වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
නීල නුවන් යුග බැල්මකට
ආකර්ෂණීය ඇස් දෙකකට සිත් ඇදගන්නා සුළු බැල්මක් හෙළිය හැකියි. දීප්තිමත් ඇස් යුගලක් කාන්තාවකගේ මුහුණට චමත්කාර ජනක බවක් ගෙන දෙයි. ඇස් දෙක මේක් අප් කිරීම තුළින් සිදුවන්නේ ඒ චමත්කාර ජනක බව දෙගුණ තෙගුණ කිරීමයි. ඇස් දෙකෙනුත් කතා කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. ඉතිං කතා කරන ඇස් දෙකක් මේක් අප් එකකින් ගේන්නේ කොහොමද?
NVQ 4 පාඨමාලාවේ මනාලියන් හැඩ ගැන්වීමේ කොටසේදී මේ පිළිබඳ මනා දැනුම්වත් බවක් ලබා ගැනීමේ අවස්ථාව සිසු සිසුවියන්ට හිමි වෙනවා.
ඇස් මේක් අප් කරද්දි ඇහිබැම, ඇස් පියන ඇස් පිහාටු මේ සියල්ල අයත් වේ.
ඇහිබැම ඇඳ ගැනීම
ඇස් මේක් අප් කරද්දි මුලින්ම සිදු කරන්නේ ඇහි බැම අයිබ්‍රො පෙන්සිල් එකක් ආධාරයෙන් ඇඳ ගැනීමයි. මෙය තිබෙන ඇහිබැමට ගැළපෙන ලෙස ස්වභාවික අන්දමින් ඇඳ ගැනීම වැදගත්. ඇහිබැමේ මැද සාමාන්‍යයෙන් රෝම ගස් වැඩියි. මුල සහ අග තරමක් ඊට සාපේක්ෂව අඩුයි.
ඇහි පිහාටුවල දාර
මෙය කාජල් එකක් භාවිතයෙන් හෝ අයිබ්‍රෝ පෙන්සිල් එකකින් කරගත හැකියි.
ඇහි පිහාටු
අවශ්‍ය නම් පළමුව ඇහි පිහාටු රවුම්ව තැබෙන ආකාරයට අදාළ උපකරණය ගෙන නැවිය හැකියි. මින් ඇහි පිහාටු වලට අමුතුම අලංකාරයක් ගෙන දේ. ස්වභාවිකව ඇස් පිහාටු වැඩිපුර පිහිටා නැතිනම් කෘත්‍රිම ඇස් පිහාටු ගෙන ඇලවිය හැකියි. ඇහි පිහාටුවල ගල්වන්නේ මස්කාරාය. මස්කාරා ගල්වන්නේ ඇස් පිහාටුවල මැද සිට අග දක්වා යි. මස්කාරා බ්‍රෂ් එකකින් වුවත් ඇහි පිහාටු ඉදිරියට නැවිය හැකියි.
අයි ලයිනර් භාවිතය
ඇහි පිහාටුවල දාරයේ අයිලයිනර් ඇඳීමෙන් ඇස් දෙක වඩ වඩාත් ලස්සන වේ. මෙය සිහින් වත්, තරමක් පළල්වත් ඇඳිය හැකියි. ඇහෙන් ඉවතට වන කොටසේදී මෙය ලස්සනට කවාකාර කළ හැකියි. Water proof liquid අයි ලයිනර් භාවිතය වඩාත් සුදුසුයි.
අයිෂැඩෝ ගැල්වීම
ඇස් පියන මත ගල්වන අයිෂැඩෝ භාවිතය විවිධ ආලෝක තත්ත්වයන්ට ගැළපෙන අන්දමින් සිදු කිරීම වැදගත්. එසේ නම් වර්ණ තෝරා ගැනීම කළ යුතුවන්නේ ඒ අනුවයි. මෙහිදී දහවල් කාලයේ දී ස්වභාවික ආලෝකයට ගැළපෙන වර්ණත් සවස සහ රාත්‍රී කාලයට කෘත්‍රිම ආලෝකයට ගැළපෙන වර්ණත් එක්කළ යුතුයි.
මෙහිදී වර්ණ තුනක් ගැල්වීම ජාත්‍යන්තර ක්රමවේදයයි. එම වර්ණයන් උදේ සහ සවස් කාලය අනුව වෙනස් වේ. ඇඳ සිටින ඇඳුමේ පැහැය ද ඊට ගැළපිය යුතුයි. මෙම වර්ණ තුන අතරට බේජ් පැහැයද සාමාන්‍යයෙන් යොදා ගනී.
ඇහි බැමට යටින් ඇහිපියනේ කන්සීලර් හෝ අයිෂැඩෝ ප්‍රයිමර් ආලේප කරයි. Flat brush එකක් ගෙන මෙය බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු කම්පැක්ට් පවුඩර් ටිකක් දමා ගන්න. එසේ නොකළහොත් ඇහි පිල්ලම අරිද්දී වහද්දී ඇහිපියනේ දාරවල පාරවල් හිටියි.
සමේ පැහැයට වඩා තරමක් තද පැහැ අයිෂැඩෝ තෝරා ගන්න. අයිෂැඩෝ අයිබ්‍රෝ එක අසලින්ම ආලේප කරන්නේ නැත.Outer corner සිට එනම් කන පැත්තේ සිට නහය පැත්තට අයි ෂැඩෝ ගල්වන්න. බ්‍රෂ් එකෙන් අයි ෂැඩෝ බ්ලෙන්ඩ් කළ යුතුයි. Outer corner සඳහා සාමාන්‍යයෙන් ආලේප කරන්නේ තද පැහැති අයිෂැඩෝ පැහැය යනුයි. Inner corner සඳහා එක්කරන්නේ ලා පැහැති අයිෂැඩෝ වර්ණයි.
බ්ලෂර් ගැල්වීම
රෝස පැහැති කම්මුලකට බ්ලෂර් ආලේපයෙන් තව තවත් දිදුලන බවක් එක්වේ. බ්ලෂර් ආලේපය මුහුණු වර්ග අනුව වෙනස් වේ. රවුම් මුහුණට, කොටු මුහුණට, දිගැති මුහුණට..... මේ ආදී මුහුණු වර්ග අනුව ආලේප කරනු විනා එකම අන්දමින් බ්රලෂර් ආලේප කිරීම සෑම මූණකටම ගැළපෙන්නේ නැත.
බ්ලෂර් කට් එක ඇහේ කළු බෝලය අසලින් පහළට විත් කන පැත්තට කරකැවිය යුතුයි.මෙය ප්‍රතිවිරුද්ධ දිසාවට දමන 'හරි' ලකුණ වැනියි.
ඉදිරිපත් කිරීම
ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)
චර්ම රෝග විශේෂ
චාමලී කල්දේරා
(NVQ Level-3/4
ඇගයීම් නිලධාරිනි)