ලංකාගම පාරදිගේ දිව්‍යලෝකෙ යන්න එන්න

දෙසැම්බර් 5, 2022

 

ඔබේ සංචාරක මඟපෙන්වන්නාගේ නිසි අවසරයකින් තොරව ජල තරග සමඟ හාදවීමට නොයන්න.එය අනතුරකට අතවැනීමක් බව තරයේ මතක තබා ගන්න

 

එය පටු දිගු අත්‍යාලංකාර මාවතකි.මීවන වන වදුලෙන් වැසුණු මාරාන්තික වංගු සහිත මේ කඳුකර දුෂ්කර සුන්දර මාවත විටෙක මීදුමෙන් වැසෙන්නේ මඟ දුර ගෙවන්නා මංමුළා කරමිනි.

බිය නොවන්න.මේ මාවත ඔබට කිසිවිටෙකත් අනතුරක් සිදු කරන්නේ නැත. ඉඳහිට මඟ මුණගැසෙන නිරහංකාර අව්‍යාජ ගැමියකුගේ සුන්දර සිනහවකින් සංග්‍රහ ලබන ඔබ සුසිනිඳු පිහාටුවක්වන් සුමට සුවදායක මඟට තව මොහොතකින් පිවිසෙනු ඇත.

ලංකාවම මේ මඟ පිළිබඳ මීට කලකට පෙර කතාබහ කරනු ලැබීය. ඒ කතාව මෙතනට අදාළ නැත.ලංකාගම යැයි කියූ පමණින් ලංකාවම දන්නා මේ සුන්දර මාවත කෙළවර අද අපේ ගමනාන්තයයි.

මේ සිරි රිසි ලෙස විඳිනු පිණිස ඔබ කොයි දෙසකින් පැමිණියද නෙළුව නගරයට පැමිණිය යුතුමය.නෙළුව නගරයෙන් ලංකාගම මාර්ගය සොයා ගැනීම ඉතා පහසු වන්නේ අද වන විට එය එතරමටම සංචාරකයන්ගේ මන පිනවන ගමනාන්තයක් වන නිසාමය. පළමුව පුළුල් මඟකින් ගමනට පිවිසෙන ඔබට ක්‍රමානුකූලව පටුවන මඟට පිවිසීමට වරම් ලැබෙනු ඇත.

ඒ මඟ මැද ඔබට හමුවන ලංකාගම සිංහරාජ වන පිවිසුමෙන් මෙම මිහිපිට දෙව් ලොවට ප්‍රවේශ විය හැකිය. සිංහරාජ වන පිවිසුමෙන් ටිකට් පතක් මිලට ගන්නා ඔබ ඒ සමඟම සුපුරුදු මඟ පෙන්වන්නකුගේ සහය ලබාගත යුතුමය. වනගත වන ඔබ තමාට රිසි පරිදි කුඩා පෙත්මං ඔස්සේ මේ ගමන ඇරඹුවහොත් මේ වනමැද හුදෙකලාව රඟන බොහෝ වන කොමලියන් ඔබට මඟහැරීමට ඉඩ ඇත.

මේ ගමනේ මඟ වැටෙන්නේ හැරියාව දොළේ සිරියාව මැදිනි.නොකිළිටි හැරියාව දොළ මවන දියඇලි මනාලියන් බොහොමයක් මේ ගමනේදී ඔබේ නෙත් මත ඡායා මැවීමටම මඟ බලා සිටී.

මීවන ශාකයන්ගෙන් සහ රූස්ස දුලබ මහ තුරුවලින් වටවූ නිහඬ නිසසල වන ගොමුව මැදින් ඔබ පළමුව පිවිසෙන්නේ බ්‍රාහ්මණ ඇල්ල වෙතටයි. නෙත් සිත් වශීකරවන බ්‍රාහ්මණ ඇල්ලේ කෝමල රේඛා ඔබ ටික වේලාවක් විඳගත යුතුමය.

