වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අරපිරිමැස්ම සහ දුප්පත්කම
අරපිරිමැස්ම ගැන කතා කරද්දි ලාංකේය සමාජය තුළ ඉතා ඉහළ පිළිගැනීමක් ඒ වචනයට පවතිනවා. විශේෂයෙන් අපේ අත්තම්මලා අම්මලා අරපිරිමැස්මට මුල්තැන දුන්න අයයි. ඒ නිසා වැඩිපුර ඉතිරි කරනකොට ගොඩක් අය කියන්නේ ෂා එයානම් හරිෂෝක්. හොඳට අරපිරිමහනවා කියල.
මේ ගැන අපේම සමාජයේ පවුලකින් කතාබහ අරඹමු.
මීට වසර හයකට ඉහත ඉඩකඩම්, ගේ දොර, යාන වාහන, මිල මුදල් යහමින් තිබුණු එක්තරා යුවළක් මට මුණ ගැසුණා. ස්වාමිපුරුෂයා කතාව පටන් ගත්තෙම අපි අද මෙහෙම හිටියට මෙහෙම ඉන්න ඕනේ අය නෙමෙයි කියලයි. අද වන විට ඔවුන්ගේ ව්‍යාපාර පහළ මට්ටමට වැටිලා. ගේ දොර ඉඩකඩම් විකුණන තත්ත්වයට ඇවිත්. යානවාහන කිසිවක් නැහැ. ගමන් බිමන් පොදු ප්‍රවාහනයෙන්.
ඇත්තටම ඔවුන්ට සිදු වුණේ මොකක්ද?. මේ අයට පමණක් නොව අද සමාජයේ බොහෝ දෙනාට සිදුවුණ ඉදිරියට සිදුවෙන පොදු දෙයක් තමයි මේක.
අරපිරිමැස්ම.... එසේත් නැතිනම් වියදමේ සීමාව.... කොතැනද කියන එක ඔබ දැනගත්තේ නැතිනම් හෙට මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙන්නේ ඔබටයි.
විශේෂයෙන් ම දැන් මේ රටේ පවතින වාතාවරණයත් එක්ක ඔබ වියදම් කිරීමේ කලාව ගැන නම් මීට වඩා ඉගෙන ගත යුතුමයි.
දන්නවාද ආර්ථික වශයෙන් කඩා වැටීම සහ දුප්පත්කම යන වචන දෙකේ ලොකු වෙනසක් ඇති බව. ආර්ථික වශයෙන් කඩාවැටීම කියන්නේ ඒක හරි තාවකාලික දෙයක්. එහෙත් දුප්පත්කම කියන්නේ සදාකාලික දෙයක් ඇතැම් විට ඔබත් මේ දුප්පත්කම කියන උගුලට අසු වී ඇති. හිතලා බලනකොට සමහර විට අපි අනාගතයට බයයි. තවත් විටෙක අපි අනාගතයට ලෝබයි. මේ කාරණාව පෙරදැරි කරගෙනයි පෙර මා සඳහන් කළ පවුල ආර්ථික පරිහානියට ලක් වෙලා තියෙන්නේ. ඔවුන් ඔවුන්ගේ දරුවන්ගේ උපන් දින සාදවලදී ලැබෙන තෑගි වුවද දරුවන්ට භුක්ති විඳින්න දීලා නැහැ. ඒවා රැස්කර ගෙන ඔවුන්ට ආරාධනා කරන වෙනත් දරුවන්ගේ උපන්දින උත්සවවලට තිළිණ ලෙසින් ලබා දෙන්නට තියාගෙන. තමන්ගේ දරුවන්ගේ පුංචි අහිංසක සතුට පවා මේ විදියට සොරාගෙන. තව අතකින් අසරණ කෙනකු වෙනුවෙන් හිතේ සතුටින් සැනසීමෙන් දෙයක් පිරිනමලා නම් නැති තරම්.
" අපි මොකටද එයාලට දෙන්නෙ? එතකොට අපිට තියෙන කොටස අඩු වෙනවාෙන.එහෙම දාන දෙන්න ඕනෙ නෑ. අපි දුන්නේ නැහැ කියලා හාමුදුරුවන් දන් නො වළඳා ඉඳීවිද? " මේ විදිහට තමයි ඒ යුවළ හිතලා වැඩ කරලා තියෙන්නෙ. එදා සෞභාග්‍යමත් කාලෙ ඔවුන් කිසිම කෙනෙක් වෙනුවෙන් කිසිවක් ම පිරිනමලා නැහැ. ඒ තරම්ම ලෝබකම් කරලා යමක් කමක් තියෙන තත්ත්වයක ඉඳලත් දානයක් මානයක් දෙන්න බැරිනම්, අසරණ යාචකයකුට යමක් දෙන්න බැරිනම් ඒ පොහොසත්කමේ ගෞරවය වියැකී යනවා. ඔවුන්ගේ පිරිහීමේ සලකුණ වෙලා තියෙන්නෙ එයයි. අනෙක් අය තමන්ට ඊර්ෂ්‍යා කරයි ඇස් වහ කට වහ ගනියි කියලා හිතලා මෙහෙම දිගින් දිගටම නැති බණේ පිළිබිඹු කිරීම එතරම් සුබවාදී නම් නැහැ. නෑ....නෑ.... කියන වචන මතුර මතුර ඉඳලා මේ අය අද වන විට ඇත්තටම වේල පිරිමසාගෙන බඩට යමක් එකතු කරගන්නේ කොහොමද කියන තැනට ඇවිත්.
