චන්ද්‍ර සූර්යග්‍රහණ මැද්දේ ජීවිතේ ගෙවෙන යුද්දේ

කාන්තාවන් ප්‍ර ‍ෙව්සමෙන්ම ඉන්න
නොවැම්බර් 14, 2022

 

ධාර්මික වන්න. ධර්මයෙහි හැසිරෙන අතර ගුණ ධර්ම වර්ධනය කරගන්න. එවිට 'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරේ' (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රැකේ) යන්න සිදු වේ.

සඳ, තරු, තාරකා අපේ ජීවිතවලට කරන බලපෑම ඉමහත් ය. 'මම ඇයි එහෙම දෙයක් කළේ කියලා මට හිතාගන්නවත් බෑ...' මේ විදියට ඇතැම් අය පවසන වදන් ඔබටත් ඇසී ඇති. සමහර විට ඔබටත් එවැනි සිදුවීම් පිළිබඳ අත්දැකීම් ඇතිවා වන්නටත් පුළුවන්. ඒ සඳ, හිරු, තාරකාවල බලපෑම බව ඔබට නිකමටවත් සිතුණාද?

 

මේ වසරේ අග සිදුවන අර්ධ සූර්යග්‍රහණය හා චන්ද්‍රග්‍රහණය ද අපේ ජීවිතවලට බලපෑම් ඇති කරන අතර, ඒ මොනවා දැයි දැන සිටීම අප හැමටම වැදගත් ය. මෙහිදී රටේ ඇතිවන තත්ත්වයන් ගැන මෙන්ම පොදුවේ කාන්තා ඔබට මෙය බලපාන ආකාරය ද සොයා බැලුවෙමු.

 

ඔක්තෝබර් 25 වැනි දින සිදුවූ අර්ධ සූර්යග්‍රහණයේ ප්‍රතිඵල ලෙස මහජන කැලඹිලි, රහස් සතුරු කුමන්ත්‍රණ, විදේශ බලපෑම්, ජනතාවගේ නපුරු හැසිරීම්, ආර්ථිකය බිඳ වැටීම, මහජන මුදල් අවභාවිත වීම, උද්ධමනය ඉතා දරුණු ලෙස ඉහළ යාම ද සිදු වේ.

 

මේ නිසා මංකොල්ල, සොරකම්, පැහැර ගැනීම්, මිනිමැරුම්, ලේ සෙලවීම්, ස්වභාවික අනතුරු ආදිය බහුල වේ. එමෙන්ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සූක්ෂ්ම ලෙස කෙරෙන මංකොල්ලකෑම් වැඩි වේ.

 

විශේෂයෙන්ම කාන්තාවන්, මත්පැන්, මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමත්, ඒවා වෙළෙඳාම් කිරීමටත්, ප්‍රවාහනය කිරීමටත් පෙලඹේ. මේ නිසා සිරගත වීම්, නඩු හබ විශාල සංඛ්‍යාවක් ගොඩ ගැසේ. විශේෂයෙන් සියලුම කාන්තාවන් ගමන් බිමන් යාමේදී ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. රාත්‍රී ගමන් බිමන් හැකි නම් නවතා දමන්න. අත්‍යවශ්‍යම කරුණකට රාත්‍රියේ දී යාමට අවශ්‍ය නම් තමාගේ ආරක්ෂාව තහවුරු කරගෙන ඒ ගමන යන්න. ස්වර්ණාභරණ පැලැඳ සිටීම ඔබ මංකොල්ලකරුවන්ට අතවැනීමක් කරන හෙයින් ඒවා නොපැලැඳ සිටීම ඔබේ ආරක්ෂාව ද තහවුරු කරයි. යහමින් මුදල් හදල් අතේ තබා ගැනීමෙන් වළකින්න. එය ඔබ සොරුන්ගේ ඉලක්කයක් බවට පත් වීම වළකායි.

දිවා කාලයේදී වුවද නිවසේ තනිව සිටින ඔබ විවිධ ස්වරූප ඔස්සේ පැමිණෙන හොරුන්ට ගොදුරු විය හැකි බැවින් විවිධ සේවයන් සැපයීමට වුවද පැමිණෙන අයගේ අනන්‍යතාව තහවුරු කරගෙන වත්තට හෝ නිවෙසට ගන්න. නැතිනම් ඔබ තනිව නොසිටින බව ඔවුන්ට අඟවන්න.

 

මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම රකුසන් බවට පත් වේ. ජංගම දුරකතන ඔස්සේ එන - යන පණිවුඩ පවා ඔබ මුළා කරන, වංචාවන්ට හසුකර ගන්නා ඒවා විය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න.

