රටක බර කරට ගත් යකඩ කෙල්ල

රශිතා ද සිල්වා
නොවැම්බර් 25, 2024

 

දැකලා තියෙනවද කොතැනත් කැපිලා පේන යුනික් කෙල්ලො. එහෙම නැත්නම් යක්ස කෙල්ලෝ.

ගෑනු ගතිය බේරුණත් ගෑනු ලාලිත්‍යයෙන් නෑවුණත් අවශ්‍ය තැන අවශ්‍ය මොහොතට පිරිමි දාහකගේ හයිය එන හයිය ගන්න ගෑනු. දෙයක් කරන්නම හිතුණොත් වටේම උන් නෑ බෑහ් කියද්දී නෑහ්...බෑහ්..කියපු උන්ට කරලම පෙන්නන ගෑනු. තමන්ට කරගන්න ඕනෙ වැෙඩ් තෝල්කයො නොදම්මා යකාගේ කටට වුණත් තට්ට තනියම ගිහින් වැඩෙත් කරගෙන නමත් තියාගෙන එනගට් එක පිරුණු ගෑනු. ගෑනුකම බේරෙන හිත හයිය අන්න ඒ වගේ යක්ස ගෑනු හරි අල්පයි. මේ කියන්න යන්නෙත් ඒ විදිහෙ යක්ස හිතක් හිතක් තියෙන්න කෙල්ලෙක් ගැන.

 

පිරිමින්ට පමණක් උරුමයි කියන ක්‍රීඩාවක් කරන්න නම් ඒ විදිහේ ගටක් ඒ විදිහේ හිතක් තියෙන්නම ඕනේ. ඇය රශිතා ද සිල්වා. කුරුණෑගල පදිංචි ඇය සවි එසැවීමේ ක්‍රීඩිකාවක්. පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවති Commonwealth Powerlifting Championships තරගාවලියෙන් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඇයට හැකි වුණා. ඒ ජයග්‍රහණය ගැන අදහස් බෙදාගන්න ඇය තරුණී සමඟින් අත්වැල් බැඳගත්තේ මේ විදිහට.

 

"පසුගියදා නිමා වූ Commonwealth Powerlifting Championships තරගාවලියටයි මා සහභාගි වුණේ. ඒක තිබුණේ දකුණු අප්‍රිකාවේ සන්සිටි කියන නගරයේ. ඒකට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 50කට වැඩියෙන් සහභාගී වෙලා තිබුණා. ඒ තරගයෙන් කිලෝ 47 බර පන්තිය කාන්තා විවෘත කාණ්ඩයෙන් රන් පදක්කමක් දිනා ගත්තා. ඒ ජයග්‍රහණය මේ ගමනට ලොකු ආලෝකයක් වුණා. මේ ජයග්‍රහණය මට වගේම ශ්‍රී ලංකාවටත් ලොකු ආඩම්බරයක්. මේ මගේ දෙවැනි ජාත්‍යන්තර සංචාරය.

 

මින් පෙරත් ඔබ කිහිප අවස්ථාවකදීම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා...

 

2023 අවුරුද්දේ ජූලි මාසේ හොංකොං ඒෂියා පැසිපික් තරගාවලියට සහභාගි වුණා. 52 බර පන්තිය වෙනුවෙන් මම සහභාගී වුණේ. ඒකෙන් මට රිදී පදක්කමක් දිනා ගන්න පුළුවන් වුණා. මේ ක්‍රීඩාවෙන් ලෝක ශූරතා දක්වා යන්න පුළුවන්. අත්දැකීම් සහිත දක්ෂ ක්‍රීඩිකාවන් තමයි ඒ තරග සඳහා සහභාගී වෙන්නේ. ඉතින් මම ගොඩක් පුහුණු වෙනවා ඒ තැනට එන්න.

 

සවි එසවීම කියන ක්‍රීඩාව බර එසවීමේ ක්‍රීඩාවෙන් වෙනස් වෙන විදිහ පැහැදිලි කළොත්..

 

සවි එසවීම (Powerlifting) කියන්නේ බර එසවීමට (Weightlifting) නෙමෙයි. මේක තවමත් අපේ රටේ හරි හැටියට ප්‍රචලිත නැති ක්‍රීඩාවක්. ඒ නිසාම තවමත් මේ ක්‍රීඩාවට වැඩි පිරිසක් යොමු වෙලා නැහැ.

බර එසැවීමේදී කරන්නේ ක්‍රීඩකයා උස්සන බරේ එකතුව බලලා ජයග්‍රාහකයා තෝරන එක. සවි එසැවීමේදී ස්කොට්, බෙන්ච් ප්‍රෙස්, ඩෙඩ් ලිෆ්ට් කියන ආකාර තුනෙන් බර උස්සලා ඒ මුළු බර එකතු කරලා තමයි ජයග්‍රාහකයා තෝරන්නේ.

 

මේ වගේ ක්‍රීඩාවක් තෝරා ගන්න හිතුවේ ඇයි?

