වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
හබරණ මහ කැළය මැද අසිරිමත් තුන් දරු උපත
මො සූරන වැහි මැද්දෙන් අපි යන්නේ කොළඹ සිට හබරණ පුවක්පිටියට. හබරණ පුවක්පිටිය කියද්දිම කාටත් ඒ අනුවේදනීය කඳුළු කතාව මතකයට නැෙඟනු ඇති. පසුගියදා කවුරුත් කතා බහට ලක්කළ පුවක්පිටිය ගම්මානයේ අලි බිය නිසා ගසක් උඩ පැලක ජීවත් වූ... නිවුන් දරුවන් තිදෙනෙක් මෙලොවට බිහිකරපු ඒ දිරිය අම්මගේ කතාව. ඔව් මේ යන්නේ ඒ දිරිය මාතාව හොයාගෙන. ඇය ගිහානි සුපේසලා කුමාරි. මේ ඇගේ කතාව සොයාගෙන යන ගමනයි.
පැය ගණනක වෙහෙසකර ගමනකින් අප හබරණට පිවිසියෙමු. හබරණ අනුරාධපුර පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ යන විට දකුණු අත පැත්තෙන් පුවක්පිටිය දෙසට යනුවෙන් සඳහන් නාමපුවරුවකි. ඒ පාර පුරාම තැනින් තැන ඇත්තේ අලි වසුරු ඔව්... මේ අලි බිය නිසා මර බියෙන් ජීවත්වන ඒ ගම්මානයයි. මෙය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානයකි.
මේ කතාවේ කතා නායිකාවත් අලි උවදුරෙන් තම දරු කුස රැක ගැනීමට අපා දුක් විඳි දිරිය මවක්.
ඇය පැවසුවේ මේ පාරේ ටික දුරක් පැමිණෙන විට ඒ නිවෙස හමුවන බවයි. කිලෝමීටර් දෙකක් පමණ යනවිට සමාජ මාධ්‍ය ජාලාවලදී නෙත ගැටුණු කපරාරු නොකළ ඔවුන්ගේ වත්මන් නිවෙස හමුවිය. මේ ඇය කියූ ඒ නිවෙසයි.
කිහිලිකරු දෙකෙන් වාරු ගනිමින් ඉදිරියට පැමිණි ඔහු ඇයගේ සැමියා සන්දිත් අශෝක දයාරත්නයි. ඔහුට පිටුපසින් ඇවිද ආවේ ඔවුන්ගේ දියණිය යැයි සිතිය හැකි අවුරුදු දෙකක පමණ සිඟිත්තියකි.
දරුවන්ගේ අම්මට නම් හරියට වැඩ ඇති නේද... දරුවෝ තුන්දෙනෙක් නේ.
ඔව් එයා දරුවෝ තුන්දෙනා එක්ක හරි හරියට ඔට්ටු වෙනවා. දැනුත් දරුවන්ට කිරිදෙනගමන්. මේ ඉන්නේ අපේ ලොකු දුව එයාට අවුරුදු දෙකහමාරයි. සෑහෙන දුර ඉඳන්නේ ආවේ. එන්න ඇතුළට. ලොකු ඉඩකඩක් නම් නැහැ ඉතින්.
කමක් නැහැ දරුවන්ගේ අම්මා වැඩටික ඉවරවෙනකම් අපි මේ ගහයට බංකුවේ ඉඳගෙනම කතා කරමු.
ඔහු කතාව පටන් ගත්තේ මේ විදිහට.
අපි බැඳලා අවුරුදු 6කට කිට්ටුයි. අපිට මුලින්ම ලැබුණේ දුවෙක්. ඉන් කාලෙකට පස්සේ එයාට ආයෙත් දරුවෙක් ලැබෙන්න කියලා දැනගත්තම මම ගොඩක් සතුටු වුණා. ඒත් මට ලොකු බයකුත් දැණුනා. මොකද අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මට පුළුවන් විදිහට මම මගෙ බිරියව බලාගත්තා. ඉතින් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන්නේ ලොකු වගකීමක්. හැබැයි ලැබෙන්න ඉන්නේ එක් දරුවෙක් නෙවෙයි දරුවෝ තුන් දෙනෙක් කිව්වම අපිට හරි පුදුම හිතුණා.
පුවක්පිටිය ගමේ අය මේ අලි ගැටලුවට සෑහෙන කල් ඉඳන් මුහුණ දෙනවා ඇති නේද?
අපි දන්න කාලේ ඉඳලා මේ ගැටලුව තිබුණා. හැබැයි දැන් වසර හතරක පහක ඉඳන් මේ තත්ත්වය හරිම දරුණු අතට හැරිලයි තියෙන්නේ. දැන් නිතර නිතර අලි ගම වදිනවනේ. දැන් මේ ඉන්න ගෙදරත් මෑතකදි කුලියට ගත්තේ. ඒ නිවුන් දරුවන් ලැබුණට පස්සේ. මේ හරියට අලි එනවා ටිකක් අඩුයි. මොකද දරුවන්ව ආරක්ෂා සහිතව තියාගන්න පුළුවන්නේ.