බෙරලිය, ඇටඹ, කීන, වල්බඩ වැනි දුලබ ශාඛයන්ගෙන් සැදුම්ලත් වියන් ස්ථරයන් මැදින් කුඩා පෙත් මඟ දිගේ ඉන් පසුව ඔබ ගමන් කළ යුත්තේ ඌරන් වැටුණු ඇල්ල නැරඹීමටය.සුදෝසුදු පෙන කැටි මවමින් දඟපාන ඌරන් වැටුණු ඇල්ල නරඹා ඔබ ගල් ඔරුව ඇල්ල නැරඹීමට යා යුතුමය.ශ්‍රී ලංකාවේ ඇලි අතර සුවිශේෂී වන ගල් ඔරුව ඇල්ල අසල ඔබට බියක් දැනෙනු ඒකාන්තය. නැරඹුම් පීඨිකාවේ සිට බලන්නකුට පහළ බෑවුමෙහි දැකගන්නට ලැබෙන ගල් ඔරුව ඇල්ල දෙබොක්කාවකින් රිංගා මවන බියකරු අසිරිය ඔබ මේ ගමනේදී විඳිය යුතුමය.

ඉන් අනතුරුව මඟපෙන්වන්නාගේ උපදෙස් අනුව ඔබ තට්ටු ඇල්ල නැරඹිය යුතුය.ඔවුන්ගේම වන රජ දහනේ නිස්කලංක සුකුමාලකම්පාන තට්ටු ඇලි මනාළියගේ මනලෝල  ගමන දෙස ඔබ බොහෝ වෙලා බලා සිටින වග නියතය. පරිසර භාවනාවක යෙදෙන සංචාරකයකුට කදිම නවාතැනක් සකසන තට්ටුඇලි මනාලියගේ නිවහනතුළ ඇඟ හිරිගඩු පුබුදුවන හීතල හිරිකඩක පහස ලැබීමටද ඔබට මේ ගමනේදී ඉඩ ලැබෙනු ඇත.

තට්ටු ඇල්ල නැරඹීමෙන් පසුව අපගේ ගමන් මඟ වැටෙනුයේ දූලි ඇල්ල එසේත් නොමැතිනම් දූවිලි ඇල්ල දෙසටය. ශ්‍රී ලංකාවේ දූවිලි ඇල්ල නම් ලද අැලි බොහොමයක් දැකගත හැකි අතර ලෝක උරුමයක් වන සිංහරාජ මහ වන මැදදී ඔබට ලංකාගම දූවිලි ඇල්ලේ සිරිය රිසි ලෙස විඳිනු හැකිවනු ඇත. මේ මඟ දිගේ තවදුරටත් විඩාව පසෙකලා යන ඔබට කැකුණ ඇල්ලේ ලාලිත්‍යය දැක විඳගනු හැකිය.

එකම මඟකදී දිය ඇලි කොමලියන් හයදෙනකුගේ කෝමල මනමාල ගමන් දැක විඳගනු හැකි මේ ගමනේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.

ලංකාගම මාර්ගයෙන් පැමිණ ඔබ පිවිසෙන සිංහරාජ වන අරණ ලෝක උරුමයකි. අපගේ ගමන විනෝදය පිණිස වුවද මෙය අධි සංවේදී පරිසර කලාපයක් හරහා යන සුන්දර නිස්කලංක ගමනකි. එබැවින් පරිසර සමඟ ඇති ඔබේ සබැඳියාව මේ ගමනේදී නේක විසිතුරු දැක විඳගැනීමට ඔබට ඉඩ සකසනු ඇත. එමෙන්ම මේ දුලබ දසුන් පිරි දිය ඇලි මනාලියන් දෙසත් නොකිළිටි දිය දහර දෙසත් බලා සිටින ඔබට එහි එකවර ගිලී සීතල දියක පහස ලැබීමට අනිවාර්යයෙන් හිත පහළවනු ඇත. ඔබේ සංචාරක මඟපෙන්වන්නාගේ නිසි අවසරයකින් තොරව ජල තරංඟ සමඟ හාදවීමට නොයන්න. එය අනතුරකට අතවැනීමක් බව තරයේ මතක තබා ගන්න. එමෙන්ම මේ දුෂ්කර කැලෑ මඟ දිගේ සංචාරයේ යෙදෙන විට කුඩා දරුවන් පිළිබඳ නිරතුරුවම අවධානය යොමු කිරීමටත් අමතක නොකරන්න. අත්‍යාලංකාර මලින් සැරසුන මේ වන බිමේ කිසිදු ශාකයකට හානි නොකරන්න.

ඔබේ පවුලේ උදවිය සමඟ මේ සුන්දර පාසල් නිවාඩු සමයේ මේ දෙව්ලොවට පිවිසෙන්න.

ඔබට සුබ ගමන්

සටහන - චතුර ගීතනාත් බණ්ඩාර

 

ඡායාරූප සමන්ත වීරසිරි