 

මගේ අධ්‍යාපන කටයුතු සහ වෘත්තීය පැත්තෙන් ගොඩක් කාර්යබහුල වුණා. එතකොට මට හිතුණා මම මොකක් හරි ක්‍රීඩාවක් ආයේ කරන්න ඕනේ කියලා. මගේ එකම විකල්පය වුණේ ජිම් එකකට සම්බන්ධ වෙන එක. මම දැන් අවුරුදු 5ක් වගේ වෙනවා ජිම් එකට ගිහින්. ජිම් එකේදී මම ගොඩක් වෙලාවට කළේ වෙන ලංකාවේ කරන ව්‍යායාම නෙවෙයි. මම වෙන රටවල අය ජිම් එකේදී කරන දේවල්වල වීඩියෝ නිතරම බැලුවා. ඉතින් මටත් ඕනෙ වුණා ඒ වගේ ටිකක් අමාරු සහ වෙනස් දේවල් ටිකක් කරන්න. ඔහොම ජිම් එකට යද්දි මට පුහුණුකරුවෙක් හම්බවුණා. ඒ අවුරුදු එකහමාරකට විතර කලින්. එයා තමයි මට මේ සවි එසවීම කියන ක්‍රීඩාව හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ තමයි මම මේ ක්‍රීඩාව පටන් ගත්තේ.

 

කුඩා කාලයේදීත් දක්ෂ ක්‍රීඩිකාවක්ද?

මම පොඩි කාලේ ඉඳන්ම ක්‍රීඩාවට ලොකු කැමැත්තක් දැක්වූවා. පිහිනීම තමයි ඒ කාලේ මගේ කැමතිම ක්‍රීඩාව. ඉතින් මම දිගටම පිහිනීම ක්‍රීඩාවක් විදිහට කරගෙන ගියා. මම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ අලෙවිකරණය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් මම දැන් කරන්නේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ රැකියාවක්. ඊට අමතර සමාජ මාධ්‍ය ජාලාවල කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා.

 

මේ වගේ ක්‍රීඩාවක් කරන එක ගැන ගෙදර අය සතුටුද?

 

මගේ තාත්තා වෛද්‍යවරයෙක්. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන්නේ. අම්මා ගෘහිණියක්. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. ලොකු අක්කා වෛද්‍යවරියක්. අනිත් අක්කා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. මුලදී එයාලා විරුද්ධ වුණා. ලංකාව වගේ රටක මේ වගේ ක්‍රීඩාවක් ගැහැනු ළමයෙක් කරන එක ගැන තියෙන්නේ සෘණාත්මක අදහස්. හැබැයි මම ආසාවෙන් මේ ක්‍රීඩාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරගෙන යද්දී ඒ දේවල් දිහා බලාගෙන ඉඳලා දැන් ගෙදර අයත් මට ගොඩක් උදව් කරනවා.

 

මේ ක්‍රීඩාවෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන කතා කළොත්..

 

මේ ක්‍රීඩාවෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද අද කාන්තාවෝ හිතින් ශක්තිමත් වුණාට ශරීරයෙන් ශක්තිසම්පන්න බව අඩුයි. මේ ක්‍රීඩාව හරහා මානසිකව වගේම ශරීරයෙනුත් ශක්තිසම්පන්න වෙන්න පුළුවන්. මේ වගේ ක්‍රීඩාවක් කරන එකෙන් තමන්ගේ ආචාර ධර්ම හැදෙනවා. කන බොන දේවල් හරි විදිහට කරන්න ඉගෙන ගන්නවා. ශරීරය සෞඛ්‍ය සම්පන්න වෙනවා. සමහර අයගේ මතයක් තියෙනවා මේ සවි එසවීම කියන ක්‍රීඩාවෙන් ඇඟ පිරිමි කෙනෙක්ගේ වගේ වෙනවා. ඇඟ කැත වෙනවා. ගැහැනු කෙනෙක්ගේ ශරීරයෙන් පිරිමි හොමෝන නිපදවීමක් සිදුනොවන නිසා එහෙම දෙයක් වෙන්නේ නැහැ. තවත් තමන්ගේ ඇඟ හැඩ වෙනවා. ලස්සන වෙනවා.

 

එදා අභියෝග රැසක් මැද්දේ මේ ක්‍රීඩාව තෝර ගත්ත එක ගැන අද මොකද හිතෙන්නේ?

මට මං ගැන ගොඩක් ආඩම්බරයි. ජාත්‍යන්තර පදක්කම් වගේම ජාතික මට්ටමෙනුත් මෙඩ්ල්ස් ගත්තා. මේ වසර දෙක තුනට මම ජාතික වාර්තා 9ක් බිඳ හෙළලා තියෙනවා. ඉතින් මට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. අපේ ජීවිතය ගෙනි යද්දී හැමදේම හොඳ විදිහට වෙන්නේ නැහැ. මගේ ජීවිතයෙත් ඒ වගෙ බාධක ගොඩක් තිබුණා. හැබැයි මගේ ගමන මම නැවැත්තුවේ නැහැ. තවමත් මම ඉදිරියට එන්න තියෙන තරගවලින් දිනන්නේ කොහොමද කියලා පුහුණුවීම් සඳහා සැලසුම් හදනවා.