හරියට හැඩට ඉන්න හරියටම හරි plan එක

පෙබරවාරි 3, 2025

සිහින් හැඩැති සිරුරක් ලබන්න ඕනෑම තරුණියක් කැමැතියි. ඒක ඔවුන්ගේ ජීවිතේ එක සිහිනයක්. හැබැයි තරුණියන් විතරක්ම නෙවෙයි දැන් මැදිවියේ කතුන් පවා සිහින් සිරුරක් ලබා ගන්න මහත් උනන්දුවක් දක්වනවා.

ඒ සඳහා අත්‍යාවශ්‍ය කාරණය වන්නේ ආහාර පාලනයයි. අද අපි කියන්න යන්නේ මේ ආහාර පාලනයේ තියෙන වැදගත්කම ගැනයි.

මොකද ආහාර පාලනය ඉවක් බවක් නොමැතිව, හිතුමතයට කරගෙන ගියොත් දිගුකාලීන ප්‍රතිඵලවලට මුහුණපෑමට සිදු වෙන්නෙත් ඔයාටමයි. ආහාර පාලනයේදී මුලින්ම හිතන්න ඕනේ අධික පිටි, තෙල්, මේදය සහ පැණි රස අඩංගු ආහාර ගැන. හැබැයි ඒ ආහාරවලින් ඔයා ඈත්වුණත් සිරුරේ නිරෝගීකම ගැනත් හිතන්නම ඕනේ. මොකද අනවශ්‍ය විදිහට ඔයා මේ ආහාරවලින් ඈත් වෙලා ආහාර පාලනයකට ගියොත් ශරීරය හිතන්නේ නැති විදිහට දුර්වල වෙන්නත් පුළුවන්.

ඉතින් ඩයට් ප්ලෑන් එක කරගෙන යද්දි මෙන්න මේ විදිහේ ලක්ෂණ තියෙනව ද කියලත් පොඩි අවධානයක් දෙන්න. කෙස් සීග්‍රරයෙන් ගැලවී යාම, මළානික පෙනුමක් ඇතිවීම, දෑස යට අඳුරු පැහැයක් ඇතිවීම, සමේ සුදුමැලි මළානික පැහැයක් දිස්වීම, නිතර සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇතිවීම, ආහාර දිරවීමේ අපහසුතා ඇතිවීම, ප්‍රතිශක්තිය හීනවීම සහ නිතර තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවීම ඒ අතර තියෙන ප්‍රධාන ලක්ෂණ කිහිපයක්. ඒ ගැනත් සැලකිලිමත් වෙමින් යහපත් ආහාර රටාවකට යොමු වීමයි වැදගත් වෙන්නේ. ඔයා දැනටමත් යෝගා, සුම්බා හෝ වෙනත් ව්‍යායාමයක් පටන් අරගෙන නම් ආහාර රටාව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වීම වැදගත්. කොහොම නමුත් යහපත් ආහාර රටාවකට හුරු වීම වයස් භේදයකින් තොරව සිදු විය යුත්තක්.

මොකද සිරුරේ වැඩීමට, ප්‍රතිශක්තිකරණයට වගේම සිරුරේ ශක්තිය නිසියාකාරව පවත්වාගන්න නම් පෝෂ්‍යදායී ආහාර වේල ඉතාම වැදගත්. එහෙම නොවුණොත් රෝගවලට ගොදුරු වෙන්න තියෙන ඉඩත් ඉතාම වැඩියි.

එකිනෙකාට පෝෂ්‍ය කොටස් ලබා ගත යුතු ප්‍රමාණය ද ඉතාම වෙනස්. වයස, උස, බර සහ ක්‍රියාකාරී වීම අනුව කැලරි සහ පෝෂ්‍ය කොටස් ලබා ගැනීම වෙනස් වෙනවා. නමුත් පවුලේ අය වෙනුවෙන් ආහාර පිසිනවිට සියල්ලන්ටම වෙනවෙනම ආහාර පිසින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා අප ආහාර පිසින්නට වුවමනා පවුලේ සියල්ලන්ටම ගැළපෙන ආකාරයටයි.

