වර්ෂ 2024 ක්වූ December 30 වැනිදා Monday
සෝයා මීට්වලින් රස කෑම
තරුණ වයසේ අම්මලාත් බබාලා වගේමයි. එයාලා කන්නෙත් පොඩි දරුවන් කන කෑමනේ. ඒ වගේම ඔවුන්ගේ තෝරා ගැනීම හදන්න පහසු කෑමයි. සෝයා කියන්නේ පෝෂණය පිරුණු කෑමක්.
මේ සෝයාවලින් සකසන සෝයා මීට් තරුණ අම්මලා අතරේ වගේම පොඩිත්තන් අතරත් ජනප්‍රිය කෑමක්.
පුංචි දරුවන් වගේම වැඩිහිටි අයත් කන්න කැමැතියි. පොඩි දරුවන්ට කෑම කවන එක යුද්ධයක් කරගත් අම්මලාත් මේ අතරේ ඉන්නවා. මේ හැම දේකටම විසඳුම වන්නේ හදන්න පහසු රසයෙන් වැඩි සෝයා මීට් කෑමයි. ඒ නිසා අපේ ආදරණීය තරුණ මව්වරු වෙනුවෙන් මේ රසවත් සෝයා මීට් කෑම අතිරේකය වෙන්වෙනවා. මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය රයිගම් සෝයා මීට් වීමත් විශේෂත්වයකි. එහෙමනම් සූපවේදිනී තිලානි විතානගේ සමඟ එක්වී ඔබත් සෝයා මීට්වලින් මේ රසවත් කෑම සකසා රස විඳින්න.
සෝයා නගට්ස්
තම්බා ගත් සෝයා මීට්
පාන් පිටි මේස හැඳි 1ක්
රුලං ස්වල්පයක් (අත්‍යවශ්‍ය ම නෑ)
කඩල පිටි හෝ කෝන් පිටි
මේස හැන්දක්
ලුණු හා ගම්මිරිස් පදමට
බිත්තරයක්
පාන් කුඩු
බැදීමට තෙල්
මුලින්ම සෝයා මීට්වල වතුර මිරිකා හැර ලුණු කුඩු ස්වල්පයක් එකතු කර මිශ්‍ර කරන්න.
දැන් බැටර් එක හදා ගනිමු.
කඩල පිටි, පාන් පිටි, බිත්තරය හා රුලං ටික භාජනයකට දමා ලුණු හා ගම්මිරිස් එකතු කර වතුර ස්වල්පය බැගින් දමා හැන්දකින් මිශ්‍ර කරමින් ඝනකමත් නැති දියාරුත් නැති බැටර් එකක් හදා ගන්න.
සෝයා මීට් එකින් එක බැටර් එකේ තවරා ඉන්පසු පාන් කුඩුවල තවරා එක් වරකට 6ක් වගේ තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද තෙල් බේරෙන්න තියා සෝස් වර්ගයක් සමඟ උණුවෙන් කෑමට ගන්න.
***************************************
සෝයා මීට් කට්ලට්
සෝයා මීට් පැකට් එකකින් භාගයක්
හොඳින් තම්බා ගත් ලොකු අල ගෙඩි 2ක්
සිහින්ව ලියාගත් අමුමිරිස්,
කරපිංචා හා බී ලූනු
බටර් ස්වල්පයක්
දෙහි යුෂ තේ හැන්දක්
පාන් පිටි මේස හැන්දක්
ලුණු හා ගම්මිරිස් පදමට
මිරිස් කුඩු හා මසාලා පවුඩර්
(ඔබ ටිකක් සැරට කන්න කැමැති නම් එකතු කර ගන්න පුළුවන්)
බැදීමට තෙල්
පාන් කුඩු
බිත්තර 2ක්
උතුරන වතුරට සෝයාමීට් දමා විනාඩි 5ක් වසා තබා මිරිකා ගන්න. සෝයාමීට් සිහින්ව ලියා ගන්න.
