වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
සමාජ මාධ්‍යවලට ඔබේ මුහුණ, සම උකසට දෙනවාද?
ඔබේ චර්ම රෝග සඳහා උපදෙස් හා ආලේපන වර්ග වෛද්‍ය උපදෙස් මතම පමණක් ලබා ගැනීමට වග බලා ගන්න
කාන්තාවන් ස්වභාවයෙන්ම ලස්සනට සුදුවට ඉන්න කැමතියි. එහෙත් ස්වභාවයෙන් ලැබුණු සමේ පැහැය වෙනස් කරන්නට කෘත්‍රිම දේවල් යොදා ගැනීම නම් අනුමත කරන්න බැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයට දේශීය වෛද්‍ය ක්‍රමයට හෝ වෙනත් වෛද්‍ය ක්‍රමවලට අනුව සැකසූ ආලේපන වර්ග තිබේ. මේවායින් සමහරක් චර්ම රෝග සඳහා භාවිත කරන ඒවායි. සමේ රෝග සඳහා වූ හෝ සම අලංකාර කර ගැනීම සඳහා යොදා ගන්නා මේ ආලේපන වෛද්‍ය උපදේශයකින් තොරව ගැනීම නිසා වන හානි බොහෝයි.
හමේ ඇතිවන පිග්මන්ටේෂන්, දිලීර රෝග, බැක්ටීරියා ආසාදන, දද කුෂ්ඨ තත්ත්වයන්, කුරුලෑ තත්ත්වයන් සඳහා මේ ආලේපන භාවිත කරයි. අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ඔස්සේ මේවා සඳහා බොහෝ විට ආලේපනය යොදාගනියි. ආසාදන තත්ත්වයන් සඳහා භාවිත කරන ආලේපන ආසාදන නොවන තත්ත්වයන් සඳහා කොහෙත්ම සුදුසු වන්නේ නැත.
පිරිසුදු කිරීමට ගන්නා ඇතැම් ආලේපනත් බැක්ටීරියා ආසාදන ආදිය සඳහා සුදුසු වන බව සඳහන් කරයි.
බටහිර වෛද්‍යවරයෙක් නිශ්චිත ප්‍රතිකාර, නිශ්චිත මාත්‍රාවන් යටතේ ලබා දේ. එහෙත් ඇතැමුන් පුරුදු වී සිටින්නේ ෆාමසියකට ගොස් අදාළ ඖෂධ වර්ග ආලේපන වර්ග වෛද්‍ය නිර්දේශයකින් තොරව ඉල්ලා සිටීමටයි. බටහිර නොවන වෙනත් ඖෂධ වර්ග එක් එක් ලියාපදිංචි අංකයන්ද සඳහන් කරමින් වෙළඳපොළට නිකුත් කළත් මේවායේ ප්‍රමිතිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි.
සමේ සමතුලිතතාව
අපේ සමේ හිතකර මෙන්ම අහිතකර බැක්ටීරියා සහ වයිරස් වර්ගද තිබේ. අනවශ්‍ය ලෙස ආලේපන ගැල්වීමෙන් සිදුවන්නේ මේවා විනාශ වී යෑමයි. හිතකර සහ අහිතකර බැක්ටීරියාවල සමතුලිතතාව ඉතාම වැදගත් වේ. සම ආරක්ෂා වී පවතින්නේ මේ සමතුලිතතාව මතයි.
කුඩා දරුවන්ට රක්තවාත දද සඳහා මෙලෙස වෛද්‍ය නිර්දේශයකින් තොරව ආලේපන ගැල්වීමෙන් සිදුවන්නේ හානියකි. ඔවුන්ගේ සමේ ද සමතුලිතතාව බිඳවැටේ.
දිලීර රෝග වර්ධනය
කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේත් අසාමාන්‍ය ලෙස දිලීර රෝග ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මෙය දකුණු ආසියාතික රටවලට ඇති ගැටලුවකි.
පෙර මෙන් නොව දිලීර නාශක ඖෂධවලට මේවා සුව නොවන තත්ත්වයක් දක්නට ලැබේ. මේ නිසා පවුලේ අනිත් අයට පැතිරීමත් තමන්ට වුව නැවත නැවත ඇතිවීමටත් පුළුවනි. මේ සඳහා බරපතළම හේතුව වන්නේ වෛද්‍ය නිර්දේශයකින් තොරව සමට ගල්වන ආලේපනයි.
සමහර ආලේපනවල ඇත්තේ ඖෂධ වර්ග දෙකක එකතුවක් විය හැකියි. එහි දිලීර නාශක ඖෂධ, ස්ටෙරොයිඩ් ඖෂධ තිබිය හැකියි. ඇතැම් විට බැක්ටීරියා නාශක ඖෂධ තිබිය හැකියි. මේ වර්ග තුනෙන් ඕනම එකකින් හරියාවි යැයි සිතා ෆාමසියකින්, සමාජ මාධ්‍ය ජාලාවල පිහිටි කමෙන්ට් එකක් බලා විශ්වාස කර ඇණවුම් කිරීමෙන් ආලේප කරයි. එවිට කැසීම හෝ එතැන ඇති රතු ගතිය සමහර විට අඩු වී යාවි. ස්ටේරොයිඩ් ඖෂධය නිසා එසේ සිදුවූවත් දිලීරය තව තවත් සම ඇතුළටම කිඳා බසියි. ඉන්පසු චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වුවත් එය වෛද්‍යවරයාට පවා හඳුනාගත නොහැකි තරමට එහි ස්වභාවය වෙනස් වේවි. මේ නිසා කුඩා ප්‍රදේශයක ඇති දිලීර රෝගය පැතිර යෑම වැඩි වීමටත්, ශරීර අභ්‍යන්තරයට ඖෂධ ලබා ගැනීමට සිදුවේවි. ශරීර අභ්‍යන්තරයට දෙනු ලබන දිලීර නාශක ඖෂධ ඉතාම මිල අධිකයි. රජයේ රෝහල්වලින් ලබා ගැනීමට පවා නොහැකි වේවි. මේ සියල්ල වෛද්‍ය උපදේශයකින් තොරව ආලේපන භාවිතයේ අනිටු ප්රතිඵලයි.
