යසට ඉන්න විෂ මිනිසුන් කල්තියාම හඳුනාගන්න

ඔක්තෝබර් 16, 2023

ඔබට සාර්ථකත්වය කරා ගමන් කිරීමට වගේම ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය නම් අනිවායෙන්ම මේ විෂ සහිත මිනිසුන් පිළිබද දැන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කාගේ හෝ ජීවිතයක, විෂ සහිත පුද්ගලයෙක් , Toxic people කෙනෙක් වෙලා නම් වහාම ඔබේ ජීවිතයට හැරිලා බලලා ඒ තත්ත්වෙන් මිදෙන්නට මේ ලිපිය ඔබට වැදගත් වෙයි .

මේ විෂ සහිත පුද්ගලයින් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙනකර ගත හැකියි.

01. සුළු වශයෙන් ඔබව අපහසුතාවයට පත් කරන පුද්ගලයන්. මොවුන්ගෙන් ගැලවෙන එක එතරම් අපහසු කාර්යයක් නොවේ.

02. ඔබව හිතා මතාම අපහසුතාවයට පත් කරන ඔබව දැඩි ලෙස පාලනය කරන පුද්ගලයන්. මොවුන් නිරන්තරයෙන්ම ඔබේ දුර්වලතැන් හඳුනාගෙන ඒවාට පහර දෙනවා. ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පමණක් ඔබව පාවිච්චි කරනවා. මනසට සෘණාත්මක අදහස් ඇතුළු කරලා ඔබව දැඩි ලෙස මානසිකව පහළට වැටෙන ලෙස ක්‍රියා කරනවා.

 

අපි කොහොමද විෂ සහිත පුද්ගලයින් හදුනා ගන්නෙ..?

මේ අයගේ පොදු ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ ඇසුරින් එකක් හෝ කිහිපයක් ඔබ ආශ්‍රය කරන සමීපතමයන්ට (ඔබ වටා සිටින අය) තියෙනවද කියලා කල්පනා කරලා බලන්න.

 

(1) The Manipulative

ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම හසුරවන මිනිස්සු. අරයට කතා කරන්න එපා, මේක කරන්න එපා කියමින් ඔයාව ඔවුන්ට ඕන විදිහට මෙහයවීමට උත්සාහ කරන මිනිස්සු. ඔබ ලවා අකමැති දේවල් පවා කරව ගන්නවා. ඔබ විතරක් නෙමේ ඔබේ ජීවිතයේ සමීපතමයන්, (පවුලේ අය, යහළුවන්, දෙමාපියන්) ඔබට එපා කරවලා ඔවුන්ගේ පැත්තට හරව ගන්නවා . ඔබේ ජීවිතයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.

 

(2) Energy Drainers

ඕක කරන්න බැහැ බං, උඹට ඕක බැහැ, ඕක උඹට කැතයි, උඹ කොට වැඩියි, උඹ මහත වැඩියි, මේ වගේ කතා කියමින් ඔයාව මානසිකව වට්ටන මිනිස්සු. සමහර අය ඔබට ආදරේ බව පෙන්නලා ඔබේ යහපත ගැන හිතලා මේ දේ කරන්නෙ කියලා පෙන්නලා ඔබව පාලනය කරනවා.

 

(3) Spiritual Vampire

මූණට දැක්කම සුදූ, මැණික, වස්තුව කියලා පණ දෙන්න වගේ රඟපාලා ගියාට පස්සෙ ඕකාට හෙණ ගහපන් කියන, දේව ආත්ම වගේ පෙනී ඉන්න විෂ සහිත මිනිස්සු. කපන්න බැරි අත ඉඹිනවා වගේ ඉන්න මිනිස්සු

 

(4) They are Backstabbers

එකට ඉන්න කාලෙ ඔක්කොම රහස් ටික, ඕපාදුප ටික එකතු කරගෙන, පොඩ්ඩක් හිත හොඳ නැති වෙච්ච ගමන් දෙතුන් ගුණයක් අතිනුත් දාලා, තමන් හොඳවෙලා අනුන්ගේ රහස් ටික වටේටම හල හල යන කුණු කරත්ත වගේ මිනිස්සු.

 

(5) The fake compliments

ඔයා හරි ලස්සනයි, ඔයා හරි හොඳයි. කියමින් ඔබව මුරුංගා ගස්වල උඩටම නග්ගවා ''අරයට බැනහන්කෝ, මෙයාට හින්ට් එකක් ගහපන්කෝ, කියමින් තමන්ගෙ වැඩේ කරගන්න ඔයාව උඩ තියන මිනිස්සු.