මේ කතාවෙන් ඔබට ජීවිතයට හොඳ පාඩමක් ගන්න පුළුවන්. අපි අපිට තියෙන දේට ස්තූතිවන්ත වන්නට අවැසි.අනේ මට මෙච්චර පඩියක් තියෙනවා. මේකෙන් මට මගේ අම්මට තාත්තට මේ දේ අරන් දෙන්න පුළුවන්. මගේ දරුවන්ට මෙන්න මේ දේවල් අරන් දෙන්න පුළුවන්. එක රුපියල් සීයක් පිනට දහමට කියලා දෙන්නත් පුළුවන්. මේ සිතුවිලි හරිම ධනාත්මකයි.
මුදල් කියන්නේ එක්තරා අතකින් ශක්තියක්. මේ ශක්තිය අපට ලැබෙන්නට නම් "අනේ අපට සල්ලි නෑ.... නෑ....." කියන වචන මතුරන එක නවත්තන්න ඕනෙ.
ඉස්සර අපේ අම්මලා උයන්න හාල් ගන්නකොට හාල් මිටක් මුට්ටියට දානවා. දවස ගානෙ මෙහෙම එකතු වුණ හාල් ටිකෙන් මාසෙ අන්තිමට පන්සලට දානේ උයා ගෙන ගෙනියනවා. එහෙමත් නැතිනම් මේ මිටි හාල් ටික, හාල් ඉවර වුණදාට ගෙදර අය කුසගින්න මකන්න උදවු වෙනවා. අත්තම්මා මේ හාල් ඉතුරු කළේ මිටි හාල් කන්න එපා. මිටි වෙයි කියලයි. ඒත් අද දියුණු සමාජය අපේ අත්තම්මාගේ සිරිත් විරිත්වලට ගරහනවා. කවුද අනේ කියන්නේ ඕවා. ඕවයෙ කිසි විද්‍යාත්මක පදනමක් නැහැ. ඔන්න ඔහොම යමක් තේරුම් කරන්න ගිය අය සමච්චලයට ලක් කරපු ආනිසංසය තමයි මේ අපි කවුරුත් භුක්ති විඳින්නේ. කොයිදේත් විද්‍යාවෙන් ඔප්පු කරන්න ඕනෙ නැහැ. අතීතයේ පටන් පැවතගෙන එන දෙයක් වේ නම් එය හිස නමා පිළිගත්තා කියලා බරපතළ හානි සිදු වන්නෙත් නැහැ. අතීතයේ ලොකු මන්දිර තිබුණෙ නැහැ. හැබැයි අවුරුද්දක් කන්න හාල් ටික ඒ ගෙදර තිබුණා. තමන්ගේ වත්තේ පිටියේ එළවළු ටික වගා කෙරුණා.
තවත් අතකින් මෙහෙම හිතන්න.
ඔබ කවදාවත් ඔබට අවශ්‍ය දෙයක් ආකර්ෂණය කරගන්නේ නැහැ. ඔබට ආකර්ෂණය වන්නේ ඔබේ මානසික මට්ටමට අවශ්‍ය දේ පමණයි. එය ඉබේම ඔබේ පරිසරය තුළින් සකස් වෙනවා. ඒක තමයි මනසේ ස්වභාවය. විශ්වයේ ස්වභාවය. එහෙත් එය අවබෝධ කරගෙන ගමනක් යා යුතුයි. අපි නිදසුනට ගත් පවුලට වුණෙත් එහෙමයි. ඔවුන් නිතරම අනාගතය ගැන බයෙන් ඍණාත්මක සිතුවිලිවල ජීවත් වුණේ. ඔවුන් වටා සෘණාත්මක පරිසරයක් ගොඩ නැගුණේත් ඒ නිසයි. බොරුවට මවා පාමින් සමාජයට පෙන්වන ගිය නැති බැරිකම විශ්වය සැබෑවටම ඔවුන්ටත් අත්පත්කර දුන්නා. විශ්වයට අවනත වන්න. සොබාදහමට අනුගත වන්න. එවිට ඔබට අමිහිරි අත්දැකීම් හිමි නොවනු ඇත. මුදල් හම්බ කරන්න ආසාව වගේම අවශ්‍යතාවලට වියදම් කිරීමේ කලාව දැන ජීවත් වුණොත් ඔබ තවදුරටත් දුප්පතෙක් නොවෙයි. "දුප්පත්ව ඉපදීම ලැජ්ජාවක් නොවුණත් දුප්පත්ව මියැදීම ලැජ්ජාවක්" බව කියන ප්‍රසිද්ධ කියමන සිහි තබාගන්න.