ඇඳුමට ගැළපෙන්න ආභරණ තෝර ගන්නේ කොහොම ද?

අප්‍රේල් 10, 2023

ආභරණ කියන්නේ  ඕනෙම  ඇඳුමක  ලස්සන  වැඩිකරන්න  පුළුවන් වගේම  අඩුකරන්නත්  පුළුවන් දෙයක්.ආභරණ පැලඳීමෙන් ඔබගේ  පෙනුම වෙනස් කරන්න පුළුවන්. හැබැයි හරියටම ගැළපෙන්න තෝරා ගන්න ඔබ දක්ෂ නොවුණොත් ඔබේ තියෙන පෙනුමත් නැති වේවී.

 

යන්නේ කොහේද? ඒ අනුව තෝරාගන්න…

 

ඔබ පලඳින ආභරණ ඔබ යන තැන  අනුව  වෙනස් වෙනවා. අපි හිතමු ඔයා වැඩට යනවා කියල. රාජකාරි කටයුතු වලට යද්දී  බොහොම සරල ආභරණ තමයි පලඳින්න ඕනේ. මොකද  යන්නේ විධිමත් කටයුත්තකට,යම් විනයක්, පිළිවෙලක් සහ නීති පද්ධතියක් තියෙන ස්ථානයකට. ඒ නිසා එතැනදී ඔයාට කැමති ඇඳුම පැලඳුම අඳින්න නිදහස තිබ්බට එහි යම් සීමාවක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා ඒ වගේ අවස්ථා වලදී පොඩි පෙන්ඩන්ට් එකක් තියෙන මාලයක් පැලඳීම ප්‍රමාණවත්. කරාබු තෝරගද්දී වැඩිය කැපිලා පෙන්නේ නැති, රවුම් කරාබු සිල්වර් හෝ ඇඳුමේ වර්ණයට ගැලපෙන්න තෝරාගන්න එකයි හොඳම..අමතර දෙයක් කිව්වොත්, අත් ඔරලෝසුව වුනත් වෛවර්ණ වෙන්න බැහැ. චාම් පටියක් තියෙන අත් ඔරලෝසුවක් තමයි හොඳටම ගැලපෙන්නේ. පුළුවන් තරම් සරල,පොඩි ගල් ඇල්ලූ මාලයක්, එතරම් කැපී නොපෙනෙන, ඔබේ ලස්සන ඉස්මතු වන මාලයක් තෝරාගැනීම වටිනවා.

ඔයා යන්නේ යහළුවන් හමුවෙන්න නම්, එය නිදහසේ ඔබට ඇඳුම තෝරාගන්න වගේම ආභරණ තොරගන්නත් හොඳ අවස්ථාවක්. එහෙනම් ඔබ ටිකක් වැඩිපුර විලාසිතා කරාට

කමක් නෑ. Casual ආභරණ තෝරාගන්න. අවශ්‍ය නම් ඇඳුමේ පාටින් ආභරණ නැත්නම් costume jewelry තෝරාගන්න ඔයාට පුළුවන්. ඒත් එය දැන් සාමාන්‍ය විලාසිතාවක් වෙලා…

 

ඔයාට තියෙන විකල්ප සේරම ගන්න…

 

ආභරණ කියන මාතෘකාවේදී අපි හැමෝටම ඕනෑ තරම් විකල්ප හමුවෙනවා. විවිධ බ්‍රේස්ලට්, මාල, වළලු, කරාබු, හිස් පලඳනා වුනත් ඕනෑ හැටියට තියෙනවා. මේ හැම ආභරණයක්ම විවිධ හැඩවලින්, වර්ණයන්ගෙන්, ප්‍රමාණවලින් සහ විවිධ මෝස්‌තර වලින් තමයි එන්නේ. මොන ආකාරයෙන් වුනත් ඔයාගේ ආභරණ ඇඳුමට ගැළපෙන්නයි අවශ්‍ය, ඔයා ආභරණ තෝරාගැනීමේදී අලුත් කෙනෙක් නම් කරාබු දමද්දී රවුම්, එල්ලෙන්නේ නැති පොඩි කරාබු දෙකක් දමන්න. කුමන අවස්ථාවකට වුනත් ඒ ආකාරයේ කරාබු ගැළපෙනවා.

 

ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න…

 