 

පලතුරු සහ එළවළු එකතු කරන්න

 

උදෑසන සීරියල් සඳහා කෙසෙල් සහ බෙරීස් වර්ගයක් එකතු කරන්න. එසේ නැතිනම් පලතුරු ස්මූති වර්ගයක් උදෑසනට සකසන්න පුළුවන්. සැන්ඩ්විචස් සඳහා පිපිඤ්ඤා වැනි එළවළු එකතු කරන්න. දිවා ආහාරයට එළවළු වර්ග කිහිපයක් එකිනෙකාට ගැළපෙන සහ රුචිය පරිදි එකතු කර ගන්න පුළුවන්. රාත්‍රියට නූඩ්ල්ස් එකක් සාදා එයට එළවළු එකතු කරන්නටත් පුළුවන්.

 

කිරි ආහාර එකතු කරන්න

 

විටමින් ඩී, කැල්සියම් සහ ප්‍රෝටීන් වර්ග කිරි ආහාරවලින් ඔයාට ලැබෙනවා. චීස්, බටර් කිරි වගේ දේවල් ඔබේ ආහාරයට එකතු කරගන්න. ඔයාගේ පවුලේ අය කිරි ආහාරවලට අකැමැතිනම් කොළ පැහැ එළවළු සහ නිවිති වැඩි වශයෙන් එකතු කරන්න. ආමන්ඩ් කිරි ද හොඳ විකල්පයක්.

 

ධාන්‍ය වර්ග අනිවාර්යයෙන් එකතු කරන්න

 

බත් කොහොමත් අපේ ප්‍රධාන ආහාරයයි. ඒ හැර කඩල, ඕට්ස්, තිරිඟු වගේ දේවල් කෑමවේලක තියෙන්නම ඕනෑ. සම්පූර්ණ ධාන්‍ය වර්ගයක් එක වේලකටවත් තිබීම ඉතාම සුදුසුයි.

 

ප්‍රෝටීන් අනිවාර්යයි

 

මස්, මාළු, බිත්තර කෑම වේලකට එකතු කරන්න අමතක නොකර ඉන්න. ඒ නැත්නම් ඇට වර්ග, කිරි වර්ග, බෝංචි හෝ සෝයා වගේ දෙයකින් පවුලේ ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්ණ කරන්න.

 

සීනි සහ ලුණු අඩු කරන්න

 

ගෙදර පුංචිම සහ වයස්ගතම සාමාජිකයන් එක්ක මේක ටිකක් අමාරු වැඩක් තමයි. නමුත් හැකිතාක් ලුණු සහ සීනි භාවිතයෙන් වැළකුණොත් පවුලේ අයට සෞඛ්‍යවත් ආහාර පිළියෙල කරන්න ඔයාටත් පුළුවන්. තේ සහ කෝපි වගේ දේවල් වෙනුවට පලතුරු යුෂවලට හුරුකර ගැනීම වගේ බොහොම සාර්ථක විසඳුම් හොයා ගන්න ඔබට බැරිකමක් නැහැ. ජන්ක් ෆුඩ්ස් වගේ දේවල් පුළුවන්තරම් අඩු කරන්න.

 

කෑම කන්න එක වේලාවක් තියාගන්න

 

විවිධ රසට, හැමෝටම ගැළපෙන්න ආහාර පිසින්න, මිරිස් සැර ව්‍යාංජනයක් එක්ක සලාදයක් හෝ කිරට පිසූ දෙයක් සකසන්න. කෑම හදන්න කලින් හැමෝගෙම අදහස් විමසලා බලන්න. පලතුරු සහ ගෙදර හැදූ ස්නැක් කිහිපයක් ගබඩා කරලා තියාගන්න.

නිතර ආහාර රටා වෙනස් කරන්න. ගෙදර හදන කෑම, ගෙදර අයට එපා වෙන්න දෙන්න එපා. මේ වගේ කාරණා එක්ක හැමෝටම ගැළපෙන්න රසවත් සහ සෞඛ්‍යවත් ආහාර වේලක් හදන එක ඔබට බොහොම පහසු දෙයක්. ගැළපීම් සහිතව හැමෝම සතුටු කිරීමෙන් මුළු ගෙදරම සෞඛ්‍යය සමබරව පවත්වා ගන්න ඔයාට පුළුවන්.

 

 

උපදෙස් -

ශරීර යෝග්‍යතා උපදේශිකා

මෙත්මා බිසේකා නානායක්කාර

 

[email protected]