සපරුන්ගේ අල පල්ලම..!

දෙසැම්බර් 30, 2024

අපේ ගම් ඉතින් කඳු බෑවුම් නේ. ඉතින් ගෙදර ගත්තොත් මිදුලෙන් පාර පැත්තට ගොඩක් වෙලාවට තිබුණේ පල්ලම. ඒ පල්ලම්, නායේ යයි කියලා කැලෑ කැටිති වගේ අතෑරලා තමයි තිබුණේ. හැබැයි මේ පල්ලම්වල දුෂ්කර කාලවලට කන්න ගන්න පුළුවන් ජාති ඔහේ වීසි කරලා හැදිලා තිබුණා. ගොඩාක් ජාති අල වර්ග තමයි. ගොරවා ගොරවා වහින කාලවලට රබර් කිරි කපන්න බැරිවුණාම ගෙදර ඉහිරෙන හිඟකම් වහ ගත්තේ ගොඩක් වෙලාවට මේ පල්ලමේ පිහිටෙන්. අල වර්ග ගොඩක් ඔහේ විසිරිලා පැලවෙලා තිබුණ හින්දා අල පල්ලම කියලා කියන්න පුළුවන් පල්ලමක් මේක!!.

 

කිරි අල, කළු අල, පොළොන් හබරල වගේ හබරල නැතිනම් දකුණේ කියන ගහල කුලයේ අල වර්ග ගොඩක් මේ අල පල්ලමේ තිබුණා. කිරි අල කිව්වාම ජනප්‍රියයි නෙහ්, කන්න පුළුවන් තම්බලා, කිරට මාළුව උයලා. දැන්නම් කට්ලට් ඒමත් හදනවා නේ. තම්බලා පොල්ගාලා ගත්තාම ආයි බඩ පැලෙන්න දෙන්න පුළුවන්. හැබැයි ඉතින් කිරි අලවලට පොළොන් හබරල රහට ගහන්න බෑ දෙයියෝ. ඒක අපි වැස්සට ඉහළන්න ගන්න මාළු ඔතන්න ගන්න ලොකු කොළේ තියෙන හබරල වර්ගයේම වෙනත් කුලකයක්. මේක අනික් හබරලේ වගේ නෙවෙයි එහෙමට කට කහන්නේ නෑ. අඳුරගන්න තියෙන දේ තමයි හඹරල පිත්තේ පොළඟාගේ වගේ වයිරන් තියෙන එක. අතු හැලෙන්න හැලෙන්න ගහ උස යන්න යන්න හබරල අලේ උඩට උඩට මතුවෙනවා. අඩියෙන් කපලා, උඩින් කපලා අතු බූසිය විසි කරලා දණ්ඩ හම ගහලා ගන්නයි තියෙන්නේ. මේ හබරලේ කැපුවාම පිහියේ දෙපැත්තේ පිටි තැවරෙනවා. ගොඩක් වෙලාවට අපේ අම්මා මේක සුද්ද කරන්න පටන් ගන්නේ වතුර මුට්ටියක් නටන්න ළිපේ තියලා. ගිනි නටනකොට වතුර හිනාවෙනකොට අලේ සුද්ද බුද්ද කරලා කපලා දානවා. නැත්තම් අත කහනවා කියලා කියනවා. කොහොමත් ඉතිං අත ටිකක් කහනවා තමයි. හැබැයි වතුර නටනකොට ඒ කැහිල්ල ඉවරයි කියලා තමයි කයිය. ඒකත් ඉතින් ඇත්ත තමයි. කපලා දාපු හබරල අල කෑලි වතුර එක්ක පැහැවනකොට කොච්චි, උම්බලකඩ, පොල්, ගම්මිරිස්, අබ, කරපිංචා එකට ඇඹරෙනවා. ඊට පස්සේ ඉතින් වතුර ටික පෙරලා අඹරගත්ත මිශ්‍රණය දාලා කලවම් කරලා කෙහෙල් කොළේකින් වහලා ටිකක් වෙලා ළා රස්නේ තියලා, අඹරනවා. ඒ ඇඹරිල්ල ඉතින් ආයි කියන්න ඕනි නෑනේ. රස්නෙයි කටේ තාවරයයි කොච්චි කරල් වදින සැරයි එකට කලතලා දිවට ගේන සැප විස්තර කරන්නේ කොහොමද?