ඔබ අඳින්නේ ප්‍රින්ට් එකක් තියෙන ඇඳුමක් නම් ඔබේ ආභරණ සිම්පල්, වැඩි වැඩ නොදැමූ ඒවා  වෙන්න ඕනේ. ඔබ අඳින්නේ ප්ලේන්, ඒකියන්නේ  විවිධ මෝස්‌තර නැති ඇඳුමක් නම් ඔබේ ආභරණ නිර්මාණාත්මක,වැඩ දැමු ඒවා වීම තමයි සුදුසු. හැබැයි මතක තියාගන්න, ඔබේ ආභරණ අනවශ්‍ය ලෙස ඇඳුමට වඩා කැපිලා පෙනෙනවා නම් පලක් නැහැ කියල. මොකද ඔබ අඳින ඇඳුමේ ලස්සන වැඩිකරන්න මිසක් ආභරණය විතරක් කැපිල පෙනෙන්න නෙමේ අපි ආභරණ පැලඳිය යුත්තේ.හුඟක් සාරි තියෙනවා ගල් අල්ලපු, වැඩ දැමු. ලොකු වර්ක් එකක් ගිය සාරි..සමහර කුර්තා වල, ෂල්වාර් කමිස් වල මෙන්ම බ්ලව්ස් වලත් මෙලෙස වැඩ දමා තියෙනවා. එහෙම ඇඳුමක් අඳිද්දී මාලයක් පලඳින්න එපා. මාලයක් පළඳින්නේ නැතිව විශාල කරාබු දෙකක් පැලඳීම ලස්සන තවත් වැඩිකරනවා. එහෙම නැත්නම් ප්‍රමාණයෙන් විශාල, එල්ලෙන්නේ නැති කරාබු දෙකක් පැළඳීම වඩා ලස්සනයි. කරාබු දෙකක් පැළඳීම ලස්සන තවත් වැඩි කරනවා..ඔබ කළු පැහැ ඇඳුමක් ඇඳ රතු පැහැ සපත්තු පලඳිනවා නම්, රතු පැහැ ආභරණ පැලඳීම ඔබේ පෙනුම වැඩි කිරීමක් වගේම ඇඳුම balance කිරීමක්ද වෙනවා. ලෙපර්ඩ් ප්‍රින්ට් ඇති බ්ලව්ස් අඳිනවා නම් විශාල වැඩ දමා තියෙන මාලයක් පැලඳීමෙන් පලක් නැහැ. මොකද මාලය කොහෙත්ම පෙනෙන්නේ නැති නිසා. හැබැයි සුදු පැහැ හෝ වෙනත් ප්ලේන් ඇඳුම් අඳිද්දී නම් ආභරණ වලින් තමයි ඇඳුම පිරිපුන් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්ලේන් සාරි අඳිනකොට.

 

Mix and match

 

මෙහිදී රත්රන්, රෝස රත්රන්, රිදී යොදාගන්න පුළුවන්. ඔබට මාල විවිධ දිගින් පළඳින්න පුළුවන්. දැන් වෙළඳපොලේ layered  necklace දකින්න පුළුවන්. ඒ වගේම විවිධ ප්‍රමාණයෙන් අත්පලඳනා පලඳින්න ඔයාට පුළුවන්. එමෙන්ම ඇඟිලි වල මුදු පැලඳීමේ දී එකම ඇඟිල්ලේ මුදු දෙකක් පලඳින්න ත් පුළුවන්. ඒ සඳහා දැන් වෙ‍ෙළඳපොලේ stackable rings තිබෙනවා.

 

 නෙක්ලයින්  (ඇඳුමේ කර) එක ගැන හිතන්න..

මාලය ඔබේ ඇඳුමේ නෙක්ලයින් එකට අනුරූප වෙන්න ඕනේ. මාලය ඇඳුමේ ලස්සන වැඩි කරන්න මිස ඇඳුමත් එක්ක සංසන්ධනය වෙන ආකාරයට යොදාගන්න හොඳ නැහැ.

ඔබේ ඇඳුමට ඇත්තේ ගැඹුරු V හැඩ ඇති නෙක්ලයින් එකක් නම් දිග පෙන්ඩන්ට් එකක් ඇති  මාලයක් පළඳින්න. Sweetheart කරක් ඇති ඇඳුමකට නම් කෙටි මාලයක් තමයි ගැලපෙන්නේ.කර වැහෙන හෝ කර කෙලින් තියෙන ඇඳුමකට නම් layered මාල ගැලපෙනවා.

 

ආභරණ අතුරෙන් වැඩියෙන් ඉස්මතු වන ආභරණයට තැන දෙන්න..

 

ලොකු මාලයක් පළඳිනවා නම් ලොකු කරාබු හෝ බ්‍රේස්ලට් පළඳින එක එතරම් සුදුසු නැහැ. ඔබ කරාබු ප්‍රමාණයෙන් විශාල ලෙස පළඳිනවා නම් මාලයක් එතරම් අවශ්‍ය නැහැ. මාලයක් පළඳින්න අවශ්‍ය නම් සරල,කුඩා මාලයක් පළඳින්න. ඔබේ අත් ඔරලෝසුව හෝ බ්‍රේස්ලට් එක වුනත් ප්‍රධාන ආභරණය කරගන්න ඔබට පුළුවනි. එය එලෙස නම් මාලය හෝ කරාබු ඉතාම සරල ඒවා කරගන්න වග බලාගන්න.

