වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කලර් ෆුල් ලයිෆ් එකට මාබල් කේක්
අද පුංචි රහසක් කියන්නම්. කේක් හදන්න බීටරයක් ඕනෙම නෑ. මේ ලස්සන මාබල් කේක් එක සාදා තියෙන්නේ ලී පත්ත උපකාර කරගෙනයි. පාට පාට කේක් කන්න ආස පොඩිත්තන්ට ආදරයෙන් හදලා දෙන්න පුළුවන්. ඔන්න අපිත් මෙහෙම හදමු මාබල් කේක් එකක්.
බටර් ග්රෑම් 300ක්
සීනි ග්රෑම් 300ක්
බිත්තර ග්රෑම් 300ක් (බිත්තර කිරලා ගන්න)
පිටි ග්රෑම් 300ක්
බේකිං පවුඩර් තේ හැඳි දෙකක්
වැනිලා තේ හැඳි දෙකක්
කලරිං තේ හැඳි තුනක්
චොකලට් පවුඩර් ස්වල්පයක්
කිරිපිටි හෝ ෆ්රෙෂ් මිල්ක් කෝප්ප 1/2ක් (පිටිකිරි නම් මේස හැඳි එකක් උණු වතුරට දමා හදා ගන්න.)
මුලින්ම බටර් ටික ගෙන දියත් නැති ඝනකමත් නැති ගානට දිය වෙන්න තියන්න.
ඉන්පසුව බෝල් එකකට දමා විනාඩි පහක් පමණ පත්තෙන් මිශ්ර කරන්න. දැන් සීනි ටික දමා ආයෙත් මිශ්ර කරන්න. එයටම බිත්තර එක එක දමා මිශ්ර කරන්න. ඉන්පසු පිටි ටිකට බේකිං පවුඩර් දමා බටර් මිශ්රණයට හලා ගන්න. එය ටිකෙන් ටික එකතු කර ගත යුතුයි. පසුව කේක් මිශ්රණයේ බුබුළු එනතුරු ලී පත්තෙන් මිශ්ර කරන්න. විනාඩි දහයක් පමණ හැඳි ගානවිට මෙසේ බුබුළු නැගීම සිදුවෙයි. කේක් මිශ්රණයට වැනිලා දැමීමට පෙර කිරිටික දමා ගන්න. පසුව වැනිලා දමා නැවතත් ලී හැන්දෙන් ටිකක් මිශ්ර කරන්න. කලරිං දැමීම සඳහා බෝල් හතරකට කේක් බැටර් එක වෙන් කර ගන්න. දැන් කැමැති වර්ණ හතරක් ගෙන කේක් මිශ්රණ සහිත තැටි හතරට බින්දු දෙක දෙක දමා කලවම් කරන්න. ඉන්පසු තෙල් කොළයක් දැමූ කේක් තැටියක් ගෙන කේක් මිශ්රණය වර්ණ හතරෙන්ම රවුමට රවුමට ටික ටික තබා උඩට එනතුරු පුරවා ගන්න. අවසානයේ තැටිය දෙපසට සොලවා කේක් මිශ්රණය හොඳින් මුළු අතරට බුබුළු යන්න හදන්න. ඉන්පසු සෙල්සියස් අංශක 180න් විනාඩි දහයක් පෙර රත් කරගත් අවන් එකේ විනාඩි තිස්පහක් පමණ බේක් කර ගන්න. මේ කාලය අවන් එකෙන් අවන් එකට වෙනස් විය හැකියි. (උඩ යට එලිමන්ට් දෙකම දාන්න)
කේක් එක අවන් එකෙන් එළියට ගත්තට පස්සේ ටිකක් වෙලා නිවෙන්න තියලා කෑලිවලට කපා ගන්න.
උපදෙස්
ප්රවීණ සූපවේදී
සර්වදර්ශනී අප්සරා