බීටමෙතසෝල්, ක්ලෝබෙටසෝල් වැනි දෑ අඩංගු ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව කිසිසේත්ම ලබාගත නොයුතු වේ. මේවා චර්ම රෝග විශේෂඥවරුන් සමේ රෝගයකට ඉතාම කෙටි කාලයක් සඳහා ලබා දෙන ඖෂධයි. මේවා වෛද්‍ය උපදෙසකින් තොරව සියුම් සමක් ඇති මුහුණ, ඉකිලි, කිහිලි ආදියේ ආලේපය සුදුසු නොවේ. යම් හෙයකින් ආලේප කරන්නට දුන්නත් සතියකට දෙකකට හෝ සුළු කාලයකට පමණයි. මෙහිදී සමේ ප්‍රතිශක්තිය අඩුවී දිලීර රෝග පමණක් නොව බැක්ටීරියාවන් පවා ඇතිවේවි.
ඉකිලි, කිහිලි දින තුනෙන් කළුවීම නැති කරනවා යයි සඳහන් කරමින් සමාජ මාධ්‍යවල නොයෙකුත් දැන්වීම් පළවෙයි. මේවායෙහි අඩංගු වන්නේ ද ස්ටේරොයිඩ් ඖෂධයයි.
හඳුනා නොගත් දිලීර ප්‍රභේදයක්
ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල හඳුනා නොගත් අලුත්ම දිලීර ප්‍රභේදයක් පැතිර යයි. මෙය දිලීර නාශක ඖෂධවලට පවා ප්රතිවිරෝධයක් දක්වයි. නව ප්‍රභේදයේ ඇතිවීමට බලපාන හේතුවක් ලෙසත් ස්ටේරොයිඩ් අඩංගු ඖෂධ ලබා ගැනීම හේතුවක් වී තිබේ.
සමාජ මාධ්‍යවලට පෙර පසු ආදී ලෙස පින්තූරද එක් කරමින් දින තුනෙන් සතියෙන් ආදී වශයෙන් දින වකවානු පවා එක් කරන්නේ පාරිභෝගිකයා කෙරෙහි දැඩි විශ්වාසයක් තබමිනි. උදාහරණයක් ලෙස පොතු කබර දින තුනෙන් සුව කරනවා යැයි සඳහන් කරයි. මෙවැනි තවත් ලෙඩ රෝග රාශියක් සමාජ මාධ්‍ය ජාලා සුව කරයි. මෙවැනි වංචනිකයින්ට ඔබ කිසිසේත්ම හසු වන්නට එපා. මේවා බොහොමයක් නිවැරදි නොවන ඒවායි. උදෑසන කාලයේ රූපවාහිනී කාන්තා සඟරාමය වැඩසටහන් බොහොමයකින් පවා සිදුවන්නේ විවිධ වෙළෙඳ සන්නාමයන් ඉස්මතු කරලීමයි. මේවා බොහෝ විට නිර්දේශ කරන්නේ නළු නිළියන් නිරූපිකාවන් වැනි අයයි. අදාළ ක්ෂේත්රයන් සම්බන්ධයෙන් දැනුම්වත් බවක් ඇති ප්‍රවීණයින්, විද්‍යාත්මක දැනුමක් ඇතිව කතාබහ කිරීමට පසුබිමක් ඇති සුදුස්සන් පමණක් යොදවා ගැනීම වැදගත් වේ.
ග්ලූටතයෝන් භාවිතය
ඇතැමුන් ග්ලූටතයෝන් භාවිතයට හුරුව සිටියි. ග්ලූටතයෝන් අප ශරීරයේ සෑම සෛලයකම ඇතිවන ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයකි. මෙය අනිසි ලෙස භාවිතය සමට පමණක් නොව අභ්‍යන්තර අවයවවලට පවා අනිසි ලෙස බලපෑම් කරයි. වකුගඩු අඩපණ කරයි. මෙවැනි චර්ම රෝග නොවන අවස්ථාත් දක්නට ලැබේ. ඔබේ චර්ම රෝග සඳහා උපදෙස් හා ආලේපන වර්ග වෛද්‍ය උපදෙස් මතම පමණක් ලබා ගැනීමට වග බලා ගන්න. සමාජ මාධ්‍යවලට ඔබේ මුහුණ සම උකසට දෙනවා දැයි සිතා බලන්න.
උපදෙස් : කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර,
හෝමාගම මූලික රෝහලේ
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
නයනි මදාරසිංහ