 

ඒ විදියටම ගලපන්න එපා

 

ඇඳුමේ පැහැය අනුව ඒ පැහැයෙන්ම  ආභරණ තෝරගන්න අවශ්‍යයි කියලා බොහෝ අය හිතනවා. ඒත් එය එහෙම වෙන්න අවශ්‍ය නැහැ.  ඔබට පුළුවන් ඇඳුම ප්ලේන් පාට වලින් තියෙනවනම් ඒ පාට සියල්ල මිශ්‍ර ආභරණ පළඳින්න. එහෙම නැත්නම් ඔබ අඳින්නේ සුදු හෝ කළු පැහැ ඇඳුම් නම් රිදී පැහැය හෝ මුතු පැහැයෙන් ආභරණ තෝරාගන්න හැකියි. රෝස පැහැයෙන් ඇඳුම තෝරාගන්නවා නම් නිල් පැහැයෙන් ආභරණ තෝරාගන්න පුළුවන්. contrasting  colours කියන්නෙත් අමුතුම ලස්සනක් පෙනුමට ගෙනදෙන විලාසිතාවක් කියන්නේ අන්න එකයි.

 

ඔබේ මුහුණේ හැඩය වැඩි වෙන විදියට කරාබු තෝරාගන්න…

 

විවිධ කරාබු වල වර්ණවත් බව වැඩිවෙන්නේ එය ඔබේ මුහුණේ හැඩයට අනුරූපව තෝරාගත්තොත් පමණයි. ඔබේ මුහුණ දිගටි හැඩයෙන් යුක්තයි නම් පොඩි කරාබු නැත්නම් තනි බෝලයක් ඇති එල්ලෙන්නේ නැති කරාබු පලඳින එකෙන්  ඔබේ ලස්සන වැඩි කරනවා. ඔබට ඇත්තේ කොටු හෝ රවුම් මුහුණක් නම්  පෙන්ඩන්ට් කරාබු ගොඩක් ගැළපෙනවා. රවුම්,එල්ලෙන කරාබු ඕනෙමහැඩයක මුහුණකට ගැළපෙනවා. කරාබු පලඳින විට සැලකිලිමත් වෙන්න ඕනේ පුංචි යෝජනා කිහිපයක් තමයි ඔබට  මේ ගෙන ආවේ. එල්ලෙන කරාබු ඔබට අපහසු නම් ඔබ කැමති ඔබට පහසු කරාබු පලඳින එක වැදගත්.ඒ වගේම සමහර අයට විවිධ ආභරණ නිසා අසාත්මිකතා එන්න පුළුවන්. ඒ නිසා ඔබ විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.

 

ඔබේ සමේ වර්ණය ගැනත් හිතන්න…

 

ඔබේ සම පැහැපත් නම්, නැත්නම් cool skin එකක් නම්(cool skin වල නහර පැහැය නිල්  පාටින් පෙනෙන අතර අත් යට සම රෝස හෝ රත් පැහැ වෙනවා ) ඔබට ගැළපෙන්නේ ප්ලැටිනම් හෝ සුදු රත්රන් තමයි. ඔබේ සමෙහි වර්ණය අඳුරු නම් නැතිනම් ඔබට ඇත්තේ warm skin එකක්නම් (warm skin වල නහර කොළ පාටින් පෙනෙන අතර අත් යට කහ පැහැයෙන් සම දිස්වෙනවා) ඔබට ගැළපෙන්නේ කහ රත්රන් හෝ රෝස රත්රන් ය.

ඇත්තටම රෝස රත්රන් විවිධ සම් වලට ගැළපෙනවා.දියමන්ති, මොර්ගනයිට්, රූබි, ගාර්නෙට් වැනි ගල් ඇල්ලු ආභරණ warm skin වලට ගැළපෙනවා. ඒ වගේම එමරල්ඩ්, ඕපල්, සික්රෝන්, ඇමතිස්ට් වැනි ගල් ඇල්ලු ආභරණ වඩා ගැළපෙන්නේ cool skin වර්ගයේ අයටයි.

 

සිරුරේ හැඩය අනුව ඇඳුමට ආභරණ තෝරාගන්න…

 

ඔබේ පපු ප්‍රදේශය, උස, සිරුරේ හැඩය අනුව ආභරණ තේරීමත් වැදගත්ම දෙයක්. ඔබ සිහින් අයෙක් නම් කුඩා ආභරණ තමයි ලස්සන. ඔබ ටිකක් මහත කෙනෙක් නම් ප්‍රමාණයෙන් විශාල, වැඩියෙන් වැඩ දැමු ආභරණ තෝරාගන්න සැලකිලිමත් වෙන්න. ඔබ 5’4 උස හෝ ඊට අඩු නම් සරල, කුඩා ආභරණ වලට යන්න. ඔබ 5’4 ට වඩා උස කෙනෙක් නම් ඕනෑම දිගකින් යුත් මාලයක් ඔබට ගැළපෙනවා. හැබැයි හුඟක් කෙටි මාල පැලඳීමෙන් නම් ඔබට වැඩක් නැතිවෙයි. ඔබේ ගෙල කෙටියි නම්. මාලය සිහින් වීම තමයි සුදුසු වන්නේ. හැබැයි බෙල්ලටම තද වන choker වර්ගයේ මාල පලඳින්න එපා. එහෙනම් ආපහු ඇඳුමට ගැළපෙන්න ආභරණ තොරගද්දී ඔබව වඩා ලස්සන කරගන්න මේ පුංචි ටිප්ස් ටික අනුගමනය කරන්න….

 

 

 

උපදෙස්

ඇඳුම් නිර්මාණ ශිල්පී

ප්‍රණීත් රණවීර