 

ඒ අතර කාලගුණ දේශගුණ තත්ත්වයන් ද වෙනස් වී නාය යෑම්, ගං වතුර, සුළි සුළං, ගස් කඩා වැටීම්, මාර්ග අනතුරු වැනි ආපදාවන් ද ඇති වේ. ගමනා ගමන පද්ධතියේ විනය සම්පූර්ණයෙන්ම පිරිහීයාමෙන් තර්ජන ගර්ජන ඉස්මතු වී ඔබට නිදහසේ ගමන් බිමන් යාමට ද තරමක් අපහසු විය හැකිය.

 

නොවැම්බර් 08 වන දින සිදුවූ පූර්ණ චන්ද්‍රග්‍රහණය නිසා රටට හා ඔබට එය බලපාන ආකාරය ද ඔබට වැදගත් වේවි.

දසතම දස අකුසලය වර්ධනය වී නීතිය අවනීතිය වී අවනීතිය නීතිය විය හැකිය. චාරිත්‍ර වාරිත්‍ර වීම ද වාරිත්‍ර චාරිත්‍ර වීමද වැරැදිකරුවන් නිවැරැදිකරුවන් වීමද නිවැරැදිකරුවන් වැරැදිකරුවන් වීමද ඊට සිර දඬුවම් ලැබීම ද සිදු විය හැකිය. රට තුළ සුදුසුකම් හා පළපුරුද්ද නොමැති පුද්ගලයන් උසස් වගකිවයුතු තනතුරුවලට පත් වී සොරකම් කිරීමටත් අල්ලස් ගැනීමටත් පෙලඹෙන අතර, නියම සුදුස්සන් ප්‍රතික්ෂේප වී රට හැර යාමක් ද සිදුවේ. සත්‍ය යටපත් වී අසත්‍ය ඉස්මතු වේ. විශේෂයෙන් ම කුර සහිත සත්ත්වයන්ගේ මස් අනුභව කරන අයගේ කල්පනා ශක්තිය, නුවණ, තීක්ෂණ බුද්ධිය, යහපත් ගුණධර්ම අතුරුදන් වී යාමට හැකිය.

 

මෙම ග්‍රහණ දෙකෙන්ම අප වෙත දෙන පණිවුඩය වන්නේ එදා බුදුන් දවස කොසොල් රජු දුටු සිහින 16න් සිහින 7 -8ක්ම එකවර සිදුවන බවයි.

 

කෙසේ වෙතත් මෙම ග්‍රහණ දෙකම සිදුවන්නේ යුද්ධයට, කාමයට, රුධිරයට, ක්‍රෝධයට, සේනාධිපතිකමට, නිවසට අධිපති කුජට අයත් දින දෙකක දීය. මේ සියලුම ග්‍රහයන් අපට ලබා දෙන්නේ පණිවිඩයි. ලෝකායන ජ්‍යෝතිෂ්‍යයට අනුව (මෙම විෂය සැකසී ඇත්තේ භූගෝල විද්‍යාව හා තාරකා විද්‍යාව යන විෂයයන් දෙක ගණිතය නමැති පාලමෙන් යා කිරීමෙනි.) අවසානයට දෙන පණිවුඩය වන්නේ පංචශීලය තුළ, දස පනත තුළ තම ජීවිත ගත කරන පුද්ගලයන්ට මේ සියල්ල ජයගත හැකි බවයි.

 

මේ උතුම් ශාස්ත්‍රය නොදැන ඊට ගරහන, නිසි ලෙස අධ්‍යයනය නොකර බොරු අනාවැකි පවසා ජනතාව රැවටීමට ලක්වන්නේ ද මරණයෙන් පසු 'රෞරව' අපායේ උපදින බවත් මඳ කුසලයකින් හෝ මිනිස් උපතක් ලැබුවත් එම පුද්ගලයා අන්ධ අයකු වන බවත් 'පරාශර' ඍෂිතුමන් පවසා ඇත.

 

එබැවින් ඔබ ධාර්මික වන්න. ධර්මයෙහි හැසිරෙන අතර, ගුණ ධර්ම වර්ධනය කරගන්න. එවිට 'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරේ' (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රැකේ) යන්න සිදු වේ. ධර්මයෙන් ආරක්ෂා වන පුද්ගලයා ස්වභාවධර්මය විසින් ද ආරක්ෂා කරයි. ක්‍රිස්තු ධර්මයට අනුව ඔබට එක් දොරක් වැසෙන විට තවත් දොරක් විවෘත වේ.

 

මේ නිසා හැකි සෑම විටෙකම පවින් ඈත් වී කුසලයෙහි ම යෙදෙන්න.

 

 

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෙතිෂ්‍යවේදී

ලක්ෂ්මන් යූ. ලියනගේ