එතකොට කලින් හිටපු ගෙදර...
ඒ ගේ තියෙන්නේ මීට කිලෝමීටරයකට විතර එහායින්. ගෙයක් කිව්වට කාමරයයි කුස්සියයි. ඒ හරිය මහ මූකලාන. ගෙවල් ඇත්තෙම නැති තරම්. රෑට ඒ ගෙදර ඉන්නවා කියන්නේ ඉතින් මරණය අතේ තියාගෙන ජීවත්වෙනවා වගේ තමයි. මේ පැත්තේ ගොඩක් අයට කරන්ට් තිබුණට අපිට තිබුණේ නැහැ.
අනිත් අය අලි එනවට විදුලි රැහැන් ඇදලා මුළු ගේ පුරාම ලයිට් දාලා තියෙන්නේ. අලි විදුලියට බයයිනේ. උන් එතකොට ඒ ගෙවල් තියන පැතිවලට යන්නේ නැහැ. අපි කුප්පි ලාම්පුවෙන් රැය ගෙවාගන්න අය.
අනන්තවත් අපි දෙන්නගේ ඉස්සරහට අලි ඇවිල්ලා තියෙනවා. සොබාදහම වුණත් අපිට පිහිට වෙනවනේ. මුකුත් කරදරයක් වුණේ නැහැ.
ඊට පස්සෙද ගහ උඩ පුංචි පැලක රැය පහන් කරන්න හිතුවේ?
හැම රැයක්ම මේ විදිහට බයෙන් ඉන්න බැරි නිසා අන්තිමට ඒ පැලේ රැය පහන් කරන්න හිතුවා. ඉනිමඟ දිගේ පැලට යන එක සාමාන්‍ය කෙනෙකුට ලෙහෙසි දෙයක් වුණාට කුසක් දරාගත්ත කෙනෙක්ට ඒක පහසු දෙයක් නෙවෙයි. එයා හරි අමාරුවෙන් පැලට නැග්ගේ බැස්සේ. ඒකෙන් එයා සෑහෙන දුක් වින්දා.
අපි යමු ද ඒ පැල දිහාවට. ඒත් අශෝකට අැවිදින්න අමාරුයි නේද?
මට මොන අමාරුවක් ද මේ අමාරුවත් එක්ක මම දවසට කොච්චර නම් ඇවිදිනව ද...
එහෙනම් කතාවේ ඉතුරු ටිකත් කතා කරගෙනම යමු අපි ඒ පැත්තට.
දැන් අපිට කිරි කැටියෝ තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම පිරිමි දරුවන්. තවම නම් දාලත් නැහැ. ඊළඟට ලොකුම ප්‍රශ්නේ වුණේ මේ දරුවෝ තුන්දෙනාව ආරක්ෂා සහිතව බලාගන්න එක. කිරිසප්පයනුත් එක්ක ඒ පැලට නඟින්න බැහැනේ. ඉතින් අපි මේ ගමේ කරන්ට් තියෙන වෙනත් ගෙයක් කුලියට ගත්තා. ඒ ගේ තමයි අපි දැන් ඉන්නේ.. දුවව හදාගත්තෙත් හරි අමාරුවෙන්.
එතකොට අශෝකට මේ අනතුර වුණේ?
මම ආබාධිත වුණෙත් අලියෙක් නිසයි. ඒ අලියා මගේ මූණ ඉස්සරහටම ආවා. ඒකත් ඒ පැල ළඟදිමයි වුණේ. හදිස්සියට මගේ කකුල ලිස්සුවා. උකුල් ඇටේට හානි වෙලා තියෙන්නේ. දැන් සිංහල බෙහෙත් කරනවා. මාස දෙකක් වගේ වෙනවා මේ අනතුර වෙලා. හැබැයි අලියගෙන් කරදරයක් වුණේ නැහැ.
අශෝක රැකියාව විදිහට කළේ....
අපි කසාද බැඳපු කාලේ මම හොටෙල් එකක වැඩ කළා. කොවිඩ් නිසා ඒ හොටෙල් එකත් වැහිලා ගියා. ඊට පස්සේ දිගටම මම කුලී වැඩ කළේ. කකුලත් එක්ක දැන් එහෙම වැඩක්වත් කරගන්න බැහැ. හැබැයි ගමේ මිනිස්සු ගොඩක් අය දැන් උදවු කරනවා.
ඔහු නැවතුණේ කුඩා නිවෙසක් අසලයි. මේ පැත්තටම තිබුණු නිවෙස් කිහිපයකින් එකකි එය.
