වර්ෂ 2024 ක්වූ December 30 වැනිදා Monday
මලෙන් උපන් රස වෑහෙන චුට්ටෝ කැමැති බට්ටෝ
වැව් තලාව සිඹ ගලා එන සුළං රැල්ල වෑකණ්ඩියේ ඇති නුග පෙළෙහි අතු ඉති නළවයි. නුග මණ්ඩලයේ මේ සරල රිද්මය සුළං කෝදුව විසින් මැන බලන සැටියකි. බැස යන හිරුගේ ආලෝකයෙන් නෙළුම් පත්‍ර මත නටන පිනි දිය ඒ මේ අත විසිරෙයි. පෙති විහිදාලමින් විකසිත වන මේ නෙළුම් මල් බුදු පුදට පමණක් නොව ඖෂධීය ගුණ පිරි ආහාරයක් ලෙසත් ගැමියා සලකයි. නෙළුම් රේණු, අල, දඬු, මල්, ඇට, මද හා කොළ ආදී සියලු අංග ඔසු සඳහා යොදා ගනු ලබන්නේ ඒ නිසාවෙනි. වෙසක්, පොසොන්, ඇසළ පොහොයන් පසුවෙද්දි නෙළුම් මලට තියෙන වටිනාකමත් ටිකෙන් ටික අඩු වෙද්දි නෙළුම් බට්ටන්ට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසයි මේ දිනවල අනුරාධපුර ප්‍රධාන පාර දෙපස හරි හරියට නෙළුම් බට්ටන් විකුණන්නේ.
සුදු නෙළුම්, රතු නෙළුම් දෙකේම නෙළුම් බට්ටො හැදෙනවා. නෙළුම් මල පරවෙලා කාලයක් යද්දි නෙළුම් බට්ටො ලොකු වෙනවා. අපිට කලින් පන් කුකුල්ලු, කිරල්ලු, දියකාවෝ, සේරු ඇවිත් නෙළුම් බට්ටො කනවා. එයාලනෙ ඉතින් අයිතිකාරයො. ඔය කියපු අයගෙන් බේරිලා ඉතුරු වෙන ඒවා තමයි අපි කඩන්නෙ. නෙළුම් බට්ටන්ගෙන් වැවට වැටෙන ඉතිරි බීජවලින් තවත් නෙළුම් පැළ හට ගන්නවා.
මෙම නෙළුම් ශාකයේ බීජ රෝස්කර සෘජුවම ආහාරයට එක්කර ගැනීම ද, සලාද, සුප් හා රසකැවිලි ආදී ලෙස ද මෙම නෙළුම් බීජ ආහාරයට ගැනෙනවා. ඒ විතරක් නෙවෙයි මස් වර්ග හා රතු බෝංචි ඇට පිසීමේදී එම වෑංජන වඩාත් රසවත් කර ගැනීමට නෙළුම් බීජ එක්කිරීමට එම රටවල වැසියන් අමතක කරන්නේ නැහැ. සංචාරක ආකර්ෂණය අතින් ඉහළ ස්ථානයක සිටින තායිලන්තය තම විදේශීය සංචාරකයින්ට වෙනස්ම වූ අත්දැකීමක් ලබාදීමට නෙළුම් බීජ එය අඩංගු ඵලය සමඟම තම්බා වීදි ආහාරයක් (street food) ලෙස අලෙවි කිරීම ද සිදු කරනවා.
අපේ රටේ වැව් පද්ධති පිළිසකර කිරීමත්, අලෙවියට නෙළුම් මල් කැඩීමත්, හැදෙන නෙළුම් බීජ කඩා ගැනීමට ඇති අපහසුවත් නිසා නෙළුම් බීජ, ආහාරයක් ලෙස එතරම් ප්‍රචලිත නොවීමට හේතු වූ කාරණා ලෙස සැලකිය හැකියි. වැව් ආශ්‍රිතව ජීවත්වන අපේ ගැමියන් අදටත් නෙළුම් මල් පරවීමෙන් පසු හටගන්නා බීජ (නෙළුම් බට්ටන්) එකතුකර එයින් රසවත් ව්‍යාංජන හා බත් වර්ග පිළියෙල කරනු ලබනවා.
නෙළුම් බීජවලින් ව්‍යාංජන පිළියෙල කිරීමේදී නොමේරූ නෙළුම් බීජ හොඳින් තම්බා ඉන්පසුව බීජය දෙපලු නොවන ලෙස බීජාවරණය හා බීජ පත්‍ර ඉවත් කර ගැනීම සිදුවෙනවා. (මැද ඇති බීජ පත්‍ර ඉවත් කරන්නේ එය ආහාරයට ගැනීමේදී තිත්ත රසයක් ඇතිවන නිසයි) ඉන්පසුව මෙම නෙළුම් බීජවලට කජු වෑංජනය පිළියෙල කිරීමේදී යොදනු ලබන තුනපහ මිශ්‍රණය එකතු කර පිස ගැනීමෙන් කජු මෙන් ඉතා රසවත් වූ නෙළුම් බට්ටන් වෑංජනයක් පිළියෙල කරගත හැකියි.