එයට තම්බා ගත් අල, ලූනු හා ගම්මිරිස් කුඩු පදමට දමා ලියාගත් ද්‍රව්‍ය ටික, බටර් හා දෙහි යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න (ඔබට ටිකක් සැරට අවශ්‍ය නම් මිරිස් කුඩු හා මසාලා පවුඩර් එකතු කර ගන්න. ඒ වගේම මේ මිශ්‍රණය මඳක් තෙම්පරාදු කර ගන්නත් පුළුවන්) කට්ලට් ප්‍රමාණයට අතින් බෝල සාදා පිඟානක තබා ගන්න.
දැන් බැටර් එක හදා ගනිමු
පාන් පිටි හා බිත්තර භාජනයකට දමා ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් එකතු කර හොඳින් බීට් කර පසෙකින් තබා ගන්න.
තවත් භාජනයකට පාන් කුඩු දාන්න.
දැන් පරිස්සමට කට්ලට් බෝල එක බැගින් ගෙන බැටර් එකේ දමා ඊට පස්සේ බිස්කට් කුඩුවල තවරා එකවර බෝල 4ක් 5ක් වගේ තෙලට දමා අඩු ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
ගෙදර තියෙනවා නම් මේ බැටර් එකට රුලං ස්වල්පයක් එකතු කරන්න. එයින් ක්‍රිස්පි ගතිය හොඳට එනවා.
*******************
අළු කෙසෙල් පොතු මිශ්‍ර සෝයා මීට් ඩෙවල්
සෝයා මිට් තම්බා අවශ්‍ය නම් රසකාරක මිශ්‍රණය තවරා ගන්න.
සිහින්ව ලියාගත් අළු කෙසෙල් පොතු
අබ ස්වල්පයක්
කපාගත් සුදු ලූනු, බී ලූනු හා
තක්කාලි
තක්කාලි සෝස් මේස හැන්දක්
බටර් ස්වල්පයක්
කෑලි මිරිස්
පදමට ලුණු
මුලින්ම භාජනයක් ළිපේ තියා බටර් ස්වල්පයක් දාන්න. ඒකට අබ පුපුරුවලා සුදු ලූනු, බී ලූනු හා තක්කාලි දමා හැන්දෙන් එහා මෙහා කරමින් තෙම්පරාදු කරන්න. ඒ අතර තක්කාලි ටික හැන්දකින් හොඳින් පොඩි කරන්න. ඒකටම අළු කෙසෙල් පොතු හා සෝයා මීට් එකතු කර තවත් ටික වෙලාවක් ළිපේ තියන්න. තක්කාලි සෝස් හා කෑලි මිරිස් එකතු කර ලුණු පදම බලා අවශ්‍ය නම් එකතු කරන්න.
***************************
සෝයා මීට් සලාදය
තම්බා වතුර මිරිකා ගත් කට්ල් ෆිෂ් සෝයා මීට්
යෝගට් හෝ මී කිරි මේස හැඳි 2ක්
අමුවෙන් සලාදයකට එකතු කර ගන්න
පුළුවන් සිහින්ව ලියාගත් එළවළු වර්ග
කිහිපයක් (ගෝවා, කැරට්, ලූනු කොළ, බෙල්
පෙපර්, පිපිඤ්ඤා)
ලියාගත් බී ලූනු ගෙඩියක්, අමුමිරිස්
ලියාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්
ලුණු, ගම්මිරිස් පදමට
අවශ්‍ය නම් උම්බලකඩ කැබලි ටිකක්
ඔබ මසාලා රසට කැමැති නම් මසාලා
පවුඩර් ස්වල්පයක්
සෝයා මීට් භාජනයකට දමා ඉතුරු සියලුම දේවල් එකතු කර පොඩි නොවන සේ හැන්දකින් කලවම් කර සලාදය සාදා ගන්න. මෙය කෑමට ගැනීමට ළං වෙලා තමයි හද ගන්න ඕනේ. ඉක්මනින් සාදා ගත හැකි රසවත් සලාදයකි.
උපදෙස් හා ඡායාරූප
ප්‍රවීණ සූපවේදිනී තිලානි විතානගේ