වෙල්පල්ලෙන් මල්ලවපොර පිටිය ජයගත් පෙදරේරු තාත්තාගේ යකඩ දෝණි

සැප්තැම්බර් 16, 2024

නෙත්මි අහිංසා පෝරුතොට... ඇය මේ මහ පොළොවෙන් මතු වූ වටිනා මැණිකකි. මෙලෙසින් මා ඇය ගැන මුල්ම සටහන් තබන්නේ මෙයට වසර දෙකකට පෙරය. ඒ 2022 වසරේදී ඇය ප්‍රථම වරට මල්ලවපොර තරගයක් ජය ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගනිමින් රටට අභිමානයක් ගෙන ආ දිනයේදීය. නැවතත් ඒ අගනා මැණිකේ වටිනාකමට තවත් අගයක් එක්කර තිබෙන බව දැනගත් දිනයේ මගේ සිතට ආවේ අප්‍රමාණ වූ සතුටකි. ස්පාඤ්ඤයේ පැවැති වයස අවුරුදු විස්සෙන් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට එක් වූ ඇය තවත් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීම ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා පිටියට තවත් ආලෝකයකි.

ජාත්‍යන්තර මල්ලවපොර ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ පොන්ටෙචෙඩ්පා නගරයේ ලෝකයේ රටවල් සියයකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට වඩා අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. මේ තරගාවලියට සහභාගී වී ලංකාවට පැමිණි දිනයේම අප ඇයට සුබ පැතුවේ අපගේ පසුගිය මතකයන් අලුත් කරමිනි. ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩාවේ ජාත්‍යන්තර තරග ජයග්‍රහණ දෙකක් හිමිකර ගත් එකම ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් තබමින් අප ලක් දෙරණට නැවත වරක් ජයග්‍රහණයක් රැගෙන ආ තරගාවලිය ගැන අපි මුලින්ම විමසුවෙමු.

 

ඔබ නැවතත් අපේ මල්ලවපොර ක්‍රීඩා පොත අලුත් කළා. කොහොමද මේ තරගාවලිය?

 

මේ තරගාවලියට ලෝකයේ රටවල් සීයකට වඩා වැඩි සංඛ්‍යාවක තරගකරුවන් සහභාගී වී සිටියා. මම ක්‍රීඩා කළේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ඉදිරියෙන්ම සිටින රටවල් රාශියක් සමඟ. මම මුලින්ම තරග කළේ කසකස්තානයෙ, බල්ගේරියාව හා හංගේරියාවේ ක්‍රීඩිකාවන් සමඟ. ඒ රටවල ක්‍රීඩිකාවන් 10- 00ක් පරාජය කරන්න මට හැකි වුණා. ලෝක ශූර චීන ක්‍රීඩිකාව සමඟ 2 - 2ක් ලෙස තරග කරමින් සිටියදී එම තරගයේදී අවාසනාවන්ත ලෙස මම පරාජයට පත්වුණා. ඉන්පසුව තුන්වැනි ස්ථානය සඳහා රුසියානු ක්‍රීඩකාව සමඟ තරගකර ඇය 6 - 2ක් ලෙස පරාජය කරමින් කිලෝ ග්‍රෑම් 53 බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම හිමි කරගන්න අවස්ථාව ලැබුණා. ඇත්තට මට ලොකුම අභියෝගය එල්ල වුණේ අවසාන තරගයේදී. අනෙක් සෑම තරගයක්ම මම ඉතාම පහසුවෙන් ජය ගත්තා.

 

නෙත්මි මල්ලවපොර ක්‍රීඩාව වැනි ක්‍රීඩාවකින් ඉදිරියට එන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

 

ඒක ඇත්තටම අහම්බෙන් සිද්ධ වුණ දෙයක්. අවුරුදු දාහතරෙදි මගේ බර කිලෝග්‍රෑම් හැට අටක්. මගේ යාළුවා චමෝද්‍යා තමයි මුලින්ම මාව උනන්දු කළේ මේ ක්‍රීඩාවට. එයා මාව මේ ක්‍රීඩාවට එක් කරගෙන ආවේ මගේ බර අඩු කරගන්න පුළුවන් කියල. ඇත්තටම මාස දෙකකින් මම දිස්ත්‍රික් තරග නිතරගයෙන් ජයග්‍රහණය කරලා පළාත් තරගත් ජයගෙන ජාතික තරගාවලියට සහභාගී වුණා. 2018 වසරේ තමයි මුලින්ම මම ජාතික තරගයකට ඉදිරිපත් වුණේ. නමුත් ඒ තරගයේදී මම පරාජයට පත්වුණා. ඊට පස්සේ මට බර අඩු කර ගැනීමට වඩා ක්‍රීඩාව ගැන උනන්දුවක් ඇතිවුණු නිසා හොඳට පුහුණුවීම් කළා. අවුරුද්දක් ඇතුළත මගේ බර කිලෝ ග්‍රෑම් 57 දක්වා අඩු වුණා. ඇත්තටම මේ සියල්ලටම මුල් වුණේ මගේ පුහුණු උපදේශක සුරංග කුමාර සර්. ඔහු මගේ හැකියාව හඳුනාගෙන පුදුම විදිහට උදව් කළා. සර්ට අපව පුහුණු කරන්න හරියට තැනක් තිබුණේ නැහැ. කවුරුවත් ඉඩක් දුන්නෙත් නැහැ. අන්තිමට සර්ගේ ගෙදර පුංචි මඩුවක් හදාගත්තේ හරිම අමාරුවෙන්. සුරංග සර්ගේ නෝනත් මට සෑහෙන්න උදව් කරනවා. ඒ වගේම මගේ පාසල වෙල්පල්ල සංඝරතන මහ විද්‍යාලයේ සියලුම දෙනා මට සෑහෙන උදව් කළා. ඒ විතරක් නෙමෙයි සර් සෑම තරගයක්ම බලන්න එක්ක ගියා. මම පාසල් ගිහින් ඇවිත් තමයි පුහුණුවීම් කලේ. රෑ 11.00 - 12.00 වෙනකම් සෙල්ලම් කරලා උදේ පාන්දර නැඟිටලා ඉස්කෝලේ ගිහින් තමයි මම මේ තරම් ජයග්‍රහණයක් ලබා ගත්තේ.