 

කළු අල කියන්නෙත් කිරි අල ගහ වගේ තමයි. කොළේ පිට පැත්ත කහපාටයි. අල උඩට තමයි මතුවෙන්නේ. හරි වෙලාවට ගැලෙව්වෙ නැත්තම් ගහ වටේට කුකුළු පැටව් අම්මා වට කරගෙන ඉන්නවා වගේ පැටි ගස් මතුවෙනවා. මේ අලේ කහ පාටයි. මේක කිරට හොද්ද හදලා අබ මිරිස් කරල් කෑලි බෑලි එක්ක රන්පාට ලොකු ලූනු කෑලි එක්ක තෙල් දාලා ගත්තාම බත් මරන්න පුළුවන්. එහෙම නැත්තම් අර මුලින් හබරල කාපු ලෙසටමත් කන්න පුළුවන්. එහෙමත් ඉතින් කිරි අල පරාදයි රජෝ..!

 

මේ අල පල්ලම මෙහෙම ඉවර වෙන්නේ නෑ. මේකේ තියෙනවා අල පොළව යට තියාගෙන වැල උඩට ගස් එක්ක වෙලුණ රාජා අල (දන්දිල), කහට කොඬොල්, හිඟුරල, ඉන්නල, කිරි කොඩොල් වගේ අල වර්ග. රාජා අල කියන්නේ ඉතින් පුදුම දම්පාටක් තියෙන තම්බලා පොල් එක්ක බඩ පැලෙන්න කන්න පුළුවන් අල වර්ගයක්. යාපනේ එහෙම මේකෙන් මාළුවක් නැත්තම් වෑංජනයක් හදනවා මතක විදිහට. මේ අල ගොන්නෙන් මටනම් රසම ඇඟිලි ඇඟිලි බහින ළා රෝසපාටට පත්මරාග වගේ පැහැ හිඟුරලවලට. අලේ උඩ සිවිය බොඳවුණාම තමයි ඉතිං මේ රෝස පැහැය. ගාණට තම්බලා වතුර පෙරළා ගත්තාම ආයි බඩගින්න පෙරළා දාන්න පුළුවන් වේල් දෙක තුනකටම. ලුණු මිරිසක් තිබුණනම් පොල් එක්ක ඇනිලා මේ අල කටට වැටෙනකොට රස විස්තර කරන්නේ කොහොමද? අපේ අල පල්ලමේ දෙල්ගහ බදාගෙන උඩට ගිය අවුරුදු 30ක් විතර පරණ හිඟුරල වැලක් තිබුණා. අපි මේකෙ පැත්තෙන් පැත්තට ඇඟිලි ගලෝලා කඩලා තමයි ගන්නේ. වැලට ගාණක් නෑ ඉතින්. වැල මැරෙනකම් කියලා ඉන්නයෑ බඩගින්න ආවාම. කහට කොඬොල්නම් ඉතින් කහටයි. අලේ අග්ගිස්සේ සුදු ටික තමයි ගන්නේ. අලේ ගලෝනකොටත් සෙවලට සෙවලේ පොඩි වෙනවා. දිය බහින්න ගෙයි මුල්ලේ තියලා දවස් දෙකට විතර පස්සේ තැම්බුවාම බෙරි නොවී යාන්තම් සේෆ් කරගන්න පුළුවන්. ඒකත් ඉතින් ලුණු මිරිසකුයි, පොලුයි එක්ක පංකාදුයි. කටට කොඬොල්නම් ඉතින් අල පල්ලමේ විතරක් නෙවෙයි හැමතැනම කැළෑ කොළේ අස්සේ තිබුණා. ඒ අස්සේ කටු අල කියලා ජාතියක් තිබුණා. ගලවන්න හරි අමාරුයි. පොළොවේ සෑහෙන්න යටට යටට ගිහින් තමයි අලේ බහින්නේ. අමාරුවෙන් ගලෝ ගත්තොත් ඉතින් රහා තමයි..

