අවුරුදු 60න් පස්සේ ගෞරවනීය වැඩිහිටිවියක් ගෙවන්නට පූර්ව වැඩිහිටි විය සැලසුම් කරගනිමු

ඔක්තෝබර් 7, 2024

 

ඔක්තෝබර් 01දා කියූ සැණින් එක්වරම මතකයට එන්නේ ⁣ජාත්‍යන්තර ළමා දිනයයි. නමුත් ඒ හා සමගාමිව ජාත්‍යන්තර වැඩිහිටි දිනය යෙදෙයි. මව්පියන්ට සලකන, ආගමික, සංස්කෘතික පසුබිමක ජීවත්වන මෙවන් රටක වැඩිහිටියන් වෙනුවෙන් එක් දිනක් .....ඇයි මේ කියා කෙනකුට සිතේවී.

එක්සත් ජාතීන්ගේ සංගමය 1990 වසරේ පැවැති සැසියකදී මෙවන් දිනයක් ලොවට හඳුන්වා දීමේ තීරණයකට එළැඹෙන ලදි. 1991 වසරේ පටන් වසරක් පාසාම ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරේ. වැඩිහිටි සත්කාරය, වැඩිහිටි රැකවරණය, වැඩිහිටි සෞඛ්‍ය.... මේ සියල්ල එකිනෙකට බැඳුණු ඒවාය. ඒවා එකිනෙකට බැඳුණු දම්වැලක පුරුක් වැනිය.

මෙවර වැඩිහිටි දින තේමාව ලෙස ගැනෙන්නේ 'ගෞරවාන්විත වැඩිහිටි දිවියක් උදෙසා සත්කාරක සේවා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම' යන්නයි. වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සහ ඉන් එහාට ගිය වයස් කාණ්ඩවල ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය වැඩිහිටියන් ලෙස ගැනේ. මෙයද වයස අවුරුදු 60 - 69, 70 - 79 සහ වයස අවුරුදු 80 සහ 80න් එහා කාණ්ඩය ලෙස වර්ග කෙරේ. 80න් එහා කාණ්ඩය වයෝවෘද්ධ පුද්ගලයින්ය. වැඩිහිටි කාණ්ඩය ශීඝ්‍ර වැඩි වීමක් තිබියදී අවුරුදු 80න් එහා කාණ්ඩය වඩාත් වැඩි වේගයකින් වර්ධනය වී තිබේ. දැනට කෙරෙන පුරෝකථනයන්ට අනුව 2040 වසර වෙද්දී සෑම හතර දෙනකුගෙන් එක් අයකුම වැඩිහිටි පුද්ගලයකු වේ. මින් වැඩි පිරිස කාන්තාවන් වේ. ඒ අයගේ ආයු කාලය වැඩිවීම ඊට හේතුවයි.

ගෞරවාන්විත වැඩිහිටි වියක් පිළිබඳ කතා කරද්දී එය නිසැකවම සෞඛ්‍යවත් ආයු කාලයක් විය යුතුයි. රෝගී තත්ත්වයන් සමඟ ගත කරන සැඳෑ සමයක් නොවිය යුතුයි. එවිටයි එය ගෞරවාන්විත එකක් වන්නේ. වැඩිහිටිවියත් සමඟින් සෞඛ්‍යය ගැටලු, ආර්ථිකමය ගැටලු, සමාජයීය ගැටලු මතුවේ.

වැඩිහිටියන් වෙනුවෙන්, පනතක්, නඩත්තු මණ්ඩලයක් පවතී. ඔවුන්ට යම් අකටයුත්තක් සිදුවේ නම් මෙම මණ්ඩලය වෙත පැමිණලි කළ හැකිවේ. නඩත්තු මණ්ඩලයේ කටයුතු සිදුවන්නේ උසාවියක මෙනි. එහෙත් මේ පිළිබඳ බොහෝදෙනා තුළ ඇත්තේ අඩු දැනුම්වත් බවකි. මේ නොදැනුම්වත් බව නිසා දුක් විඳිමින් සිටිනවා විනා එය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැතිව සිටී.

වැඩිහිටියන් වඩාත්ම පීඩා විඳිනුයේ බෝ නොවන රෝගවලිනි. ඔවුන් බොහෝවිට එක් බෝ නොවන රෝගයකින් නොව රෝග කිහිපයකින්ම පෙළෙනවා විය හැකියි. රෝහල්වල ඖෂධ ගැනීමට පෝලිම්වල සිටින්නට වේවි. වෛද්‍යවරුන් හමු වීමේදී, ප්‍රතිකාර ගැනීමේදී විවිධ දුෂ්කරතාවනට මුහුණ දෙන්නට වේවි. අවාසනාවකට එවැනි වයස්වල සිටින්නන් බහුතරයක් රක්ෂණ සමාගම්වලින් පවා ආවරණය නොවේ. රැකියාවල නියුතු අවිවාහක දූදරුවන්ට තම මව්පියන් කාර්යාලවල ඇති බහුතරයක් රක්ෂණාවරණවලින් වුව ආවරණය වන්නේ වයස අවුරුදු 65 දක්වා පමණි.

ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීම වැදගත් වේවි. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම කෙරෙහි වඩාත් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඒ නිසාය. එවිට ගමේ රෝහලෙන්, සායනයෙන් වෛද්‍ය හමුවීම් ප්‍රතිකාර ගැනීම් ආදිය කළ හැකිවේවි. එය වැඩිහිටියන්ට පහසුවකි. පවුලේ අයටද පහසුවකි.

