ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම්

ජනවාරි 29, 2024

ගත වී යන, උදාවන හැම තත්ත්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.

 

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.

අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

 

ඇය විවාහයට සුදුසු ද?

 

මම 28 හැවිරිදි අවිවාහක තරුණයෙක්මි. දැනට විවාහ වීමට බලාපොරොත්තුවෙන් එක් තරුණියක් සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වගෙන යනවා. ඒ සම්බන්⁣ධයට අවුරුදු 2ක් පමණ වෙනවා. මම ජ්‍යෝතිෂ විද්‍යාව තරමක් විශ්වාස කරනවා. අංක විද්‍යාවත් විශ්වාස කරනවා. මම 1995 : 02 : 14 උපන් අයෙක්. ඇය 2004 : 12 : 22 උපන් තැනැත්තියක්. ඇය හා මා විවාහ වීමට සුදුසුද?

නිට්ටඹුව - සජිත්

 

පිළිතුර

 

උපන් දිනයට අනුව පිරිමි දරුවාගේ දෛව අංකය අංක 4ත් පුද්ගලික අංකය අංක 5ත් වේ. ඒ අනුව ඔහු සහජයෙන් හැකියාව ගෙනා ආ අයෙකි. හැකියාව ඇතත් කරගෙන යාමේදි ප්‍රමාදයක් පෙන්වයි. තවද දෛව අංකයට අනුව සසරින් ගෙනා බාධාකාරී තත්ත්වයක් ද පෙන්වයි. මෙම දරුවා උපතින් ගෙනා බුද්ධි මහිමය නිසා බාධා මැඬගෙන ඉදිරියට යෑමේ හැකියාව ඇත. ව්‍යාපාරවලට සුදුසු අයෙකි. වයස අවුරුදු 35 වනතෙක් බාධා තත්ත්වයන් ඇත. ඉන්පසුව සුබ වේ. ඕනෑම කෙනකු සමඟ ඉන්න දන්නා අයෙකි. නමුත් තරමක කපටිකම් ඇති, තමන්ගේ වාසිය ගැන හිතන අයෙකි. මේ අනුව පෙනී යන්නේ ඔබ උපතින් ගෙනා වාසනාව ඇතත් එහි ප්‍රතිඵල ලැබීම යම්කිසි ප්‍රමාදයක් ඇතත් ඒවා මැඬගෙන ඉදිරියට යා හැකිය.

තරුණියගේ උපන් දිනයට අනුව ඇයගේ පුද්ගලික අංකයත් දෛව අංකයත් අංක 4 වේ. ඒ අනුව සසරින් ගෙනා බාධාකාරී තත්ත්වයක් ඉහළින්ම පෙන්වයි. මෙම බාධාවන් මැඬ පැවැත්වීමට නම් ඇයට ප්‍රබල නමක් තිබිය යුතුය. නැතිනම් ප්‍රබල නමක් භාවිත කළ යුතුය. ආඩම්බරකාරීබව, අකීකරුකම, හිතුවක්කාර ගතිපැවතුම් අඩුකර ගනිමින් ජීවත්වන්නට උත්සුක විය යුතුය. විවාහයට ඉතාම සුබ නොවුණත් දැඩි අසුබකාරී තත්ත්වයක් පෙන්නුම් නොකරයි. තම තමන් ගැන අවබෝධයෙන් කල්පනාකාරීව ජීවත් වුවහොත් හොඳින් ජීවත් විය හැකිය. දෙදෙනාම ඉවසීම ප්‍රගුණ කරගැනීම වැදගත් වේ.

 

අනාගතයේදී රැකියාව කුමක් වේවි ද?

 

ප්‍රශ්නය

මාගේ අනාගත රැකියාව පිළිබඳව කෙටි විස්තරයක් දැනගැනීමට අවශ්‍යයි. එලෙසම විවාහය ගැනත් දැන ගැනීමට අවශ්‍යයි. මා හට දැනට පෙම්වතෙක් සිටින අතර අපගේ සබඳතාවයට වසර තුනක් පමණි. නමුත් මීට වසරකට පමණ පෙර යම් සිද්ධියක් නිසා ඔහු පිළිබඳ සිත්තැවුලට පත්ව සිටී. ඔහු හා විවාහ වීම සුදුසු ද? සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබේ ද? එසේ නොමැති නම් මා කළ යුත්තේ කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍යයි. මාගේ උපන් දිනය 1999.06.25 වේ. ඔහුගේ උපන් දිනය 1999.11.13 වේ.

ගිරාඳුරුකෝට්ටේ - මල්ෂා

 

පිළිතුර

 

මල්ෂා ඔබගේ උපන් දිනයට අනුව දෛව අංකයත්, පුද්ගලික අංකයත් අංක 5 වේ. උපතින්ම වාසනා ශක්තිය ගෙනා අයෙකි. ඕනෑම කෙනෙකු සමඟ ගළපගෙන ජීවත් වීමට දන්නා කෙනෙකි. තමන්ගේම ව්‍යාපාරයක් කිරීමට ඉතාම සුදුසු අයෙකි. විදෙස්ගත වීමේ වාසනාව ද තිබේ. ඔබ පමණට වඩා හිතන කෙනකු නිසා මනසට සැනසීම අඩුය. බුද්ධිය මෙහෙයවා කරන රැකියාවකට සුදුස්සෙකි. වේගවත් චරිතයක් නිසා බාධාකාරී තත්ත්වයන් ද ඇතිවිය හැකිය. වැඩිපුර හිතන නිසා අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් විය හැකිය. උපතට අනුව ඔබේ නම ඉතා අසුබය.

ඔබගේ පෙම්වතාගේ දෛව අංකය අංක 7ත් පුද්ගලික අංකය අංක 4ත් වේ. ඔහු කුඩා කාලයේ සිට බොහෝ දුෂ්කරතා බාධක මැද ආ චරිතයකි. නමුත් වයස අවුරුදු 35 වනවිට බාධක මැඬගෙන ඉදිරියට යා හැකිය. උපතට අනුව ඔබගේ නමද ගැළපෙන්නේ නැත.

ඔබ දෙදෙනාගේ විවාහයට දැඩි බාධාකාරී තත්ත්වයක් නොපෙන්වයි. අවබෝධයෙන් ජීවත් වන්න.