 

පවුලේ තොරතුරු ටිකක් අපට කියන්නකෝ . . . .

 

මගේ තාත්තා නිශාන්ත පුෂ්ප කුමාර. එයා පෙදරේරු රැකියාව තමයි කළේ. නමුත් තාත්තා වහලකින් බිමට වැටිලා දැන් ඔත්පළ වෙලා ඉන්නේ. එයාට රැකියාව කරන්න අපහසුයි. අම්මා රම්මලී ශ්‍රියානි. අම්මා අපේ ගෙදර වගා කටයුතු කරනවා. තව මට අක්කයි, නංගියි, මල්ලියි ඉන්නවා. අක්කා දැන් විවාහකයි. ඇත්තටම මගේ ක්‍රීඩා පුහුණුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදලක් ලබා දෙනවා. ඊට අමතරව ජාතික මල්ලවපොර සංගමයෙන් අලෙයි මිලාන් මහතා ඇතුළු කණ්ඩායම උදව් කරනවා.

 

නෙත්මි දැන් ජයග්‍රහණ දෙකක් ලබාගෙන තිබෙනවා ඔබගේ ඉදිරි ඉලක්කය මොකක්ද?

 

මල්ලවපොර ක්‍රීඩාව දැන් ඔලිම්පික් ප්‍රධාන ක්‍රීඩා පහට ඇතුළත් කරලා තිබෙනවා. ඒ නිසා 2036 දී ඔලිම්පික් ක්‍රීඩා පදක්කමක් දිනා ගැනීම මගේ ලොකුම හීනය. මේ ක්‍රීඩාව තරමක් වෙනස් ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවේදී ප්‍රතිවාදියා ගැන හොඳ අවබෝධයෙන් ක්‍රීඩා කළ යුතුයි.

 

ප්‍රතිවාදී ක්‍රීඩකයා හඳුනාගෙන ක්‍රීඩා නොකළහොත් පුංචි වරදකින් පවා පරදින්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රීඩාවට පුහුණුව වගේම තාක්ෂණයත් ඉතාම වැදගත්. මම හිතන්නේ ඒකට ජාත්‍යන්තර පුහුණුව අවශ්‍යයි. අපේ පවුලේ තිබෙන ආර්ථික පසුබිමත් එක්ක ඒ වගේ විශාල මුදලක් වැය කරමින් පුහුණු වෙන්න හැකියාවක් මට නැහැ. දැන් මගේ තාත්තා ආබාධිතයි. අම්මා වගා කරලා හොයන මුදලින් තමයි හැම දෙයක්ම කරන්නේ. නමුත් මේ මොන ගැටලු තිබුණත් මම මේ ගමන නවත්වන්නේ නැහැ. බාධක මැදින් ඉදිරියට යනවා.

 

නෙත්මිට දැන් මොකද හිතෙන්නේ ඔබ ආපු ගමන ගැන . . . .

 

මට නිහතමානී සතුටක් දැනෙනවා. මේ ජයග්‍රහණ සියල්ලෙම ලබාගන්න මට උදව් කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අතරින් මගේ මවුපියන් දෙන්නා තමයි ලොකුම කැපවීමක් කළේ. ඊට පස්සේ සුරංග සර්. ඔහු තමයි මාව මේ තැනට ගේන්න ලොකුම ශක්තිය වුණේ. ඒ වගේම ජාතික මල්ලවපොර සංගමය හා අමාත්‍යාංශය ඇතුළු පළාත් මට්ටමෙන් පුහුණු කරන බොහෝ පිරිසක් මගේ ජයග්‍රහණය වෙනුවෙන් උදව් කරලා තියෙනවා. මම හිතනවා ඒ උපකාර උදව් ඉදිරියේදීත් මට නොඅඩුව ලැබෙයි කියලා.