වැඩිහිටියන් බොහොමයක් තනිකමට හුදෙකලාවට මුහුණ දෙයි. එය ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්නයකි. දරුවන් බොහොමයක් විදෙස්ගතව සිටි. එසේත් නැතිනම් රැකී රක්ෂා හෝ වෙනත් සමාජයීය කටයුතු සඳහා ග්‍රාම්‍ය ප්‍රදේශවල සිට නගරබද ප්‍රදේශවලට සංක්‍රමණය වී සිටී. ඇතැම් විට ඔවුන්ව ද රැගෙන ආවත් සුපුරුදු පරිසරයෙන් මිදී පැමිණීමෙන් සිදුවන්නේ මානසික සෞඛ්‍ය පිරිහීමයි. ගමේ තනිවම සිටියත් ඔවුන් ගැන බලා කියාගන්න කවුරුත් නැතිකමින් තනිවම හුදෙකලාවී සිටී.

වැඩිහිටි සමාජ (Eldery club), වැඩිහිටි කමිටු (Eldery committees), වැඩිහිටියන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 11,000කට අධික ප්‍රමාණයක් ග්‍රාම්‍යව විසිරී තිබේ. මේවා වැඩිහිටි මහ ලේකම් කාර්යාලය ඔස්සේ නියාමනය වේ. නමුත් මේ සඳහා යොමු වන්නේ අතළොස්සක පමණ වූ ප්‍රමාණයකි. ඇතැම් විට මේ පිළිබඳව වැඩිහිටියා කෙරෙහි දැනුම්වත්භාවයක් නොමැත. ඇතැම් විට දුවා දරුවන් තම මව්පියන් ඒ සඳහා යොමු වෙනවාට කැමති නැත. මේවායෙහි තනිකම පාළුව මකාලීමට විනෝදාත්මක කටයුතු, අධ්‍යාපනමය කටයුතු ක්‍රියාත්මක වේ. ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන අප අතර ජනප්‍රියයි. වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානද ඒ හා සමාන වේ.

උදේ හා දහවල් කාලය ක්‍රියාශීලීව ගත කොට සවස් කාලයේ නිවෙසට පැමිණෙයි.

වැඩිහිටියන් බොහෝ විට තම ආර්ථික තත්ත්වය මතත් පීඩා විඳී. වැඩිහිටි සමාජ ඔවුන් ආර්ථික උත්පාදන මාර්ගවලට යොමු කරයි. වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන සැපයේ. මේ පිළිබඳ දැනුම්වත්ද? එසේ දැනුම්වත් නොවේ නම් දැනුම්වත් වන්නේ කොහෙන්ද? ගමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා වැඩිහිටි ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රශ්නවලට මැදිහත් විය හැකි වේ. වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් සමාජ සේවා නිලධාරීන් හරහාත් වැඩිහිටි ප්‍රජාවට බොහෝ උපදෙස් ලබාගත හැකි වේ. වැඩිහිටි අපයෝජනයක් වැඩිහිටියන්ට හිංසාවක් සිදුවේ නම් ඔවුන් ඒ සඳහා පිළිසරණක් වේවි.

මව්කුසේ සිට සොහොන් කොත දක්වා යන දිනය දක්වාම එක් එක් වයසේදී එක් එක් ක්‍රියාකාරකම්වල නියැළෙයි. සක්‍රිය වැඩිහිටි වියක් කෙරෙහි නතු වන්නේ කෙසේද යන්න පිළිබඳ මුල සිටම සැලසුම් නොකළහොත් ගෞරවාන්විත වැඩිහිටිවියක් නොලැබේවි. මේ නිසා පූර්ව වැඩිහිටිවිය හොඳින්ම සැලසුම් කරගැනීමේ පණිවිඩය හොඳින්ම සමාජගත විය යුතුවේ.

අවුරුදු 80න් එහා පුද්ගලයින් එනම් වයෝවෘද්ධ පුද්ගලයින් රැකබලා ගැනීමේ ගැටලු මතුවේ. ඔවුන් ශ්‍රවණාබාධිත දෘෂ්‍යාබාධිත, චලන අපහසුතා යන තත්ත්වයන්ගෙන් පෙළෙන්නට පුළුවනි. ඩිමෙන්ෂියා වැනි විවිධ මානසික රෝගයන්ගෙන්ද පෙළෙන්නට පුළුවනි. මෙහිදී රැක බලා ගන්නන්ගේ අවශ්‍යතාව තදින්ම දැනේවි. රැක බලා ගන්නන් කොතෙක් පුරුදු පුහුණු කළත් ඔවුන් බොහෝවිට විදෙස්ගත වෙයි. මේ සඳහා බොහෝ විට යොමු වන්නේ ස්ත්‍රී පක්‍ෂයයි. එහෙත් පුරුෂ පක්‍ෂයේ කෙනෙක් වයෝවෘද්ධ වූ විට ඔවුන්ව රැකබලා ගන්නට හිඩැසක් පවතී. ගෘහ සේවිකාවක් ලෙස විදෙස්ගත වනවාට වඩා මෙරටදී Caregiver එසේත් නැත්නම් රැක බලා ගන්නෙක් ලෙස කටයුතු කිරීමේදී හොඳ වේතනයක් ලැබිය හැකි වේ.

වයෝවෘද්ධ වැඩිහිටියන් සිටින පවුල්වලට රැකබලා ගන්නන් සඳහා වේතන ගෙවීම අපහසු වන්නට පුළුවනි.

වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වෙන රටක් ලෙස අපේ රට ඉහත කී සියලුම අභියෝගයන්ට මුහුණ දිය යුතුවේ.

 

උපදෙස් :

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධිත වූවන් පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලයේ

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිරෝමි මාදුවගේ