කන්තෝරු නෝනා ⁣

දෙසැම්බර් 30, 2024

 

තුන්වැනි දින සටහන…

ජනවාරි 18 සඳුදා

" අම්මෙ… ටීචර් කිවුව හෙට පාට දහයකින් මල් ගේන්ඩ කියලා."

ළමයි දෙන්නට හැමදාම මන්තරේ ජප කරන්නැහැ කියනව පහුවදාට ඉස්කෝලෙ ගෙනියන්ඩ තියෙන ජාති කල් තියා කියන්ඩ කියලා. ඒ හැටි කියලත් අන්තිමට නිදාගන්ඩ ඇඳටත් ගිහින් තමයි දුවට මල් මතක් වුණේ.

" මේ රෑ කො‍හොමද මල් හොයන්නෙ තිස්ස ? "

" ඇයි අපේ මිදුලෙ මල් නැද්ද ? "

“අපේ මිදුලෙ කොහෙන්ද මල් ? ඊටත් පාට දහයකින් ? “

ඇත්තමයි මේ තිස්ස නම් කොයි ලෝකෙ ඉන්නවද මන්ද. ඉබේ පැළවුණු කූඩලු ගස් ‍දෙක තුනකුයි, කිරි ඉද්ද ගහයි ඇරුණම වැඩිපුර මල් පිපෙන ගස් ජාතියකට කියල අපේ මිදුලෙ තියෙන්නෙ තුත්තිරි ගස් විතරයි කියල මෙච්චර මේ ගෙදර ඉඳලත් මේ මිනිහ දන්නැති හැටි.

"ඔයා ගිහින් කොහෙන් හරි මල් ටිකක් හොයාගෙන එන්ඩ තිස්ස. අල්ලපු ගෙදරත් මල් නම් තියෙනවා. ඒත් මේ රෑ ශාන්ති අක්කව ඇහැරවන්ඩ බෑනේ. එකාතකට මහන්සි බලන්නැතුව ඔය පොඩ්ඩ මහගෙදර ගියා නම් ඉවරයි. එහෙ ඕ‍ෙන තරම් මල් තියෙනවා නෙ."

"ඔව් ඉතින් ගෑනු ඉන්න ගෙවල්වල නම් මල් ඕ‍ෙන තරම් තියෙනව තමා. එහෙම බැලුවම මේ ගෙදර මල් තියෙන්ඩ විදිහක් නෑ තමයි."

තිස්ස තවත් මොන මොනවද කියන්ඩයි ගියෙ. අපරාදෙ මං රවන්නැතුව හිටිය නම් ඉතුරු ටිකත් අහගෙනම එයාට කියා දෙන්ඩ තිබ්බ මේ ගෙදර ඉන්නෙ ගෑනුද, පිරිමිද, නැත්නම් නපුංසකද කියලා. ඇත්තමයි ගෑනියෙක් වුණාම ළමයි හන්ද කීයක් නම් මදි පුංචිකම් ඉවසන්ඩ ඕනෙද? දවසක තිස්සට කට උත්තර නැති වෙන වෙලාවක් අල්ලලම ඕකට හොඳ උත්තරයක් දීලම තමයි මං පස්ස බලන්නෙ.

ඇයි අනේ, ඔෆීස් එකේ නැහිල නැහිල රෑට රෑ වෙලා ගෙදර ඇවිත් ගෙදර සුමෙත් කරලා, ළමයින්ගෙ සුමෙත් කරලා, තව එයාගෙ එකී මෙකී නොකී සුමයවල් ටිකත් ඉෂ්ට සිද්ධ කරල දීලා, තව මල්වතුත් හදන්ඩ ඕ‍ෙන‍ නම් තිස්සට තිබුණෙ යකින්නක් බැඳ ගන්ඩනෙ. එහෙම නැතුව මහන්සිය දැනෙන, නිදිමත හැදෙන, හිටපු ගමන් ලෙඩත් හැදෙන, මනුස්ස දුවක් බැඳගෙන යකෙක් බැඳගත්ත වගේ වැඩ ගන්ඩ බෑනෙ.