 

(6) Opportunists

තමන්ගෙ වැඩේ කරගන්න කරගන්නකන්, ඔබෙන් ඔවුනට ඇති ප්‍රයෝජනය ගන්නකන් ළඟට වෙලා ඉඳලා, ඒ කාර්ය ඉවර වුණාට පස්සෙ උන් හිටි තැනක්වත් හොයාගන්න බැරිවෙන විදිහට අතුරුදහන් වෙන අවස්ථාවාදී මිනිස්සු.

 

(7) Family breakers

අනේ ඔයාගේ මහත්තයා වසයි නේද ? ඇයි උඹ ගෑනිට බය , අනේ මිනිහට ඔච්චර සලකන්න එපා, මට උඹේ ගෑනී ගැන සැකයි, ඔයාගෙ boy friend නරකයි, ඔය වගේ ඔයාගෙ සහකාරයා / සහකාරිය ගැන ඔයාටවත් නොපෙනෙන පදනමක් නැති වැරදි දකින මිනිස්සු.

 

(8) They are Narcissistic

මේ ලෝකයේ ඔවුන් කැමති එකම කෙනයි ඉන්නේ. ඒ තමන් පමණයි. මේ අය තමන්ගේ රූපේ ගැන, හැකියාවන් ගැන, දක්ෂතා ගැන , ප්‍රතිරූපය ගැන මත්වෙලා අධි තක්සේරුවකින් ඉන්නෙ. නිතරම මේ අය තමාව උසස් කරලා අනිත් අයව පහතට හෙළනවා.

 

(9) JJ ( Jealous - Judgmental )

තමන්ට නැති දෙයක් අනිත් අයට ලැබීම දරාගන්න බැරි, ඔබේ දියුණුව ඉවසන් ඉන්න බැරුව ඉර්සියාවෙන් කුහකකමින් හිත් පුරවන් ඔබට හොඳ මුහුණ පෙන්නන් ඉන්න මිනිස්සු

 

(10) You always have to prove yourself

ඔබ කරන කියන හැම දේකටම හේතු පෙන්නන්න, ඔප්පු කරන්න ඔබට සිද්ධ වෙනවා. කාලයක් යනකොට ඔබේ මනස පුරුදු වෙනවා ඔබ කරන හැම දේකටම හේතු හොයලා තියාගෙන අවශ්‍ය වෙලාවට උත්තර බදින්න.

 

(11) They Don't let you walk away

මොවුන් ඔබට කිරීමට හැකිදේ ගැන ඔබට පෙන්නලා දීලා ඔබේ හිතේ ලෝබයක් ඇති කරනවා. ඒ වගේම ඔබට ආදරය කරන අය කෙරෙහිත් ඔබේ හිතේ වෛරයන් ඇති කරලා ඈත් කරලා ඔබව ඔවුන් සමඟම බැඳ තබා ගන්නවා.

 

(12) They Cut down your helping and isolate you

ඔබට ඇත්තටම ආදරය කරන පුද්ගලයන්ගෙන් ඔබව ඈත් කරලා ඔවුන් ඔබව තනි කරගන්නවා. මොකද ඔබ තනිවුණාට පස්සෙ ඔවුන්ට කිසිම බාධාවක් නැතුව ඔබෙන් දිගටම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාට සතුටින් ඉන්න ඕනෙ නම් ඒ කියන toxic peopleලාගෙන් ඈත් වෙන්න. ඔබේ වර්ධනයට උදවු කරන විෂ රහිත පුද්ගලයින් ඔබේ ජීවිතයට ළං කර ගන්න.

 

අතීතයට එබිකම් කරලා බලන්න. යම් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපයන් නිසා ඔබ ඉහළට එස වුණාද, තියෙන තැනෙනුත් පහළට වැටුනද, ඔබගේ මානසික ශක්තිය වර්ධනය වුණාද බිද වැටුණාද, සමාජය, පවුල තුළ ඔබට අලුත් පිළිගැනීමක් ඇති වුණා ද නැත්නම් ඔබට තිබෙන ප්‍රතිරූපයත් විනාශ වෙලා ගියාද ?

මේ විදිහට කල්පනා කරලා බලනකොට ඔබට තේරුනොත් ඔබේ ජීවිතය මේ පුද්ගලයා නිසා දියුණු වුණා කියලා ඔහුව යළි යළිත් ආශ්‍රය කරන්න.

 

මේ විදිහට කල්පනා කරනකොට ඔබට හිතුනොත් ඔබේ ජීවිතය විනාශවෙලා පිරිහිලා කියලා අන්න ඒ පුද්ගලයා විෂ සහිත පුද්ගලයෙක්. ඒ පුද්ගලයාව ඔබ ඈත්ම කරලා දාන්න.