නෙළුම් බීජවලින් බත් පිස ගැනීමේදී භාවිතයට ගැනෙන්නේ වියළි නෙළුම් බීජයි. පළමුව මෙම නෙළුම් බීජ වංගෙඩියකට දමා කොටා කළු පැහැති බීජාවරණ කොටස් හා බීජ පත්‍ර ඉවත් කරගත යුතුයි. ඉන්පසු මෙම නෙළුම් බීජ කැබලි පැයක් දෙකක් පමණ ජලයේ පොඟවා කැකුළු හාල් සමඟ මිශ්‍ර කර සාමාන්‍ය බතක් පිළියෙල කරන අයුරින් පිස ගැනීම සිදුකරගත හැකියි. මෙයට පොල්කිරි හා ලුණු එකතු කිරීමෙන් රසවත් කිරිබතක් වුවද ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකියි. නෙළුම් ඇට තම්බලා පොල් එක්ක වගේම, අමුවෙන් කජු වගේ කන්නත් පුළුවන්.
මෙම නෙළුම් බීජ වැඩිපුර ආහාරයට ගැනීමෙන් මත් ගතියක් ඇතිවන නිසා මේවා ආහාරයට ගැනීමේදී සාමාන්‍ය ප්‍රමාණයකින් ආහාරයට ගතයුතු බව නම් ඔබ සිහියේ තබාගත යුතුයි.
පෝෂණ ගුණය
නෙළුම් බීජවල පෝෂණීය ගුණය සැලකීමේදී නෙළුම් බීජ ග්‍රෑම් 100 ක ශක්තිය කැලරි 350 ක්, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 63 - 68 ක්, ප්‍රෝටීන ග්‍රෑම් 17 - 18 ක්, මේදය ග්‍රෑම් 1.2 - 2.5ක්, ජලය 13% ක් ද ආදී වශයෙන් අන්තර්ගත ෙවනවා. ඊට අමතරව සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස් ආදී ඛනිජ වර්ග ද අඩංගුවන බව ද පර්යේෂණාත්මකව සොයාගෙන තිබෙනවා.
කෙසේ වුවද නෙළුම් බීජ ආහාරයට එක්කර ගැනීමෙන් සාමාන්‍ය ආහාරයකට එහා ගිය විශාල ඖෂධීය ගුණ සමුදායක් ඔබට ලැබෙන බව නම් අපි ඔබට කිව යුතුමයි. වකුගඩු රෝග, පාචනය, පිළිකා, අධිරුධිර පීඩනය, මානසික ආතතිය ආදී වූ බොහෝ රෝග සඳහා මෙම නෙළුම් බට්ටන් ගුණදායකයි.
***************
නෙළුම් බට්ටෝ කරිය
මේ රසවත් කරිය සැකසීමට නෙළුම් ඇට අවශ්‍ය ප්‍රමාණයට, ලියාගත් රතු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, රම්පේ හා කරපිංචා, අබ ස්වල්පයක්, පදමට ලුණු, කහ ස්වල්පයක්, අමු තුනපහ කුඩු තේ හැඳි 1/2ක් හා මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, මිටි කිරි කෝප්පයක් සහ දිය කිරි කෝප්ප එකහමාරක් අවශ්‍යයි.
මුලින්ම නෙළුම් ඇටවල පොත්ත ඉවත් කර සුදු පාට මදය වෙන් කරගෙන එය දෙකට පළා මැද ඇති කුඩා කොළපාට නෙළුම් පැළය ඇඟිල්ලකින් සෙමින් ඉවත් කරන්න. නැත්තම් තිත්ත රසයක් එනවා. ඉන්පසු නෙළුම් ඇට සෝදා මැටි භාජනයකට දමන්න.
රතු ලූනු, සුදු ලූනු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, කහ, තුනපහ, මිරිස් කුඩු හා පදමට ලුණු ද එයට එකතු කරන්න. එයටම දියකිරි දමා පියනකින් වසා නෙළුම් ඇට තැම්බෙන තුරු මඳ ගින්නේ පිසින්න. දියකිරි හිඳීගෙන එනකොට උකු පොල්කිරි ද එකතු කර තවත් ටික වේලාවක් පිස ගන්න. මෙහි සුවඳ හා රස කජු කරියට සමානයි.