 

මේ අල පල්ලමේ තව තිබුණා කහ ගහ වගේ ගහක්. අපි ඒකට කිව්වේ 'ආඩිෂෝක්' කියලා. මේකත් අල වර්ගයක්. ගහේ කෙඳි මුල් අග චූටි චූටි බෙටි රවුම් අල පොකුරු පොකුරු තිබුණා. මේක ගලෝලා රටල වගේ චූටි චූටි අල කඩාගෙන තම්බගෙන සිවිය ගලව ගලව නිකම් ඔහේ කටට දාගන්න එක ඉස්සර වැහි කාලෙට කාලේ ගෙවන්න හවහට නිතරම කොරපු දෙයක්. මේක ඇවිත් සොමි කෑමක්. කොච්චර කෑවත් බඩ පිරෙන්නෙත් නෑ. රසය ඇති වෙන්නෙත් නෑ. ඊළඟට තව ජාතියක් තිබුණා ඒක සව් අල. සමහර පැතිවල කියන්නේ හුළංකීරිය කියලා. මේකත් ඉතින් ඔහේ ගෙදර නිකම් ඉන්න බැරිවුණාම අල පල්ලමට පැනලා ගලෝගෙන ගලෝගෙන ඇවිත් තම්බපු අල වර්ගයක්. මේ අල පල්ලමේ තව තිබුණ දෙයක් තමයි පේරාදෙණියේ මඤ්ඤොක්කා. මේකත් මාර රස මඤ්ඤොක්කා වර්ගයක්. පල්ලමේ ඔහේ විසිකරලා තියෙන කෝටු ඔහේ පොළොව හොයාගෙන ගිහින් නැවතිලා අල වෙලා බලන් ඉන්නවා අපිට ගලෝ ගන්න. මේ අල ගැලෙව්වට කවදාවත් ගහ ගලවන්නේ නෑ. ගහ ගැලෙව්වොත් කොළ කඩාගන්නේ කොහොමද? තිබ්බොටු එක්ක නයිකොච්චි එකට දාලා, මඤ්ඤොක්කා කොළ කොටලා තෙල් දාලා ගන්නේ කොහොමද එහෙම වුණොත්?

 

අපි පොඩි කාලේ කන්න නැති ගොඩාක් දුෂ්කර කාල ගෙවා ගත්තේ මෙහෙම. ඒක ඒ කාලේ නම් සුන්දරයි කියලා දැනුණද මන්ද? හැමදාම වැටෙන චුරු චුරුව එක්ක ජීවිතය රැකගන්න මේක ලොකු හයියක් වුණා. දැන් මෙහෙම නැවතිලා ගෙදරට වෙලා ඔහේ ගෙනත් දාගත්ත බඩු උයනවා ගිලිනවා වෙනකොට මේවා හිතෙනකොට පොඩි ලල් එකක් එනවා. 1995 විතර වෙනකොට ඉතින් මේ අල පල්ලම් ගොඩාක් ඒවා එළිවුණා. එළිවෙලා තේ ගස් පැල වුණා. ඉතුරු වුණ සමහර අල පල්ලම් ගම්වලට කඩාගෙන පනින්න පටන් ගත්ත වල් ඌරු රංචුවල රසවත් කෑමක් වුණා. දැන් ඉතින් මේ අල වර්ගවල රස විඳින්න විදිහක් නෑ. ඒවා දැන් මතකයෙන් උඩට අරන් රස විඳින්න තමයි තියෙන්නේ. හැබැයි තවමත් සමහර තැන්වල හු‍ෙදකලා කඩ ලෑලි තියෙනවා මේ කියපු ගොඩාක් අල වර්ග වලින් සැරසුණා. එහෙම තැනක් දැක්කොත් ගන්න පුළුවන් වුණොත් ගන්නවාම තමයි. ගන්න බැරිවුණොත් ඉතින් සතියක් විතර හිත හිතා ඉන්නවා. එහෙම කෑදරකමක් තමයි දැන් මේ අලවලට තියෙන්නේ...

 

ksanjeewa1000@ gmail.com