මේ තියෙන්නේ අපි දවල් කාලයේ ජීවත් වෙච්ච ගෙදර.. අර ඈතින් පේන්නේ ඒ පැලනිවෙසේ සිට මීටර් තුන්සීයක් පමණ ඉදිරියට ගියවිට ගස උඩ ඉදිකර ඇති ඒ පැල හමුවේ.
මේ ඉඩම වෙන කෙනෙක්ට අයිති එකක්. කාලයක ඉඳලා මේ ගහ උඩ පැලක් හදලා තිබුණා. ඒ අයගෙන් අහලා තමයි අපි මේ පැලට ආවේ.
මේ පැලේ අවුරුදු දෙකහමාරක් විතර රැය ගෙව්වා. එක හරිම අමාරු කාලයක්. පොඩි කෙල්ලව මැද්දේ තියාගෙන අපි දෙන්නා දෙපැත්තේ නිදාගත්තා. බිරියට ළමයා ලැබෙන්න කලින් දවසෙ රෑත් මේ පැලේමයි අපි නිදාගත්තේ. දුවයි බිරියයි මායි මේ පැලේ තමයි හිටියේ.
මේ ගහ තියෙන ඉසව්වේ ඔවුන් දිවා කාලයේ දිවි ගෙවූ පැල්පත ඇරෙන්න වෙනත් නිවෙසක් පෙනෙන්නටවත් නොතිබුණි. අලි බිය වැඩියෙන්ම ඇති මෙවැනි ඉසව්වක ගහක් උඩ පුංචිම පුංචි පැලක පවුලක් අවුරුදු දෙකක් නෙවෙයි එක් රැයක් පහන් කිරීමත් හිතාගත නොහැකිය.
මේ පැල ආසන්නයේදිම හමු වූ ගමේ පදිංචිකරුවකු වූ ටී. සිරිපාල කිව්වේ මේ වගේ කතාවක්...
අපේ ගමේ පදිංචි වෙලා ඉන්නවා පවුල් තුන්සීයකට වැඩි පිරිසක්. මෙහෙ ඉන්න වැඩි දෙනෙක් ගොවිතැන් කරලයි ජීවත් වෙන්නේ. හැම ගොවිතැනක්ම රැකගන්න මිනිස්සු දවල් කාලයේ වගේම රෑ එළිවෙනකම් නිදි වර්ජිතවයි ඉන්නේ. හවස හතර පහ වෙනකොට අපේ ගමේ පාරක මිනිහෙකුට යන්න බැහැ. කොයි වෙලාවේ අලිය ගහයිද දන්නේ නැහැ. අලි කරදරේ නිසා ගොවිතැනුත් සාර්ථක නැහැ. මුළු ගමම අසරණ වෙලා ඉන්නේ.
ඔහුත් සමඟ කතාබහ කරන ගමන් මේ පුංචි පැලේ ඡායාරූප කිහිපයක් ගැනීමටත් අප අමතක කළේ නැහැ. නැවත අශෝකගේ නිවෙස වෙත පියමං කළේ ඒ දිරිය කාන්තාව සමඟත් වචනයක් දෙකක් කතා කිරීමටයි.
එන අතරමඟදී හමු වූයේ ඒ ගම්පියස්සේ තවත් පදිංචිකාරිනියක්. ඇය එච්. ආරියවතී. ඇය මුළු ගම්මානයම වෙනුවෙන් කටහඬ අවදි කළේ මේ විදිහට.
අපේ දරුවෝ උදේට ඉස්කෝලේ යවන්නේ පුදුමාකාර බයකින්. ඉස්කෝලේ ගියත් ඉස්කෝලේ වත්ත පුරාම ඉන්නේ අලි. පහුගිය දවස්වල ඉස්කෝලේ වතුර බොන්න තියෙන ටැංකි ඔක්කොම කඩලා දැම්මා. පන්තිත් කඩනවා. මේ නිසා අපේ දරුවෝ ඉගෙන ගන්නවට වඩා බයකින් තමයි ඉස්කෝලේ ගියත් ඉන්නේ. මේ නිසා ගොඩක් දරුවෝ පාසල් යන්නෙත් නැහැ. මේ අලි ගැටලුව කාටත් එක විදිහට බලපාලා තියෙන්නේ.
අශෝකලාට විතරක් නෙවෙයි මේ ගමේ හැමෝම අලි ගැටලුවෙන් පීඩා විඳිති. ලොකු පොඩි කාටත් අලි ගැටලුව එක ලෙස බලපා අැති බව නොරහසකි. නැවත අපි අඩිය ඉක්මන් කළෙමු.
අපි එනකම් ඇය පෙරමඟ බලා සිටියේ කුළුඳුල් දරුවන් තිදෙනාවත් තුරුලු කරන්...
