වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කවියෙන් හැඩ වූ 'මිහිරි මිදි අතු'
කවියෙක් කවිකාරියක් කියන්නෙ විශ්වකර්මයෙක් නෙවෙයි ඒක ඇත්ත. ඒත් කවියෙක්, කවිකාරියක් කියන්නෙ, ඊටත් වඩා විශ්මිත දේ කළ හැකි කෙනෙක්.
සැබෑ කවියෙකුට සිය පරිකල්පන නිම් වළලු විහිදා හැරිය හැකි දුර අසීමාන්තිකයි. එක් තැනක හිඳිමින් විශ්වය සිසාරා පියඹා යා හැකියි. එසේ ගොස් සොයා ගෙනැවිත් දෙන දේ රසිකයා විස්මයට පත් කරවයි. ඇය රොෂෙල් ෆර්නැන්ඩු. ඇය කවිකාරියක්. 'මිහිරි මිදි අතු' ඇගේ තෙවැනි කාව්‍ය සංග්‍රහයයි. මේ රොෂෙල් ඇගේ නවතම කෘතිය ගැන අදහස් බෙදා ගැනීමට එක් වූ අවස්ථාවයි.
'මිහිරි මිදි අතු' මගේ තුන්වැනි කවි එකතුව. මගේ පළමුවැනිම කවි පොත " ඔව් ඒක හාදුවක්" ඒක ග්රන්ථ ප්රකාශනයක්. දෙවැනි කවි පොත කළේ මමයි මගෙ හොඳම මිතුරිය චතුරි දමයන්තියි එකතු වෙලා. ඒක මුද්‍රණය වුණේ ගොඩගේ ප්රකාශනයක් විදිහට.. ඒක අපි නම් කළේ " වනගුල්මයෙන් පලා පැහැයත් සරදාකාසයෙන් දිලිසුමත්" නමින්. මීට අමතරව ගොඩගේ අත්පිටපත් තරගයට සහභාගි වෙලා එහි අවසන් වටයේ පොත් අතරට තේරුණු කෙටි කතා පොතකුත් මුද්‍රණය වුණා. ඒ " පිච්ච සුවඳයි තාමත් රාධා" නමින්.'
'මිහිරි මිදි අතු' කාව්‍ය සංග්‍රහයේ සංයුතිය ගැන කතා කළොත්?
එහි බොහෝ කවි බැලූ බැල්මට සුන්දර වචන සහ සුරඟන කතාවලට සමීප බවක් දැනෙන ඒවා වුවත් ඒවායෙ යටි අරුත් බොහෝ විට යථාර්ථවාදී ඒවා. අපි එදිනෙදා ජීවත්වෙන ලෝකයේ නිරන්තරයෙන් අපි අහන දකින පොදු කාරණා තමයි මම කවිවලට සරලව සහ සියුම්ව ගොනු කරල තියෙන්නෙ. විශේෂයෙන්ම කුටුම්භ ජීවිතය, ප්‍රේමය, සොබාදහම සමඟ මුසු කරලා ලියූ කවි. ඉතින් කියවන ඕනෑම කෙනෙකුට ඒවා රසවිඳීමට අමතරව හදවතට කතා කරන , ජීවිතයට සමීප බවක් දැනෙන මාතෘකා නිසා මම හිතනවා "මිහිරි මිදි අතු" යම් තරමක් හෝ රසික පිරිස් අතරට යාවි කියා.
මම තවම කුඩා කවිකාරියෙක් වුණත් ෆේස්බුක් හරහා මා වටා යම් ආකාරයක ආදරණීය රසික පිරිසක් ගොඩනැඟුණා. ඔවුන් නිරන්තරයෙන් මාව කියවමින් ඔවුන්ගේ අදහස් පළ කරනවා. කවි පොතක් කරන්නට යැයි මාව දිරිගන්වනවා. ඉතින් මම හිතනවා ඔවුන් බොහොම ප්‍රිය කරන මගේ කවි නිර්මාණ කවි පොතක් වශයෙන් නිකුත් වුණාම ඔවුන් එය බොහොම සතුටින් සහ ආදරයෙන් භාරගනීවි කියා.
මෙහි කවිවල වචන ගැන ඔබ දැඩි ලෙස උනන්දු වී ඇති බව පේනවා. යටිපෙළක් මතු කළ බවක් පේනවා. ..
මම කලින් පැනයෙදිත් සඳහන් කළා වගේ මම ව්‍යංගාර්ථය ගැන බොහොම උනන්දු කවිකාරියෙක්. තවමත් මම කවියට ආධුනිකයි. මේ පුළුල් , සුන්දර විෂයය හදාරමින් යන කුඩා කවිකාරියෙක් වශයෙන් මම නිරන්තරයෙන් අලුත් යමක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. ඉතින් මම වචන සම්බන්ධයෙන් වුණත් පුංචි පුංචි අත්හදාබැලීම් කරනවා. ඒ අතරේ මට ඉස්මතු කරන්න ඕනෙ ගැඹුරු කාරණා බොහොම සරල, සුන්දර වචන උඩ සැහැල්ලුවෙන් ඉස්මතු කිරීම ගැන මම වඩා උනන්දුයි. එය කොතරම් දුරට සාර්ථකදැයි මම තවම දන්නෙ නැහැ. ඒත් රසික ප්‍රතිචාර එක්ක මට යම් ආකාරයක හැඟීමක් තියෙනවා මම මගේ උත්සාහයට ළඟා වෙමින් ඉන්න බව.
ගොඩක් වෙලාවට කතාබහට ලක්වෙන දෙයක් තමයි අලුතෙන් කවීන් බිහිවෙන්නේ නැහැ කියන එක. මේ ගැන මොකක්ද හිතන්නේ ?
ඕනෑම දෙයකට යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඇත්ත. හිතට දැනෙන හැඟුම් කොහේ හෝ කුරුටු ගෑ පමණින්ම කවියෙක් නිර්මාණය වෙන්නෑ. ඒත් මම හිතනවා නිරන්තර කුරුටු ගෑමෙන්, ඒ කුරුටුගෑම්වලට කොහේ හෝ මොනයම්ම හෝ ඉඩක් නිර්මාණය වීමෙන් කවියෙක් බිහිවෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා කියා. මොකද ඒ තමයි අභ්‍යාසය. හොඳ කවි බිහිවෙන්නෙ නිරන්තර අභ්යාසයෙන්නෙ. ඉතින් හෙමින් හෙමින් හෝ ඒ අභ්‍යාසය නිරන්තර සිදුවෙනවා නම් කවියේ අනාගතය ගැන අවිනිශ්චිතතාවක් තබා ගත යුතු නෑ. කවියෙක් මරා දැමුවත් කවිය මරාදමන්න බෑ. ඒ නිසා මම විශ්වාස කරනවා අද හෙට නැතත් සංවේදී මිනිසුන් ඉන්න තාක්, ඔවුන් ඔවුන්ගේ සිතුවිලි ලියන තාක් කවිය කොහොමින් කොහොමින් හෝ පවතීවී. ඒ අතරේ ඔවුන්වත් නොදැන හෝ දැන සිදුවන නිරන්තර අභ්‍යාසයෙන් හොඳ කවි කිවිඳියන් අනාගතයෙත් බිහිවේවි.