කියන්න කියලා. මේ වගේ තරගයකදී ඒක වැදගත්. දර්ශනී මහත්මිය දැන් සංජීවට කටහඬ පුහුණු කරන ගුරුවරයෙක් හොයනවා වේයන්ගොඩ අවටින්. මෙයාට හොඳ පුහුණුවක් ලබාදීම තමයි අපි දෙන්නගෙම උත්සාහය.

මෙලෙසින් අපගේ සුහද පිළිසඳරට බොහෝ වේලා ගතවී තිබුණි. කැමරා කාච සටහන් අතරට දර්ශනී මහත්මියගේ පුතුන් තිදෙනාද එක්වූයේ අපේ හිතවත්කම හා හමුවීම තවත් සමීප කරගනිමිනි.

 

ඡායාරූප

ශාන් රූපස්සර