ජනවාරි 28 බ්‍රහස්පතින්දා

අදත් උදේ එලාම් එක වදිනකොට දන්නෙම නැතුව මා අතින් ඒක ඕෆ් වෙලා වැඩිපුර පැය භාගයක්ම නිදියලා. ඇයි අනේ එහාටයි මෙහාටයි දවසකට කිලෝමීටර් හැට හැත්තෑවක් බස්වල ඇඟ තළා‍ගෙන කොච්චරක් නම් නැහිලද රෑට රෑ වෙලා ගෙදර එන්නෙ. ඒ ඇවිත් ගෙදර සුමේත් කරලා නිදා ගත්තම මරල දැම්ම වාගේ නින්ද යන්නෙ නැත්තම් තමයි පුදුමෙ.

කොහෙද ඉතින් මං නිදි නම් තිස්සත් නාකි සිංහයෙක් වගේ ඔහේ ගොරෝ ගොරෝ නිදියනව මිසක මේ ගෑනි පව්නෙ කියල ඇහැරල වැඩක් පලක් කරනෙකක් යෑ. මංම හන්ද හොඳයි ඉතින් තිස්සටත්. වෙන ගෑනියෙක් හෙම හම්බුණා නම් බලන්ඩ තිබුණ මහ ලොකු කන්තෝරු මහත්තය දැලි නාගෙන ගෑනුන්ට බත් තම්බන අපූරුව.

අදත් බස්සෙකේ පිටිපස්සෙ මැද සීට් එක. බහින තැනට කිලෝමීටර් තුන හතරකට කළින් නැඟිටල ඉස්සරහට යන්ඩ පටන් ගත්තත් ඒ ටික යන්ඩත් පැය භාගෙකට වඩා ගියා.

බහිද්දි සාරිය ගැනයි, හෑන්ඩ් බෑග්ගෙ ඇතුළෙ චුරු වෙන බත් මුල ගැනයි ආසාව අතෑරල ශරීර කූඩුවෙ කෑලි බෑලි ටික පරිස්සම් කරගන්නෙ කොහොමද කියලා විතරයි මං හිතුවෙම. ඇයි අනේ ඉඳිකට්ටක් ගහන්ඩවත් ඉඩක් නැතුව පොල් පටවන්නැහැ සෙනඟ පටෝපු බස්සෙහෙක අමාරුවෙන් ඉස්සරහට යද්දි ආයි වෙන මුකුත් පරිස්සම් කළෑකි යැ.

බැහැපු ගමන් සාරි පොට පුළුවන් වීරිය දාලා සෙනඟ අස්සෙන් ඇදල ඇරන් ඇඟේ ඔතා ගත්තා. හෑන්ඩ් බෑග්ගෙක ඇදල ගත්තෙ ඊටත් වඩා අමාරුවෙන්. බස්සෙක ගියාටත් පස්සෙ තමයි මං දැක්කෙ බෑග්ගෙකේ ඉස්සරහ තිබුණ ලස්සන බකල් එක ගැලවිලා කියලා. අපරාදෙ මං ඕික ගත්තෙම ඔය ලස්සන බකල් එක හන්දමයි. දැන්නම් ඉතින් ඒකෙ පොළේ ගෙනියන්ඩ තරම්වත් පෙනුමක් ඉතුරු වෙලා නෑ. ආයෙ ඉතින් කවදා බෑග්ගෙකකට වියදම් කරන්ඩද ? අවුරුදුයි, වෙසකුයි. වියදම් ම මිසක ආදායම් තියෙන කාලයක් නෙමේනෙ ඉස්සරහට එන්නෙ.

හිතේ දුක නිවාගන්ඩ බස්කාරයගෙ අම්ම මුත්ත සිහිකර කර බස් එක ගිය පැත්තට රවාගෙන පාර පැන්න පාර, ඉස්සරහින් ආපු ලොරිකාරයත් අමාරුවෙ නොවැටී තිස්සත් කණවැන්දුම් නොවී බේරුණේ ඒ දෙන්නගෙන් කාගෙ හරි පෙර පිනකට මිසක් මගේ පිනකට නම් නෙමෙයි.

 

හැන්දෙයි පෑනෙයි ඡේදන ලක්ෂ්‍යය

 කුමාරී දයානන්ද

 

Digital Art By- Cham Nirman