දරුවන් තුන් දෙනෙක් බලාගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයිනේ. ගිහානි තනිවමද දරුවන් බලාගන්නේ...
අනේ මොන දුකක් තිබ්බත් මම මේ දරුවෝ තුන්දෙනාට පණ වගේ ආදෙරයි. මේ තුන් දෙනා මගේ ජීවිතය වෙලා ඉවරයි. අපි කුලියට ඉන්න ගෙදර අක්කා කෙනෙක් ඉන්නවා එයත් මට උදවු කරනවා. දරුවො තුන්දෙනාටම මවුකිරි දෙන්නේ. මාරුවෙන් මාරුවට කිරි දෙනවා. කීප දෙනෙක් දරුවන් හදාගන්නත් ඉල්ලුවා. කෝටියක් දුන්නත් මම මගේ දරුවෝ දෙන්නේ නැහැ.
දරුවන් තිදෙනෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගෙන හිටිය ද?
මුලින්ම ස්කෑන් කරද්දි ඩොක්ටර්ස්ලා කිව්වෙ දෙන්නෙක් කියලා. අන්තිම මාස දෙකේදී වගේ තමයි අපිට දරුවන් තුන්දෙනෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්න ලැබුණේ. මොන දුකක් තිබ්බත් ඒක දැනගත්ත මොහොතේදී කියාගන්න බැරි සතුටක් දැනුණා. එවෙලෙමයි අපි තීරණය කළේ මේ දරුවෝ තුන්දෙනාව අපි කොහොම හරි හදාගන්නවා කියලා. අපිට මේ දරුවෝ තුන්දෙනා වැඩි නැහැ.
ගහක් උඩ පැලක ගැබිනි මවකට රැය පහන් කරන්න වීම කොපමණ කටුක අත්දැකීමක් වෙන්න ඇති ද?
මේ දරුවෝ තුන්දෙනා බිහි කරන්න මම මහ දුකක් වින්දා. බිහි කරද්දි විඳපු වේදනාවට වඩා කුස රැක ගන්න විඳපු දුක වැඩියි. ඒ මාස දහයේ මගේ කුසේ ඉන්න දරුවෝ රැකගන්න මම හැම රැයක්ම පැලක් උඩ සැමියා සහ මගේ ලොකු දුව එක්ක රැය පහන් කළේ. ඒවා සුන්දර රාත්‍රීන් නෙවෙයි මදුරුවෝ තළ තළ මුළු රැයම නොනිදා හිටිය රාත්‍රීන්. අපි උඩ ඉද්දි අලි රංචු පහළ ඉන්නවා. ඉතින් අලින්ගේ සද්දත් අහගෙන තමයි අපි උඩට වෙලා ඉන්නේ.
නිදි නැති ඒ රාත්‍රිවල ජීවිතයේ බොහෝ දේවල් ගැන ගිහානි කල්පනා කරන්න ඇති.....
අපි දෙන්නා එළිවෙනකම් කල්පනා කළේ ලැබෙන දරුවන් පැලේ තියාගෙන ජීවත් කරවන්නේ කොහොමද කියලා. අපේ දුක දැකලා සඳගිරි සෑයේ පොඩි හාමුදුරුවෝ අපිව බලන්න මෙහෙ වැඩියා. උන්වහන්සේ ලක්ෂ 20ක් වටිනා නිවෙසක් ඉදිකරන්න අපිට පොරොන්දු වුණා. උන්වහන්සේ අපේ දුක දැකලා
අපිට පිහිට වුණා. මට මේක හීනයක් වගේ. මෙහෙම දෙයක් ගැන අපිට පොඩිමවත් බලාපොරොත්තුවක් තිබිලා නැහැ. අපි මෙහෙම හීන දකින්නත් බයයි. ඒ අන්තිමට ඒ හීනෙන් අපේ හිත් රිදෙන නිසා.
ඇය සැබැවින්ම දිරිය මවකි. ඇය වගේම මේ ගමේ හැම ගැහැනියක්ම, හැම පිරිමියෙක්ම හැම දරුවෙක්ම එකම ගැටලුවකින් පීඩා විඳිති. පුවක්පිටිය ගම්මානයෙන් ඇසෙන මේ අනුවේදනීය කතාවට ඉක්මන් සාධාරණයක් ඉටුවීම අපේ එකම පැතුමයි. ඒ සිතුවිලිත් හිතේ තබාගෙන අප මේ ගම්මානයෙන් පිටත් වුණේ ලොකු බරකුත් හිතේ තියාගෙනයි. අැඳිරි වැටෙන්න පෙර පිටත්වන ලෙස ගම්මුන් පැවසුවේ මාර්ගයට වන අලි පැමිණෙන නිසාය. එබැවින් ඇඳිරි වැටෙන්නට මත්තෙන් අප කොළඹ බලා නැවත ගමන් ඇරඹුවෙමු.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස