අකීරාට බැරිවුණේ කතා කරන්න විතරයි

පැල්මඩුල්ලේ අකීරා ගැන සමීප අතීත මතක
ජූලි 29, 2024

දායක මහත්මා :- ස්වාමීන්වහන්ස, අපේ ගෙදර ඌරෙක් ඉන්නවා. ගෙනත් දෙන්නද?

දිනක් ආරණ්‍ය සේනාසනයට පැමිණි දායක මහත්මයෙක් ස්වාමීන්වහන්සේගෙන් එසේ අසන්නට විය.

ස්වාමීන්වහන්සේ :- කොහොමද මහත්මාට එයා ලැබුණේ.

දායක මහත්මා :- කුඹුරක අතරමං වෙලා හිටියේ ස්වාමීන්වහන්ස, දඩයක්කාරයෝ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මස් කරලා. මම යද්දි අනිත් පැටවුත් මස් කරලා. මම මෙයාව මරන්න දෙන්නේ නැතුව සල්ලි දීලා බේර ගත්තා. එයා අපිට හරිම හීලෑයි අපේ ස්වාමීන්වහන්ස.

ස්වාමීන්වහන්ස:- හොඳයි මහත්යා අරන් එන්න. පසු දිනම ත්‍රීවීල් රථයකින් එයාව ආරණ්‍ය සේනාසනයට අරගෙන ආවා. ඒ අකීරා තපෝවනයට ආ ආකාරයයි.

"අකීරා" හරිම බුද්ධිමත් කෙනෙක්. එයාට අපේ භාෂාවෙන් කතා කරන්න බැරි වුණාට හොඳටම තේරෙනවා. අපේ අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනය අතිවිශාල වනාන්තරයක්. මේ කැළේම වෙන වෙනම ජීවත්වන ඌරෝ රංචු ඉන්නවා. "අකීරා" ඒ කිසිම ඌරෝ රංචුවකට එකතු වුණේ නැහැ. කැළේ ඉන්න ඌරෝ අකීරා ළඟට ආවත්, අකීරා ඒ අයව එළව ගන්නවා. ළඟට එන්න දෙන්නේ නැහැ. ඒ වුණාට අකීරා කැමති පොඩි හාමුදුරුවෝ ළඟටම වෙලා ඉන්න. අකීරාගේ යාළුවෝ එයාගේ වරිගේ අය නෙමෙයි. පොඩි හාමුදුරුවරුයි.

"අකීරා" තපෝවනයට ආපු දවසේ සිටම සිටියේ නිදැල්ලේ ඇවිදින්න ඉඩ දීලා. එහෙම කළේ එයාට කැළේ ඉන්න ඌරන්ට එකතු වෙන්න ඉඩ දිය යුතු නිසා. ඒත් අකීරා ජීවත් වුණේ ප්‍රධාන ආවාසය ඉදිරියේමයි. එයා කැළේට ගියේ නැහැ. තවත් චූටි කියලා ඌරෙකුත් ගෙනත් දුන්නා. එයානම් කැළේ අනිත් ඌරන්ට එකතු වුණා. ඒත් අකිරා කැළේට එකතු වුණේ නැහැ. අකීරා ධාතු මන්දිරය ඉදිරිපිට දොරකඩ ළඟයි නිදා ගත්තේ. තපෝවනයට ආපු දවසේ සිට මැරෙනකම්ම එයා ජීවත් වුණේ ප්‍රධාන ආවාසය ඉදිරිපිට දොරකඩ අයිනේමයි. පොඩි හාමුදුරුවරු පහළ තපෝවනයේ දොළ ළඟට වඩින වේලාව අකීරා දන්නවා. එයා බලන් ඉන්නේ පොඩි හාමුදුරුවෝ වඩිනකම්. අකීරා බෝල ගෙඩියක් වගේ. පොඩි හාමුදුරුවෝ ස්නානය කරන්න යද්දි එයත් පැද්දි පැද්දි ඒ පිටිපස්සෙන්ම යනවා. වතුරට බැහැලා එයත් හොඳටම සෙල්ලම් කරනවා. දානෙට වඩිද්දි අකීරත් පිණ්ඩපාතයේ වඩින ස්වාමීන්වහන්සේලාගේ පෝලිමේ පිටිපස්සෙන්මයි වඩින්නේ. ගෙඩිය නාද කරන වේලාව අකීරා හොඳටම දන්නවා. ගෙඩිය නාද කරද්දි කොතන හිටියත් අකීරා එතන. අකීරට කෑම දුන්නේ කෝවිද කියන පොඩි හාමුදුරුවෝ. එයාගේ කෑම දාන්න වෙනම තැනක් තියෙනවා. එයා එතනට යන්නේ පොඩි හාමුදුරුවන්ගේ පිටිපස්සෙන්ම රවුමට කැරකි කැරකී.

අකීරා කතා කරන විදිහත් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. පූසන් ආදරේට පුරු පුරු ගානවා වගේ අකීරත් හීන් හඬකින් මුනු මුනු ගානවා. එතකොට අපි දන්නවා. මෙයා ආදරෙන් කතා කරනවා කියලා. එයාගේ ගොරවනවා වගේ හඬත් ආදරය පිට කරන හඬක්. ඒත් සෙනඟනම් ඒ හඬට හොඳටම බයයි. ඒත් ඒ අකීරා කතා කරන භාෂාවයි ඒ.

අකීරා බුද්ධ වන්දනා හඬ අහන් ඉන්න හරිම ආසයි. උදේ 5.00 බුදුන් වඳින වෙලාවටයි හවස 6.00 බුදුන් වඳින වෙලාවටයි වරද්දන්නේ නැතුවම අකීරා ධාතුමන්දිරය ළඟ දොරකඩට එනවා. "අකීරා" බුදුන් වදින හඬයි, පිරිත් හඬයි අහන්න හරිම ආසයි. පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැතුව හොඳටම පිරිත් අහනවා.

"අකීරා" හිනාවෙනකොට ඒක අපිට තේරෙනවා. එයා සතුටින්ද දුකින්ද කියලා අපිට තේරෙනවා එයාගේ හැඟීම්වලින්. කාලයක් අපිත් එක්ක එකට හිටිය නිසා වෙන්න ඇති. කැළේ පැත්තෙන් ශබ්දයක් ඇහුණත් අකීරා දුවන් එන්නේ ප්‍රධාන ආවාසය ළඟටමයි.අකීරා හැමෝම එයාව අතගානවාට කැමති නැහැ. එයාට ඕන ලොකුස්වාමින් වහන්සේ හරි පොඩි හාමුදුරුවරු හරි එයාව අතගානවට. ඔළුව අතගා ගන්න ඕන වුණහම අකීරා ළඟට ඇවිත් ඔළුව දික් කරනවා. අතගෑවේ නැත්නම් මොනවදෝ මුනු මුනු ගානවා. ඒත් අතගෑවේ නැත්නම් හොම්බ කකුලේ වද්දනවා. එතකොට නම් අතගාන්නම ඕන. නැත්නම් එයා තරහා වෙනවා. හැබැයි එයාව ඉක්මනටම යාළු කර ගන්නත් පුළුවන්.

"අකීරා" ගොඩක් කැමතියි එයාගේ බඩ අත ගානවට. බෙල්ල අතගානවට. පොඩ්ඩක් බඩ අත ගෑවොත් සම්පූර්ණයෙන්ම බිම පෙරළිලා බඩ උඩ පැත්තට හරවගෙන හීනියට මොනවදෝ කියවනවා. හැබැයි හොම්බ අත ගානවට එච්චර කැමති නැහැ. හොම්බ අතගාන්න දෙන්නේ නායක ස්වාමීන්වහන්සේටයි, කෑම දෙන පොඩි හාමුදුරුවන්ටයි තවත් දෙතුන් නමකටයි විතරයි.

"අකීරා" අපේ පුංචි පෙරේති. කැවිලි හරි පලතුරු හරි අතේ තියෙනවා දැක්කොත් කොතන හිටියත් අකීරා එතන. එයාගෙ පංගුව දෙන්නම ඕ‍ෙන. නැත්නම් එතනින් එහාට වඩින්න දෙන්නේ නැහැ පස්සෙන්මයි. කොහොම හරි ඉල්ල ගන්නවාමයි. ලොකු ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවකට පිටත් වෙන්න ප්‍රධාන ආවාසයෙන් එළියට වඩිද්දි අකීරත් ඉන්න තැනින් එළියට එනවා. ලොකු ස්වාමින් වහන්සේ වාහනයට වඩිනකම් පිටිපස්සෙන් යනවා. හැබැයි එතකොට නම් මූණ හරිම දුකෙන් තියෙන්නේ. ධර්ම දේශනාව ඉවර කරලා ආපහු වඩිද්දි අකීරා වාහනය ළඟට දුවගෙන එනවා. එතකොට නම් එයාගෙ පුංචි වලිගය හොල්ල හොල්ල හරිම සතුටින් එයාට පුළුවන් විදිහට උඩ පනිනවා.

අකීරට අපි කියන දේ හොඳටම තේරෙනවා. එයා කියන දේත් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. තපෝවනයට එන හැමෝම අකීරට හරිම ආදරෙයි. හුඟක් අය අකීරත් එක්ක ඉන්න ෆොටෝ ගන්නවා. එයාට කන්න දෙනවා. දෙස් විදෙස් ජනතාව අතර අකීරා ගොඩක් ප්‍රසිද්ධයි. එයාට හැමෝම ආදරෙයි. ඒත් එයාව නිතරම අතගානවට නම් අකීරා එච්චර කැමති නැහැ. එයාට ඕ‍ෙන පාඩුවේ ඉන්න. සමහර වෙලාවට එයා කලින් භවයේ පැවිදි වෙලා හිටිය කෙනෙක්ද දන්නේ නැහැ. මොකක් හෝ කර්මජ වරදකට අද මෙහෙම උපදින්න ඇති.

අපේ ලොකු ස්වාමින් වහන්සේට වස් වසන්න ඔස්ට්‍රේලියාවට වඩින්න සිද්ධ වුණා. ඒ නිසා අන්තිම දින කිහිපය තරමක් කාර්යබහුල වුණා. අකීරට ඒක දැනුණද දන්නේ නැහැ. එයා අපිව දාලා යන්නම ගියා.

නායක ස්වාමීන්වහන්සේ ඔස්ට්‍රේලියාවට වඩින්න කලින් අකීරාගේ පාංශුකූලය සහ අවසන් කටයුතු සියල්ලම සිදු කරලයි වැඩම කළේ. අපි අකීරාගේ හත් දවසේ දාන පිංකමත් කරලා පුණ්‍යානුමෝදනා කළා.

අකීරා ඉක්මන් භවයකදීම සසරින් එතෙරව නිවනින් සැනසෙත්වා !

රත්නපුර, පැල්වාඩිය, මිණිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයේ අකීරා සමඟ සමීපවම සිටි පොඩි ස්වාමීන්වහන්සේ නමක් සමඟ අකීරා ගැන කළ සාකච්ජාවකි.

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